පාඨක‍ෙයා කැමති තාක් මම ලියනවා | දිනමිණ

පාඨක‍ෙයා කැමති තාක් මම ලියනවා

ජෝන් ක්‍රම්ප්

'Going Home' යනු, A. American නාමයෙන් පෙනී සිටින, ජෝන් ක්‍රම්ප්ගේ කෘතියකි. එම කෘතිය සහ තවත් තොරතුරු පිළිබඳ www. ammoland.com වෙබ් අඩවිය කතුවරයා සමඟ කරන ලද සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබගේ පසුබිම පිළිබඳ පළමුව කියන්න පුළුවන්ද?

මම වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක්. මම දැනට වසර 20 ක වගේ ඉඳන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

ඔබගේ කතුවර නාමය ලැබෙන්නේ කොහොමද ?

"A. American" කියන්නේ මම “Going Home” කෘතිය ප්‍රචාරණය කරන්නට භාවිත කළ වෙබ් අඩවියේ නම. මම ඒක ප්‍රචාරණය කරලා, ඒක හැමෝම බැලුවට පස්සේ හැම දෙනෙක්ම මා හැඳින් වූයේ "A. American" කියලා. අදටත් මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මා හඳුනන්නේ සහ අමතන්නේ ඒ නමින්.

මේ කතාවේ සාරාංශය කෙටියෙන් ප්‍රකාශ කළොත් ?

සිතන්න ඔබ නිවෙසේ සිට සැතැපුම් 250 ක් පමණ දුරින් සිටින අවස්ථාවක්. ඔබගේ මෝටර් රථය පමණක් නෙමෙයි, ඔබේ අවට ඇති සියලු වාහන , සියලු ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා විරහිත වෙලා. ඒ මොහොත ගැන ඔබ මොකද හිතන්නේ? ඔබට මේ වගේ අත්දැකීමක් “Going Home” කෘතිය කියැවීමෙන් අත්විඳින්න පුළුවන්.

මේ කතාවේ කතා නායකයා උත්සවයකට සහභාගී වීමට ඔහුගේ නිවෙසින් සැතැපුම් 250ක් පමණ ඈත පිහිටි ස්ථානයකට යනවා. ඒත්, නොසිතූ පරිදි එදින මුළු රටේම විදුලිය විසන්ධි වෙනවා. සියලු ම මෝටර් රථ ක්‍රියා විරහිත වෙනවා . ඔහුට ඒ මොහොතේ තමාගේ නිවෙසේ සිටි බිරිය හෝ අන් කිසිවකු හෝ සමඟ සම්බන්ධ වීමට නොහැකි වෙනවා . කෙසේ හෝ මොහු එක් දවසක්ම මේ තත්ත්වය, නැවත යථා තත්ත්වයට පත්වන තුරු සිටිනවා . ඒත්, කෙසේවත් ම මේ තත්ත්වයට විසැඳුමක් ලැබුණේ නැති නිසා, ඔහු තමන්ගේ මෝටර් රථය අතහැර දමලා, නිවෙස බලා පයින්ම එන්න පිටත් වෙනවා. මේ ගමන අතරතුර සිදුවීම් මේ කතාව පුරා ගලාගෙන යනවා. මේ කතාව පුරා පෙන්නුම් කරන්නේ, පවුලේ සෙනෙහස සහ බැඳීමයි.

මේ කෘතිය කුමන වර්ගයට අයත් එකක්ද?

මෙය වික්‍රාමාන්විත ගණයේ කෘතියක්.

ඔබට මේ කතාව ලිවීමට අදහස ආවෙ කොහොමද ?

මම සාමාන්‍යයෙන් කාලයක ඉඳන් ම වෙබ් අඩවල පළවන කතා කියැවීමට කැමැතියි. ඒවා බොහොමයක් කෙටි කතා. බොහෝ නිර්මාණ, ඉතාමත් ම සිත් ගන්නා සුළු නිර්මාණ. එක දවසක රාත්‍රී එකොළහට පමණ මට එකවිටම කතාවක් ලියන්න අදහසක් ආවා. මම ඒ විගසම ලියන්න පටන් ගත්තා. මම එක දිගට පළමු වචන 5000 ලිව්වා . ඊට පස්සේ මම නින්දට ගියා. ඒක වෙබ් අඩවියක් නිසා, ලියපු ගමන් ම පළ වෙනවා. කෙසේ හෝ පසුවදා මම නැගිටලා බලද්දි, මට එක දිගට මගේ නිර්මාණය අගය කරලා පණිවිඩ ලැබිලා තිබුණා. ඒක තමා මගේ ලේඛන කලාවේ ආරම්භය.

ඉන් පසුව එය කෘතියක් බවට පත් වුණේ කොහොමද?

එතැනින් පසුව මට දිගින් දිගටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා . බොහෝ දෙනෙක් පැවසුවේ, "ඇයි ඔබ තවමත් ප්‍රමාද වෙන්නේ?" මේ කතාව පොතකට ගෙන එන්න කියලයි. ඒත් මට එකවරම එය හිතා ගන්න අමාරු වුණා. ඒකට හේතුව, වෙබ් අඩවියක කතාවක් පළ වූ පමණින්, ඒක කෘතියකට ගෙන එන එක සුදුසුද කියන එකයි. මං පොත ලියන්න පටන් ගත්තේ, මේ පිළිබඳ ප්‍රවීණයන් කිහිප දෙනකුගෙන් ම උපදෙස් ලබාගෙනයි.

ඔබේ නිර්මාණ බොහොමයක් ම වගේ පාඨකයාට තර්කානුකූලව සිතීමට ඉඩ ලබා දෙන ආකාරයට, කතාව නිර්මාණය කළ ඒවා. මෙය ඔබ සිතාමතාම, ඔබේ නිර්මාණ සඳහා උපයෝගී කරන දෙයක්ද ?

ඒක හිතාමතා කරන දෙයක් කියනවට වඩා, මම හිතන්නේ ඒක මගේ ශෛලිය කියලයි. මම බොහෝ විට ලියන්නේ සහ කියවන්නේ කල්පිත නිර්මාණ. නොදැනුවත්ම වගේ, ඒ ගති ලක්ෂණ කතාවට එක් වෙන්න පුළුවන්. මගේ මේ ශෛලිය වටා එක් රැස් වුණු වෙනම පාඨකයන් පිරිසක් සිටිනවා.

ඔබට සාමාන්‍යයෙන් පොතක් ලියා අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වෙනවද ?

එය එක් එක් කතාව මත රඳා පවතිනවා. වරක් මම එක පොතක් දින 90 කින් අවසන් කළා. තවත් පොතකට වසර එක හමාරක් පමණ ගත වුණා.

කර්තෘ ප්‍රකාශනය හෝ පිළිගත් ආයතනයක් හරහා ප්‍රකාශනය කිරීම අතරින් ඔබ වඩාත් හොඳයි කියා සිතන්නේ කුමන ආකාරයද ?

දෙකේම, වාසි, අවාසි දෙක ම තිබෙනවා. තනිව ප්‍රකාශ කිරීමේදී අපට සියලු දේ කෙරෙහි අයිතිය සහ පාලනය ලැබෙනවා. ඔබ සාර්ථක වුණොත්, ඉතා ඉක්මනින් මුදල් ලබා ගැනීමටත් හැකි වෙනවා. ඒත්, සියලු වගකීම් ඔබ භාර ගත යුතුයි. ඒත්, ඔබ සම්ප්‍රදායික ප්‍රකාශකයකු වෙත ගියොත් , සියලු වගකීම් ඔහු බාර ගන්න. බෙදා හැරීම කරන්නේ ඔවුනුයි. එය ඔබේ නිර්මාණය ඉක්මනින් පාඨකයන් අතරට යාමට උදවු වෙනවා. ඒත්, ඔබට මුදල් ලැබෙන්නේ වසරකට දෙවතාවකටයි. සියලු පාලනය ඔවුන් සතු වෙනවා. මෙවැනි ආකාරයේ වාසි, අවාසි තිබෙනවා.

ඔබගේ, 'ගොයින් හෝම්' කෘතිය අතිශයින් ජනප්‍රියයි. ඒ පිළිබඳ කතා කළොත්?

මගේ මේ කෘතිය මේ වසරේ වැඩි ම පිටපත් ගණනක් විකිනුණු කෘති අතර ඉදිරියෙන්ම තිබෙනවා. මේ කෘතිය වෙනස් ම විදිහේ කතාවක් කියලයි බොහෝ දෙනා පවසන්නේ. ඒ වෙනසත් සමඟ පාඨකයන් අතර, මේ පොත බෙහෙවින් ජනප්‍රියයි.

"Going Home" කියන්නේ Survivalist කථා මාලාවේ එක් කතාවක්. ඔබ මේ යටතේ තවත් පොත් කීයක් එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවද?

එය සැබැවින්ම රඳා පවතින්නේ පාඨකයන් මතයි. මම නිරන්තරයෙන් ඔවුන් සමඟ සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අදහස් විමසනවා. ඒ අනුව තමා මම මගේ අනාගත නිර්මාණ සඳහා කතාව ගොඩනගන්නේ. පාඨකයන්ගේ කැමැත්ත තිබෙන තුරු මම දිගටම ලියනවා.

ඔබගේ කෘතිවලට තොරතුරු ලබා ගන්නේ කොහොමද?

මං නිර්මාණ බොහොමයක් කරලා තියෙන්නේ, මන: කල්පිත දේ මඟින්. ඒත්, ඒ මන:කල්පිත අදහස් ගොඩනගන්න, පුළුල් දැනුමක් මා සතුව විය යුතුයි. අසත්‍ය , අද්භූත දේවලින් පොත පිරවීමේ තේරුමක් නෑ. එනිසා මං හැම වෙලාවෙම අධ්‍යයනය කරනවා. පොත් පත් කියවනවා. නොදන්නා දේ හදාරනවා. ප්‍රවීණයන් ඇසුරු කරනවා. ඒ වගේ ම, පාඨක අදහසුත් ලබා ගන්නවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න