ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ 8ක් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ඇගයීමට | දිනමිණ

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ 8ක් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ඇගයීමට

ගීෂා මුණසිංහ
හිටපු ක්‍රිකට් නායකයන් වන බන්දුල වර්ණපුර, රෝයි ඩයස් සහ අර්ජුන රණතුංග මහත්වරු. ඡායාරූප නිරාවරණය කිරීමෙන් අනතුරුව

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකේය නාමය ඉහළට ඔසවා තබමින් නොමැකෙන මතකයන් සටහන් කළ සුවිශේෂි ක්‍රිකට් ක්‍රීඩකයන් අට දෙනකු ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ඡායාරූප අනාගත පරපුර වෙනුවෙන් නිරාවරණය කිරීමට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය පසුගියදා කටයුතු කළේය.

1982 වසෙරේ එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් වරම් ලබමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිකර ගනිමින් 1996 වසරේ පළමු ලෝක කුසලානය තෙක් පැමිණි ගමනේ නියමුවා වු බන්දුල වර්ණපුර, 1985 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ජය හිමිකරගත් කණ්ඩායමේ නායක දුලිප් මේන්ඩිස්, පළමු ටෙස් තරගමාලාව ජය හිමිකර ගැනීමට දායකත්වය සැපයමින් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව ටෙස්ස් ලකුණු 1000 ඉක්මවූ රෝයි ඩයස්, 1982 වසරේදී පළමු ටෙස්ට් කණ්ඩායමේ ළාබාල ක්‍රීඩකයා ලෙස එක්ව 1996 වසරෙදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංග, ජාත්‍යන්තර පිටියේ ලකුණු 28016ක් සහ ටෙස්ට් පිටියේ වේගවත්ම ලකුණු 12000 පසුකළ හිටපු නායක කුමාර සංගක්කාර, ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස ටෙස්ට් පිටිය වැඩිම කඩුලු ලාභියාවූ මුත්තයියා මුරලිදරන්, ලකුණු 19කට කඩුලු 8ක් දවාගනි‍මින් එක්දින පිටියේ වාර්තාවකට හිමිකම් කියන චමින්ද වාස් සහ එක්දින කඩුලු ත්‍රිත්වයක් තුන්වරක් ලබාගනි‍මින් වාර්තාවක් තැබූ හා 2014 වසරේදී විස්සයි 20 ලෝක කුසලානයට කරා ශ්‍රී ලංකා පිල මෙහෙයවූ ලසිත් මාලිංග මහත්වරුන්ගේ ඡායාරූප මෙහිදී නිරාවරණය කෙරිණි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය ප්‍රණාමය පුද කිරීමට එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා මණ්ඩපය ක්‍රීඩකයන්ගේ සටහන් සහිත වර්ණ චිත්‍රයෙන් වර්ණවත් කර ඇති අයුරින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයද එවැනිම පසුබිමක් සකසමින් නවතම සුවපහසු භෝජනාගාරයක් විවෘත කරමින් මේ ක්‍රීඩකයන් සැමරීම සිදු කළේය.

එදා යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාවේ (සිලෝන්) ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමණයට ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටලයේ (G.O.H.) සේවකයන් ‍එක්වීමත් සමග 1911දී වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය ආරම්භ විය.

එදා සිට මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කරන වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වසරකට තරගමාලා 7ක් සංවිධාන කරමින් අවම වශයෙන් තරග 600කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික පවත්වමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට මෙන්ම ප්‍රගමණයටද විශාල දායකත්වයක් සපයයි.

පිදිය යුත්තන් පීදීම හොඳ ගුණාංගයක් වන බැවින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මේ කළ කාර්යය අගය කළ යුතුය. එහෙත් ඇතමුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් මෙටර සමරු මුද්දරයකට පවා පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කළ සිදත් වෙත්තමුණි මහතාගේ ඡායාරූපයක් ද මෙයට එක්විය යුතු බවය.

හිටපු නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට බන්දුල වර්ණපුර, රෝයි ඩයස්, චමින්ද වාස්, ලසිත් මාලිංග යන මහත්වරු සමගින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ සහ උප සභාපති නලීන් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වුහ.


නව අදහස දක්වන්න