ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජාතික මල්ලවපොර ශූරතාව දිනති | දිනමිණ

ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජාතික මල්ලවපොර ශූරතාව දිනති

රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගනිමින් ජාතික මල්ලවපොර කාන්තා ශූරතාව අත්කරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත්වූහ. පසුගියදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් ශූරතාව දිනාගනු ලැබුවේ අඛණ්ඩව තුන්වැනි වරට වීම විශේෂත්වයකි.

මේ වසරේ ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ ගුවන් හමුදා කණ්ඩායමේ නායිකා එච්.ඒ.එන්.කරුණාසේන ජාතික තරගාවලියේදී ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීම කැපී පෙනුණි.

වසර 7ක් වැනි කෙටි කාලයකින් ජාතික තලයේ ඉහළටම සේන්දුවීමට සමත්වූ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර සංචිතයේ අධ්‍යක්ෂවරයා ලෙස එයාර් වයිස් මාෂල් ප්‍රියන්ත වීරසිංහ මහතා කටයුතු කරයි.


නව අදහස දක්වන්න