සිංගප්පූරු ගිවිසුම රටට අහිතකරයි: විද්වත් කමිටු වාර්තාවේ සදහන් | දිනමිණ

සිංගප්පූරු ගිවිසුම රටට අහිතකරයි: විද්වත් කමිටු වාර්තාවේ සදහන්

නුවන් කොඩිකාර

සිංගප්පූරු ගිවිසුම රටට අහිතකර බව, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදුන් වාර්තාවේ සඳහන්ව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ජනාධිපතිතුමා මෙම වාර්තාව කියවා අවසන් වූ පසු මෙම සතිය ඉක්ම වීමට පෙර එහි පිටපතක් ලබාගෙන සවිස්තරාත්මක විස්තරයක් ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

ජනවාරි 21 දිනට පෙර සිංගප්පූරු ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය විසඳගන්න නොහැකි වුණහොත් නීතිමය වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දෙන්න සිදුවන බව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

1815 පාවාදීමට වඩා විශාල පවා දීමක් සිංගප්පූරු ගිවිසුමෙන් සිදුව ඇති බවත් එය සංශෝධනය කරගන්න බැරි නම් කුමක් කරන්නේ දැයි ජනතාව හමුවේ තබන බව ඒ මහතා කීවේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

රටවල් දෙකක නායකයන් දෙන්නෙක් ඉදිරිපිට අස්සන් කළ ගිවිසුමක් ඇමැතිකමක් ලැබුණ ගමන් එක පෑන් පාරෙන් වෙනස් කරන්න බැහැ. මේක සෙල්ලම් පාසලක් නෙවෙයි ආණ්ඩුවක්. මේ ගැන විරුද්ධත්වය දක්වපු අය, විවිධ මත දරන්නම් සමඟ සාකච්ඡා කළා. මට හෙළිදරව් වෙච්ච පළමු දේ තමයි මෙම ගිවිසුම සම්බන්ධයෙන් පළමුව කටයුතු කළ යුත්තේ වානිජ අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක. වානිජ දෙපාර්තුමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් ලෝක වෙළෙඳ සංවිධානයේ හා අන්තර් ජාතික ගිවිසුම් පිළිබඳ නිල වශයෙන් රටට වගකිව යුතුයි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ වගකීම තිබෙන්නේ වානිජ දෙපාර්තුමේන්තුවට. පසුගිය රජය කාලයේ වානිජ දෙපාර්තුමේන්තුව තිබුණේ රීෂාඩ් බදුයුදීන් මහත්මයගේ යටතේ. ඒ කියන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. එම අමාත්‍යාංශය යටතේ වානිජ දෙපාර්තුමේන්තු තිබුණ නිසා මේ ගිවිසුම පිළිබඳ වගකීම ඔවුන් බාර ගන්නේ නැහැ. මේ ගිවිසුම සකස් කරද්දි විටින් විට ඒ නිලධාරීන් කැඳවල තිබුණත් ඔවුන් සමඟ නිත්‍යානුකූලව ගනුදෙනු කරලා නැහැ. ඒ වෙනුවට මලික් සමරවික්‍රම මහතා සහ අගමැතිවරයා තමන්ට හිතවත් හෙංචයියන් කිහිප දෙනෙක් අල්ලගෙන තමයි මුළු රටටම බලපාන, ජීවිතවලට බලපාන මේ ගිවිසුම අස්සන් කරලා තිබෙන්නේ. ඊට එරෙහිව විවිධ විද්වතුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 09 ගොනු කරලා තිබෙනවා.

මම ඇමැතිධූරයට පත් වුණාම මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. සිංහලෙන් හා දෙමළ භාෂාවෙන් රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කරවන්න කියලා අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක් ලබාදුන්නා. සමහර විට එය මුද්‍රණය වෙලා ඇති. නමුත් ඒ ගැන සොයන්න විදියක් නැහැ අපේ වැඩ තාවකාලිකව නතර කරල තිබෙන නිසා. මෙය ජනවාරි 21 කලින් සංශෝධනය කරන්න කියලා මම කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා කැබිනට් එකට දාන්න ඇමැතිවරයා ලෙස අස්සන් කරලයි තිබෙන්නේ. මෙහි ක්‍රියාත්මක දිනයන් කල් දාන්නයි කැබිනට් ම්ණ්ඩලයෙන් ඉල්ලුවේ. එය කරගන්න බැරි වුණොත් නැති ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා.

නව අදහස දක්වන්න