ජනගහනයෙන් පස්දෙනකුගෙන් එක් අයෙකු 2030 දී 60 පැනලා | දිනමිණ

ජනගහනයෙන් පස්දෙනකුගෙන් එක් අයෙකු 2030 දී 60 පැනලා

සන්ධ්‍යා කරුණාරත්න
වෛද්‍ය පාලිත අබේකෝන්

මෙරට ජනගහනයෙන් සෑම පස්දෙනකුගෙන්ම එක් අයකු වසර 2030 වන විට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයකු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කැර තිබේ.

මෙම ජනගහන වෙනස හේතුවෙන් ශ්‍රී ලංකාව වඩාත් වේගයෙන් වැඩිහිටි ජනගහනයක් ජීවත් වන දකුණු ආසියාතික රට බවට පත් වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වැඩි වන වැඩිහිටි ජනගහනයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සෞඛ්‍ය පද්ධතිය සකස් කර ගත යුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (11) ප්‍රකාශ කෙළේය. ලෝවැසි සැමට සෞඛ්‍ය රක්ෂණාවරණය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙරට ජීවත් වන සියලු පුද්ගලයන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් තිබිය යුතු බවත් වැඩි වන වැඩිහිටි ජනගහනයගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිති කිරීම අනිවාර්ය බවත් ඒ මහතා ප්‍රකාශ

කෙළේය.

මනුෂ්‍යයා ජීවිතය පුරා හරි හම්බ කරන මුදලෙන් සියයට 90 ක්ම වියදම් කරනුයේ ජීවිතයේ අවසන් වසර දෙක තුන තුළදි වැළඳෙන රෝග සුවපත් කර ගැනීමට බවත් පුද්ගලයාට වැළඳෙන රෝග සුවපත් කර ගැනීමට මීට වඩා හොඳ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඒ මහතා පැවැසීය.

රටක ජනතාවගේ ආයු කාලය වැඩි කිරීම සඳහා කළ අඛණ්ඩ වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටි ජනතාව ඉහළ ගොස් ඇත්තේ යැයි ද, රටේ සෞඛ්‍ය පද්ධතිය වත්මන් ජනගහන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

අතීතයේදි අප කරමින් සිටියේ රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම බවත් එමඟින් අපට ඉතිරි කරනු ලැබුවේ මහජන කේන්ද්‍රීය නොවන සෞඛ්‍ය පද්ධතියක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය රුවයිස් හනීෆා මහතා පැවැසුවේය.

මෙරට සෞඛ්‍ය පද්ධතිය මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බවට පත් කිරීමට දැන් කාලය එළැඹ ඇතැයි ද ඒ මහතා පැවැසීය.

ඡායාරූපය - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න