ශනි රවි එකතුවේ පලාඵල | දිනමිණ

ශනි රවි එකතුවේ පලාඵල

දෙසැම්බර් මස 16 වෙනිදා පෙ. ව. 9.00ට ග්‍රහ ලොව රජු හෙවත් සූර්යයා වෘශ්චික රාශියෙන් ධනු රාශියට මාරුවේ. දඩබ්බර කුජගේ නිවසේ සිටි රවි මහා පඬි ගුරුගේ නිවසට පිවිසේ. ඒ තනිවම නොව එහි සිටින සෙනසුරු සමඟ අතැඟිලි බැඳගෙනය. රජ්ජුරුවො සිඟන්නෙක් සමඟ පඬිවරයාගේ නිවසට පිවිසීම නිසා මෙම මස අමුතුම සිදුවීම් රටේ නන්දෙසින් ඔබට අසන්නට හැකි වේවි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළද මෙතෙක් අසන්නට නොලැබුණු තවත් කතා කීපයක්ම ඉදිරි කාලයේද අසන්නට ලැබෙන්නේ රවි යනු සෘජුවම රජය නියෝජනය කරන ග්‍රහයා වන බැවිනි. විටෙක වත්මන් ජනපතිට පවා මෙතෙක් නොකළ දේ කරන්නට ඉල්ලීම් කරන්නට සිදුවේවි. රජය මෙන්ම සියලුම දේශපාලන පක්ෂවලට ජනතාවගේ අප්‍රසාදය තදින්ම හිමිවන මාසයක් 16 වෙනිදා ලබයි.

ශ්‍රී ලංකා කේන්ද්‍රය ලෙස ගණන් ගැනෙන කුම්භ ලග්නයේද 11 ට පිවිසි රවි එහි සිටින ශනි සමඟ සංයෝග වීම නිසාත් දෝෂභංග තත්ත්ව පවා පහව යයි. ලග්නගත කුජගේ දඩබ්බර ස්වභාවය ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වයි. රවි ධනුවට පිවිසෙන අවස්ථාවේ සඳු 02 හි මීන රාශිගතවී සිටීම නිසා එයින්ද කාන්තා පාර්ශ්වයට පීඩාවක් එල්ල කරයි. විටෙක පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය හමුවේ නීතිය හමුවට යන කාන්තා පාර්ශ්වය ඉදිරි මස තුළදී සමස්තයක් ලෙස වැඩිවන ලකුණු පෙනේ.

මේ හේතුව හා රාජ්‍යතාන්ත්‍රික ගැටලු නිසා අප රටේ අධිකරණ ක්ෂේත්‍රයට නම් වැඩ වැඩිවන බවත් පෙනෙන අතර ඔවුන්ගේ බලය ද වෙනදාට වඩා තහවුරු වනු ඇත. මේ නිසාම අප රට දෙස ජාත්‍යන්තරයේ අවධානය වැඩිවේ. එය අප රටට එතරම් හොඳ ප්‍රවණතාවයක් නොවනු ඇත. මෙතෙක් පැවතී ගෙන ගිය ක්‍රියාවල උඩු යටිකුරු වීමක් මෙන්ම ඉමක් කොනක් සොයාගත නොහැකි ප්‍රශ්න වැලක ආරම්භයක් සනිටුහන් වන කාලසීමාවකි.

ස්වභාවධර්මයේ පවා නොසිතූ වෙනස්කම් ඇතිවන්නේ ධනු හි සිටින ශනි, රවි එකතුවීම නිතරම යහපතට වඩා අයහපත සිදුකිරීමට මාන බලනු බැවිනි. නොසිතූ ගිනි අනතුරු නිසා දේපළ ද, ජීවිත ද අනතුරට පත්වේ. කුඩා දරුවන් ඒවායෙන් හැකි තරම් ප්‍රවේසම් කර තැබිය යුතුය. නොසැලකිල්ල නිසා සිදුවන ගිනි අනතුරු ඇතිවිය හැකිය. විදුලි රැහැන් පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා නොබැලීම විටෙක නොසිතූ දැවැන්ත අනතුරකට අතවනයි.

රටේ ප්‍රභූ යැයි පිළිගන්නා අයගෙන්ම පහත් වැඩ සිදුවීමට ඉඩ ඇත. ඒ නිසා "උගතා මෝඩයා" යැයි කියා වෙනසක් නොමැතිව බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයක් එළැඹ ඇත. රටේ උ‍පදෙස් දෙන්නට සිටින උගතුන් මෙන්ම මහා සංඝරත්නයෙන් පවා අප බලාපොරොත්තු නොවන අයහපත උදාවිය හැකි නිසා සැවොම විමසිලිමත් විය යුතු මාසයක් එළඹෙනු ඇත.

මෙහිදී සමස්තයක් ලෙස ලග්න 12 ට ලැබෙන පලාපල තත්ත්වය ගෙන බැලීමේදී උඳුවප් මහේ සීතලත් සමඟ සිසිල විඳගන්නට සැරසෙමින් සිටින අප රට හිරු ශනි ඒකරාශීවීමෙන් ලැබෙන රශ්මිය නම් සිසිලසට පෙරම අත්විඳින්නට ලැබෙනු ඇත. ඒ අතරේ මේෂ රාශියෙන් උපන් ඔබට 9 වැන්නගත රවි ශනි සංයෝගය නිසා ලැබෙන්නට තිබෙන පෙර පිනට වඩා බාධාවක් කඩාවැටෙනු‍ පෙනේ. මේ නිසාම ලැබීම් පවා පමාවන මාසයකි. විටෙක තමාට ලැබෙන්නට තිබූ තැන වෙනත් අයකු විසින් ඩැහැගනු ඇත. ගෙදරදොර ආශ්‍රිතව කරදරකාරී බවක් පෙන්නුම් කරයි. ආදායම තරමකින් අඩු වේ. සිකුරු 07 ගමන් කිරීම නිසා මංගල කටයුතු කෙරේ නම් අවධානය වැඩි වේ.

වෘෂභ ලග්න හිමියන් දෙස බලන විට ශනිගේ අෂ්ඨම ඒරාෂ්ඨකය සමඟ සංයෝග වන රවි 08 හි තැන්පත් වීම නිසා ඔබට වැඩි වශයෙන්ම කරදර බාධක පෙන්නුම් කරයි. විශේෂයෙන් විදුලි රැහැන් ආශ්‍රිත රැකියාවල නිරත අයට මෙම මාසය ඉතාම ප්‍රවේසම් විය යුත්තේ තමාගේ නොසැලකිල්ල, සුළු අත්වැරදීම දිවි පරදුවට තැබීමට පවා ඉඩ ඇති බැවිනි. විවාහ ජීවිත පවා බිඳ වැටීමට ලක්වේ.

මිථුන රාශි හිමි ඔබට රවි ශනි සමඟ 07 හි ගමන් කිරීම ඇරඹූ නිසා හවුල් කටයුතුවලට බාධා ඇතිවේ. විවාහ දිවියේ දෙදෙනා අතර තිබූ විශ්වාසය, ආදරය බිඳවැටීමට තුඩු දෙන කරුණු යෙදීමට ඉඩ ඇති නිසා ඉතාම ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ.

කටක ලග්න හිමි ඔබට රවි ග්‍රහයා ශනි සමඟ 06 වැන්නේ තැන්පත්වීම නිසා ළඟ සිටින සමීපතම විශ්වාසම අය පවා දුරස්වීමට හැකිය. සතුරන් අලුතින් ඇතිවිය හැකි කාලසීමාවක් ලබනු ඇත. විවාහ ජීවිතවලට නම් නොසිතූ බාධක උදාවනු ඇත. විටෙක කිසිදා වෙන් නොවන්නට නොසිතූ අය නීතියේ පිහිට පවා පතනු ඇත. ආදායම අඩු වුවද ණයවීම් නම් අඩුවක් නැතිවේ.

සිංහ ලග්න හිමි ඔබට පමණක් ලග්නාධිපති වන රවි 05 වැන්නට පැමිණ ලග්නයට ත්‍රිකෝණ දෘෂ්ටි හෙලමින් සිටී. මේ නිසා තරමක කැපී පෙනීම ලැබුණද එය රඳවා තබාගැනීමට අපහසු වෙයි. දරුවන් සිටින සිංහ හිමි මව්පියන් තම දරුවන් අනතුරුවලින් ප්‍රවේසම් කරගත යුතු කාලයකි. රාහු 12 ගමන් කරන වේලාව නිසා වැය පාර්ශ්වය ඉහළ යයි.

කන්‍යා ලග්න හිමි ඔබට රවි 04 වැන්නේ ශනි සමඟ සංයෝග වීම නිසා හිත තුළ තිබූ සැහැල්ලු ගතිය නිමාවට පත්වී හිත දැඩි ප්‍රතිපත්තිවලට පෙරළෙන අතර වෙනදාට වඩා කේන්තියාම් වැඩිවේ. අන් අය කෙරේ අනුකම්පාව අඩු වී පළිගැනීමේ චේතනා ආදිය වැඩිවේ. කොමිස් කොන්ත්‍රාත් වැඩ ඉතා හොඳින් කළ හැකි වන අතර එය අයහපතට වැඩිය.

තුලා ලග්න හිමියන්ට රවි 03 වැන්නට පැමිණෙන අතර එහි සිටින ශනි සමඟ සංයෝග වීම නිසා රට ජාතිය කෙරෙහි ද තිබූ හැඟීම අඩු වී නොකළ දේ පවා කිරීමට සිත් යෙදෙයි. මේ නිසා මෙම ලග්නයෙන් උපන් වගකිවයුතු අය රට ගැන පළමුව සිතීම වඩාත් යහපත්ය.

වෘශ්චික ලග්න හිමියන්ගේ රවි 02 වැන්නට පැමිණ ශනි සමඟ සංයෝග වීම නිසා ඔබට ද මෙම පිහිටීම එතරම්ම සුබදායක නොවන්නේ 08 වැන්නට 07 වෙනි දෘෂ්ටි හෙලීම නිසාය. එනිසා අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුය. ආදායම් අඩුවේ. කේන්තිය පිටවීම වැඩි නිසා සමීපතමයන් සමඟ පවා ගැටුම් ඇතිකරගනී.

ධනු රාශි අයගේ ලග්නයේම තැන්පත් වන රවි ශනි යෝගය නිසා ඔබට හිසට මහා බරක් පැටවූවා සේ දැනෙනු ඇත. එසේම පවුල් බොහොමයකගේ ධනු රාශි අයටම බර පැටවෙනු දකින්නට ලැබේ. මෙම ලග්නයේ අය තම විවාහ ජීවිතය රැකගන්නට බොහෝ කැපකිරීමක් කරන්නට සිදුවන මාසයකි. එමෙන්ම ඔබව පරිස්සම් කරගෙන වැඩ කරගත යුතුය.

මකර ලග්නයේ අයගේ රවි ශනි යෝගය 12 වැන්නේ තැන්පත්වීම නිසා අධික වියදමක් නිසා ඔබ බොහෝ අසීරුතාවයකට පත්විය හැකි මෙම මාසයේ ඉතාම කළමනාකරණයකින් යුතුව කටයුතු කරන්න. එසේම පාදවලට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් බොහෝ සැලකිල්ලෙන් කටයුතු කරන්න. විවාහ ජීවිතයේ සහකරු සහකාරිය සමඟ වැඩි කතාවට නොගොස් ප්‍රශ්න කෙටියෙන් විසඳාගැනීම සුබ වේ.

කුම්භ ලග්න හිමියන්ගේ 11 වැන්නේ රවි ශනි සමඟ සංයෝගවීම නිසා ඔබට මුදල් කරදර ඇතිනොවුණත් රටේ ලග්නය ද මෙයම වන නිසා ර‍ටේ ප්‍රශ්න ඔබට තදින් බලපායි. කුජ ලග්නයේ නිසා ගතිපැවතුම් අතින් සෘජු ප්‍රතිපත්ති අනුගමනය කරයි.

මීන ලග්න හිමියන්ට රවි ශනි යෝගය 10 හි ක්‍රියාත්මක වීම නිසා රැකියාවට සුළු සුළු බාධා මතුවේ. උසස්වීම් බලාපොරොත්තු වූ අයට එය තවමත් පමාවන ලකුණු යෙදේ. ගෙදරදොර කරදර බාධක නිසා හිතට සහනය අඩුවේ. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබීම පවා පමාවේ. ඉගෙන ගන්නා අයට නම් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ.

ජ්‍යොතීර්වේදිනී
සුරංජා සරෝජිනි ‍පතිරණ


නව අදහස දක්වන්න