ලාංකේය සමාජ විශ්ලේෂණයේ ගණනාත් භූමිකාව | දිනමිණ

ලාංකේය සමාජ විශ්ලේෂණයේ ගණනාත් භූමිකාව

‘‘ගණනාතගේ රචනා’’ නමැති ගණනාත් ඔබේසේකරගේ ලිපි දොළොසක සිංහල පරිවර්තන ඇතුළත් කෘතිය, මේ මස 13 වැනිදා (හෙට) උදේ 9.00ට කැලණිය සරසවියේ සමාජීයවිද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දිගුකාලීන ව ලාංකේය සමාජය, සංස්කෘතිය, ජනශ්‍රැතිය මෙන් ම, ලංකාවේ ආගමික හා දේශපාලනික සංස්ථා පිළිබඳ පර්යේෂණ කළ පරිණත මානව විද්‍යාඥයකු වශයෙන් ගණනාත් ඔබේසේකරයන් ශ්‍රී ලාංකේය සමාජයට සුවිශාල බලපෑමක් සිදු කළේ ය. එහෙත් ඔහු, දිගින් දිගට ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිවීම හා දේශන පැවැත්වීම නිසා, මෙරට ඉතා සුළු පාඨක හා ශ්‍රාවක පිරිසක් පමණක් ඔහුගේ බලපෑමට ලක් වූ බව පෙනේ. ඔහුගේ තීරණාත්මක ලේඛන 12ක් පමණ සිංහල භාෂාවට පෙරළා පළ වන මෙබඳු අවස්ථාවක, සිංහල පාඨකයාට ඔහුගේ ඥාන සම්භාරයට සමීප වීමට අගනා අවස්ථාවක් උදා වෙයි.

සිංහල සමාජයේ මේ මොහොතේ පවතින සමාජ විද්‍යාව කෙබඳු ද?

සමාජ හා මානව විද්‍යාව ලංකාවේ බහුතර විශ්වවිද්‍යාලවල ප්‍රධාන විෂයක් වන අතර, බොහෝ ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ විෂය හදාරති. බාහිර උපාධි ශිෂ්‍ය ප්‍රජාව හා විවිධ වර්ගවල පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා ශිෂ්‍යයන් එයට එක් වූ විට, ශ්‍රී ලංකාවේ සෑම ගමක්, නියම් ගමක් පාසාත්, බොහෝ රාජ්‍ය ආයතනවලත් සමාජ විද්‍යා විද්‍යාර්ථින් දැකිය හැකි ය. එහෙත්, මේ අයට උගන්වන විෂය කරුණු හා විශ්ලේෂණ ක්‍රමවේද අතිශයින්ම සරල, මුලික සංකල්ප කිහිපයකට ඔබ්බෙන් ගමන් නොකරයි. ඉහළ මට්ටමේ සමාජ හා මානව විද්‍යාත්මක ලිපි ලේඛන ඔවුන් වෙත ළඟා නොවෙයි. ඔවුනට ලැබෙන්නේ අතිශයින් දිළිඳු සටහනකි. එසේත් නැතහොත්, එම සටහනම යම් තරමකට දියුණු කළ සටහන් දෙන, ගුරුවරුන්ම ලියා විභාගය සඳහා ම පළ කළ පොතකි.

මේ තත්ත්වය තුළ ඉහළ ගණයේ විශ්ලේෂණාත්මක ලිපි කිසිවක් නොමැතිව මේ විද්‍යාර්ථීහු උපාධි, පශ්චාද් උපාධි හා ඩිප්ලෝමා ලබති. ඉන් පසු සමාජවිද්‍යාවෙන් රටට කිසිදු සේවයක් වන්නේ නැත. මේ මුලික සංකල්පවලට ඔබ්බෙන් අප ගත කරන සමාජය පිළිබඳ විශ්ලේෂණාත්මක දැනුමක් සම්පාදනය කිරීම, ගණනාත්ගේ පර්යේෂණවල මූලික අභිප්‍රායයයි. ඒ සඳහා ඔහු ජාත්‍යන්තර තලයේ විශිෂ්ට සමාජවිද්‍යා න්‍යායධරයන්ගේ කෘති හා මැදිහත්වීම්වලින් සුවිශාල ආභාසයක් ලබයි.

ස්ථාපිත මත ප්‍රශ්න කිරීම හා ඒවායේ සංකීර්ණ පැතිකඩ දැකීම සමාජය, සංස්කෘතිය, මානව සබඳතා යනාදිය පිළිබඳ දිගුකාලීනව ස්ථාපිත වී තිබෙන මතවාද, ගණනාත් විසින් තාර්කිකව හා සියුම් ලෙස ප්‍රශ්න කරයි. එය ඔහු තම සිතුවිලි මත පදනම් වී කරන හිතලූ ප්‍රශ්න කිරීමක් නොවේ. ක්ෂේත්‍ර පර්යේෂණ හා අප රට බොහෝ සාම්ප්‍රදායික පඬිවරු විසින් ඉවත දැමූ, එහෙත් අතිශය වටිනා විවිධ මුලාශ්‍රය පරිශීලනය කරමින් කරන සතාර්කික ප්‍රශ්න කිරීමකි.

උදාහරණ ගෙන හැර පෑමට කැමැත්තෙමි.

‘‘වී වගාව හා ගව පාලනය සමඟ දඩයම් නතර වූවායි සිතීම මුළාවකි. මා ක්ෂේත්‍ර පර්යේෂණයේ යෙදුණු ප්‍රදේශයේ සිංහලයෝ දඩමස් කෑම බෞද්ධ ප්‍රතිපදාවට නොගැළපෙන්නකැයි විශ්වාස කරති. එහෙත්, ඔවුහු දඩමස් කෑමට දැඩි සේ කැමති වෙති. ඔවුන්ගේ ප්‍රියතම මස් වර්ග වන්නේ, මුව මස් හෝ ගෝණ මස් ය. පිරිසිදු මසක් ලෙස මුව මසට ඇති පරම තත්ත්වය කෙතරම් බලවත් වන්නේද යත්, ප්‍රදේශයේ අභිචාරාත්මක ක්‍රියාකාරකම්වල යෙදෙන කපුරාළලා යාතු කර්ම පවත්වන අවස්ථාවල දී මස් මාළු කෑමෙන් වැළකී සිටියත් මුව මස් තහංචි මාසයක් ලෙස නොසලකති. කතරගම පූජ්‍ය ස්ථානය නව මධ්‍යම පන්තික ක්‍රමයට අනුගත කිරීමට පෙර, දෙවියන්ට පූජා කරන අඩුක්කුවට මුව මස් ද ඇතුළත් විය.’’

(යටත්විජිත ඉතිහාස ලේඛන හා වැද්දා පිළිබඳ ප්‍රාථමිකතාවාදය; නුවර යුගයේ ලේඛන පිළිබඳ විසම්මුතික කියවීමක් යන ලිපියෙනි.)

වැදි ජන ජීවිතයේ ස්වරූපය සිංහල ජනයා තුළටත්, සිංහල ජනයාගේ ජීවන රටාව වැදි ජනතාව තුළටත්, විවිධාකාරයෙන් කිඳා බැස ඇති අතර, ඒවා වෙන් වශයෙන් අනන්‍යතා ලෙස නොපවතී. දඩමස් කෑම මෙහි දී ඒ එක් මූලික කාරණාවක් ලෙස ගණනාත්ගේ අවධානයට ලක් වේ.

සිංහල හා වැදි සංස්කෘතිය යනුවෙන් දෙකට බෙදා කරන වර්ගීකරණ අධ්‍යයනයට ගණනාත් තිත තබන්නේ, ජාතික අනන්‍යතාවේ සම්මිශ්‍රිත ස්වරූපය අවධාරණය කරමිනි. ගජබාහු දිය දෙබෑ කරගෙන ඉන්දියාවට ගොස් සිරකරුවන් නිදහස් කරගෙන පැමිණි මහාවංශ පුවත, ඔබේසේකර විශ්ලේෂණය කරන්නේ මෙසේ ය.

‘‘ගජබාහු පුවත දෙස හෙලන සුළු බැල්මක දී වුව ද පෙන්නුම් කරන්නේ මේ විස්තර ඓතිහාසිකව නිරවද්‍යතාවක් නොමැති ය යන්නයි. මුහුද දෙබෑ කිරීම් හා වෙනත් ප්‍රාතිහාර්යාත්මක සිදුවීම් මඟින් ද පෙන්නුම් කරන්නේ, මේවා කොහෙත්ම ඓතිහාසික විස්තර නොවන බවයි. කෙසේ වෙතත් මේ විස්තරය දිය කැපීමේ වතාවත්වල ගායනා කෙරෙන ගජබාහු පුරාණෝක්ති පුවත සමඟ සෑම එක් එක් කරුණක් පාසාම සෑහේ. ගජබාහු පුවත් යනු කිසි ම ආකාරයේ ඓතිහාසික කතාවක් නොව, දිය කැපීමේ උත්සවය සමඟ බැඳුණු පුරාණෝක්තිමය එකකි.’’

(ගජබාහු සහ සෙන්කූට්ටුවන් සංස්කෘතික වීරයන් සහ පද්‍යකරණ පුරාණෝක්ති යන ලිපියෙනි.)

ඉතිහාසයේ සඳහන් ගජබාහු කථාන්දරය පිළි නොගන්නා ගණනාත්, එය පුරාණෝක්තිමය වශයෙන් සලකා වෙනත් අභිචාර සමඟ ගළපා බලයි. මේ අනුව ඔහුගේ නිගමනය වන්නේ, එය ඓතිහාසික කථා පුවතක් නොව, පුරාණෝක්තිමය, එනම් පුරාණෝක්තියකට අයත් එකක් බවයි.

ද්‍රවිඩ මුලාශ්‍රය සමඟ ද සසඳමින් ගණනාත් මෙයින් නව අරුත් මතු කරමින් දීර්ඝ විග්‍රහයක නිරත වේ. ඔහු එම විග්‍රහයේ අවසානයේ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ දකුණු ඉන්දීය පදිංචිකරුවන්ගේ තහවුරු වීම සාධාරණීකරණය කිරීම, මේ කථාවේ මෙහෙවර ලෙස පෙනෙන බවයි.

‘‘සිංහල සමාජ ස්ථරය තුළට සංක්‍රමණික කණ්ඩායම් ඇතුළත් කර ගැනීමේ දී ගජබාහු පුරාණෝක්තිමය ප්‍රඥප්තියක් ලෙස දක්වන ශක්‍යතාව මෑත කාලය තෙක් නොසිඳී පැවත ඇත. මේ අනුව ගජබාහු පුරාණෝක්තිය ශ්‍රී ලංකාව තුළ දකුණු ඉන්දීය පදිංචිකරුවන්ගේ පැවැත්ම සාධාරණීකරණයට හා පහදා දීමට අඛණ්ඩව සමත් වී ඇත.’’

සාම්ප්‍රදායිකව පිළිගන්නා ලිඛිත ඉතිහාසය වෙනත් පුරාවෘත්ත, ජනප්‍රවාද, විකල්ප මාන සමඟ එකිනෙක සම්බන්ධ කරන ගණනාත්, එයින් සැඟවී තිබිය හැකි සංකීර්ණ මිනිස් සබඳතා සහිත ඉතිහාසයක් මතුකර ගනියි. එය එක්තරා අන්දමක ඉතිහාසය නැවත කියවීමකි. පුරාණෝක්ති වඩාත් සියුම් ලෙසත්, තුලනාත්මක ලෙසත් විමසා බැලීමකි. ගණනාත්ගේ පර්යේෂණ රුචිකත්වය යොමු වූයේ, ඉතිහාසය දෙසට පමණක් නොවේ. වර්තමානයේ ඈත ගම් නියම්ගම්වල ද ඔහුගේ ක්ෂේත්‍ර පර්යේෂණ විහි දී තිබේ.

ගැබිනි මව්වරුන්ගේ දොළදුක

60 දශකයේ දී ගණනාත් ප්‍රකාශයට පත් කළ ‘‘සිංහල ගමක සමාජ සංස්ථිතිය සහ පෞරුෂත්වය සමඟ බැඳුණු ගැබිනි මව්වරුන්ගේ දොළදුක’’ ලිපිය ලග්ගල ප්‍රදේශයේ කරන ලද ක්ෂේත්‍ර ගවේෂණයක ප්‍රතිඵලයකි. ගණනාත් පෙන්වා දෙන අකාරයට මේ පර්යේෂණයට පෙර ඒ ගැන සමාජ සංස්කෘතික විග්‍රහයක් සිදු වී නොමැත.

සිග්මන් ප්‍රොයිඩ්ගේ අදහස් උපයෝගී කර ගනිමින් ගණනාත් මෙහි දී දොළදුක සංකල්පය මනෝවිද්‍යාත්මකව ගැඹුරින් යුතුව අධ්‍යයනය කරයි. ප්‍රොයිඩ්ගේ සිහින විශ්ලේෂණය දොළදුකේ දී ආහාර සඳහා ඇති වන ඇල්ම විග්‍රහ කර ගැනීමට ආදේශ කරනා ගණනාත්, මෙසේ පවසයි.

‘‘ආහාරවලින් සංකේතාත්මකව පෙන්වා දෙනු ලබන්නේ කුමක්ද? යන්න වටහා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයන්, ප්‍රොයිඩ් විසින් සිහින මඟින් ප්‍රකාශයට පත් වන සංකේත විශ්ලේෂණාත්මකව හඳුනා ගැනීම සඳහා, සවිස්තරාත්මකව දක්වා ඇති ක්‍රමවේදයන්ට සමාන වේ. එහෙත් දොළදුකෙහි දක්නට ලැබෙන සංකේත විශ්ලේෂණය කිරීම බෙහෙවින් සංකීර්ණ නොවේ.’’

(සිංහල ගමක සමාජ සංස්ථිතිය සහ පෞරුෂත්වය සමඟ බැදුණු ගැබිනි මව්වරුන්ගේ දොළදුක නමැති ලිපියෙනි.)

දොළදුක විශ්ලේෂණය කරන ගණනාත් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවතින ලිංගික හා ආදර සම්බන්ධතා අඬදබර යනාදිය දොළදුක මඟින් නිරූපණය වන ආකාරය පෙන්වා දෙයි. එහි දී ගැහැනු, පිරිමි නුරුස්නාව පිළිබඳ ඔහු ගෙන එන ඇතැම් අදහස්, මානවවිද්‍යා විග්‍රහයක දී මනෝවිද්‍යාවෙන් ලබන අතිමහත් විශේලේෂණාත්මක ආලෝකය පිළිබිඹු කරන කදිම නිදසුන් ය. ගැබිනි සමයේ දී කාන්තාවන් ප්‍රිය කරන ඇතැම් ආහාරවලින් පිළිබිඹු වන්නේ, පුරුෂ පක්‍ෂය කෙරෙහි ඔවුන් තුළ ඇති ද්වේශය බව පෙන්වා දෙන ගණනාත්, ඒ පිළිබඳ මෙසේ උදාහරණ දක්වයි.

‘‘දඬුලේන් මස් ආහාරයට ගැනීමට ද ප්‍රියතාවයක් සමහර කාන්තාවන් විසින් දක්වන ලදී. දඬුලේනා යන්න ද ලග්ගල ග්‍රාමයේ භාවිත වන අව්‍යක්ත ව්‍යවහාරය තුළ සංකේතවත් කරන්නේ ශිෂ්ණයයි. දඬුලේන් දොළදුක මනෝගතික දෘෂ්ටිකෝණයෙන් බලා පරිවර්තනය කළ විට, එයින් අදහස් කරන්නේ ශිෂ්ණයක අවශ්‍යතාවයි.’’

ඉහත ලිපියෙන් උපුටා ගැනිණි.

ඉතිහාසය ඒක මානික නොවීම හා පරිකල්පනවල පවතින වෙනස් වන තත්ත්වය, ගණනාත්ගේ රචනාවල පවතින විශිෂ්ටතම ගුණය වන්නේ ජාතිය, ආගම වැනි සංකල්ප වරින් වර විවිධ සමාජ, ආර්ථික හා දේශපාලනික සන්දර්භවල දී වෙනස් වන ආකාරය පිළිබඳ දක්වන සියුම් අවධානයයි. මෙය ඔහු කරන්නේ, බෙහෙවින් කරුණු හා උදාහරණ ගෙන එමින් වුවත්, එහි පදනම විශ්ලේෂණාත්මක එකකි.

‘‘බුදු දහම, ජාතිකත්වය හා සංස්කෘතික අනන්‍යතාව පූර්ව-නූතන හා පුර්ව-යටත් විජිත සැකැස්ම’’ නමැති ලිපිය මේ සඳහා කදිම උදාහරණයකි.

ගණනාත් මේ ලිපියේ දී ජාතියේ සම්භවය පිළිබඳ බටහිර මතය දැඩි ලෙස ප්‍රශ්න කරයි. ජාතිය උදෙසා න්‍යායධරයන්ගේ මතවල පවතින පරස්පරතා ගෙන හැර පාමින්, ලාංකේය රාජ්‍යය නිර්මාණය වීම පිළිබඳ කථාබහක් නිර්මාණය කරයි. මෙය අතිශයින්ම ගැඹුරු බුද්ධිමය සාහිත්‍යයකි.

පහත උදාහරණය විමසා බැලිය හැකි ය.

‘‘ඉතිහාසයේ ඇතැම් යුගවල පොදු ජන පරිකල්පනය වාර්තාගත කරන්නේ දෙමළ රැජිණියකට උපන් දරුවන් සිංහල දරුවන්ට වඩා පහත්, නැතහොත් අවජාතක වශයෙනි. ඇතැම් කාලවල එකී පරිකල්පනය මීට ප්‍රතිවිරුද්ධ විය. මේ විවාහ සබඳතා සාමාන්‍ය ජනයා හා රජවරුන් යන දෙපාර්ශ්වයටම ඓතිහාසික යථාර්ථයක් වූවා පමණක් නොව, අන්තර් විවාහයකට නිත්‍යානුකූලභාවයක් දෙන ප්‍රාරම්භක පුරාවෘත්තයට පෙරළා ආලෝකයක් ලබා දීම ද සිදු කරයි.’’

සමාලෝචනය

ගණනාත් සිංහල පාඨකයාට හා විද්‍යාර්ථියාට විශාල ආලෝකයක් සපයන ප්‍රාඥයෙකි. ඔහු සිංහල පාඨකයා වෙත රැගෙන ඒමේ දුෂ්කර කටයුත්ත යම් තරමකින් හෝ සපුරාලීමට ලැබීම සතුටට කරුණකි.

කථිකාචාර්ය චින්තක රණසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය


නව අදහස දක්වන්න