ලොකු මහත්තයාගෙන් බරපතළ කොන්දේසියක් | දිනමිණ

ලොකු මහත්තයාගෙන් බරපතළ කොන්දේසියක්

ඇමරිකන් හස්ල් 37

ඇබ්ස්කැම් මෙහෙයුම පුරාම ක්‍රියාත්මක වූ ප්‍රහාර බළකායේ හස්තය වූයේ දක්ෂ අභිචෝදකයකු වූ ජේකබ්ස්ය. එරිච්චෙට්ටි සමඟ හමුවේ දෙබස් පටිගත කිරීමට අමතරව සජීවීව වීඩියෝ ගතකිරීමටද යෝජනා කළේ ජෝන් ජේකබ්ස්ය. එපමණක් නොව මෙම සුවිශේෂී හමුව සිදු වෙද්දී යාබද කාමරයක හිඳ එය අධීක්ෂණය කිරීමටද හේ එකඟ විය.

ඇබ්ස්කැම් මෙහෙයුම ඇමරිකානු දේශපාලන වේදිකාවේ ප්‍රබලයින් වටකර දැල එලද්දී හසු වූ තෝරු මෝරු අතර පළමුවැන්නා වූයේ රොසෙන්බර්ග්ය. ඉන්පසු නගරාධිපති එරිචෙට්ටි, ෆිලඩෙල්ෆියා ප්‍රාන්ත නීතිඥයකු වූ හොවාර්ඩ් ක්‍රයිඩන්, නිව් ජර්සි නුවර දැවැන්ත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ ජෝසප් සිල්වෙස්ට්‍රිත් ඇබ්ස්කැම්හි සෙසු සහාය භූමිකා රඟදැක්වීමට පිළිවෙළින් එක්වූයේ තමන් රඟදක්වන්නේ අපරාධකාරී ජීවිතයේ අවසන් රංගනය බව නොදැනය. ඇබ්ස්කැම් මෙහෙයුමේ පුවත්වලින් පුවත්පත් පිරී යද්දී වාර්තාකරුවන් මේ සිවුදෙනා හැඳින්වූයේ, ඇබ්ස්කැම්හි ‘සතර අතරමැදියන්‘ ලෙසිණි. තක්කඩියන් සිවුදෙනාම අනුන් පොළඹවා ගැනීමෙහිලා සූරයන් වූ අතර ඇබ්ස්කැම් වෙත සම්බන්ධව සිටියේ සාක්කු පුරවා ගැනීමේ පරම චේතනාව පෙරදැරිවය. මේ සිවුදෙනා අල්ලස් ලබාගනිමින් තමන් වැනිම දූෂීත කොන්ග්‍රස් සභිකයින් හා දේශපාලනඥයින් ඇබ්ස්කැම් මෙහෙයුම වෙත රැගෙන ආවේ හොරු අල්ලා දෙද්දි ෆෙඩරල් ආණ්ඩුවෙන් තමන්ගේ ගෙල වටාද තොණ්ඩු දමා ඇති බව හාංකවිසියක්වත් නොදැනය.

මීළඟ මාසය පුරාම වෙයින්බර්ග්ට රොසෙන්බර්ග්ගේ කන්කරච්චලයෙන් ගැලවීමක් තිබුණේ නැත. ඔහුගෙන් දුරකතන ඇමතුමක් නොලැබි ගෙවුණු එකම දවසක් හෝ සිහියට නඟා ගැනීමට වෙයින්බර්ග් අපොහොසත්ය. “අබ්දුල් අරකට කැමති වෙයිද ?“ , “අබ්දුල් මේකට මොනවා කියයිද ?“, “ඔයා හිතන්නේ අබ්දුල් මේක ගැන උනන්දු වෙයි කියලද ?“ යනාදි වශයෙන් නා නා විධ යෝජනා රොසෙන්බර්ග්ගෙන් දිනපතාම පාහේ දුරකතන ඇමතුම් හරහා වෙයින්බර්ග්ට ලැබුණි. ඉන් පෙරමුණ ගත්තේ ඇට්ලන්ටා නුවර පෙන්ට්හවුස් හෝටලය හා කැසිනෝව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවයි. පෙන්ට්හවුස් සඟරාවේ හිමිකරු බොබ් ගුචියොන් ඒ වන විට මුදල් නොමැතිකමින් ඉදිකිරීම් කටයුතු කරගැනීමට නොහැකිව දැවැන්ත අර්බුදයකට මැදිව සිටියේය. අබ්දුල්ට ත්‍යාගශීලීත්වයෙන් ගුචියොන්ට උදව් විය හැකි නම් අගනා බව කියා නිතර නිතර රොසෙන්බර්ග් කරන ඇවටිලිවලින් වෙයින්බර්ග් ඒ වන විට හෙම්බත්ව සිටියේය. අවසානයේ හේ කියා සිටියේ එරිචෙට්ටිව පෞද්ගලිකවම හමුවි මේ ගැන තීරණයක් ගත යුතු බවයි. රොසෙන්බර්ග් ඉන් කලබලයට පත්විය.

වෙයින්බර්ග්ට අවශ්‍ය වුයේ ඉදිකරමින් තිබෙන හෝටලයට හා කැසිනෝවට නියත ලෙසම බලපත්‍ර ලැබේද යන්න තහවුරු කර ගැනීමටය. තමාට පෙරළා ලැබෙන ලාභයක් නැතිනම් ඇට්ලන්ටා නුවර හෝටල් ඉදිකිරීමට නිකරුණේ තම මුදල් නාස්ති කිරීමට අබ්දුල් කැමති නොවන බව වෙයින්බර්ග් එකහෙළාම කියා සිටියේය. නමුත් වෙයින්බර්ග් සහ එරිච්චෙට්ටි හමුවුවහොත් බඩේ පහර වැදෙන්නේ තමාට බැව් රොසෙන්බර්ග් දැන හුන්නේය. ඔහු වඩාත්ම කලබලයටත් බියටත් පත්වුයේ ඔවුන් දෙදෙනා දිගින් දිගටම එක්ව වැඩ කිරීමට පුරුදු වුවහොත් අතරමැදියකු ලෙස තමාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන තැනට වැඩ සිදුවනු ඇතැයි කියාය. අතරමැදියකු ලෙස දෙපාර්ශ්වය සම්බන්ධීකරණය කිරීමෙන් එරිච්චෙට්ටිගෙන් මෙන්ම අබ්දුල්ගෙන්ද යහමින් ලබාගත් කොමිස් නැතිව යාම රොසෙන්බර්ග් වැන්නෙකුට උහුලාගැනීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැති වුව වෙයින්බර්ග්ගෙන්ද බුරුලක් ලැබුණේ නැත.

සියල්ලටමත් වඩා රොසෙන්බර්ග් බිය වූයේ කෙළ හලමින් බලා සිටින ඩොලර් මිලියන හත මින් අහිමිවේ යැයි කියාය. අවසානයේදි වෙයින්බර්ග්ගේ දැඩි බල කිරීම මත අබ්දුල්ගේ කාර්යාලයට එරිච්චෙට්ටි ගෙන ඒමට හේ එකඟ විය. 1978 දෙසැම්බර් 01 දාට හමුව සැලසුම් කෙරිණි.

එරිච්චෙට්ටිගේ පැමිණීම ඇබ්ස්කැම් මෙහෙයුමට එක්වරම ලබාදුන්නේ අනපේක්ෂිත වැදගත්කමකි. මේ වනතෙක් ඇබ්ස්කැම් සීමාවී තිබුණේ පාතාලයේ සාමාන්‍ය මැරවරයින් හා අපරාධකරුවන් වටකරමින් දැල එලීමටය. අපරාධකරුවන්ම මිස ඉන් එහා වටිනාකමක් මොවුන්ට තිබුණේ නැත. නමුත් දැන් ඇබ්ස්කැම් ඇම ගිලින්නට යන්නේ නිව් ජර්සි නුවර ප්‍රබල දේශපාලනඥයෙක් හා නගරාධිපතිවරයෙකි. මේ ඇරඹුම පමණි. තවත් මොන මොන ආකාරයේ ප්‍රබලයින් ඊට සම්බන්ධ විය හැකිද කියා කිව හැක්කේ කාටද ? ඇබ්ස්කැම් ඇරඹීමට පුරෝගාමී වූ ජෝන් ගුඩ් සෆෝක් එෆ්.බී.අයි. කාර්යාලය තුළ මෙතෙක් කලක් ඊට ලබාදී තිබුණු දෙවැනි මට්ටමේ ස්ථානය වහා පළමු මට්ටමේ ප්‍රමුඛත්වයක් බවට හැරවූයේ වැඩි වැඩියෙන් තෝරු මෝරු කොටු කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිවය. ඇට්ලන්ටා නුවර කැසිනෝවලට බලපත්‍ර ලබා දීමට යටින් ක්‍රියාත්මක වන මහා පරිමාණ අල්ලස් යාන්ත්‍රණයක් ඇති බවටත් රොසෙන්බර්ග් හරහා ඉඟි ලැබෙමින් තිබුණි. ඔහු කරන්නේ මවා පෑමක් නොවන බව පිළිගැනීමට තරම්, හඬපටවල සටහන් වූ රොසෙන්බර්ග්ගේ විස්තර විශ්වාසනීය විය.

ජෝන් ගුඩ් සිටියේ එන ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානමිනි. ගුඩ් මුලින්ම කළේ තම පැරණි මිතුරකු වූ නිව් ජර්සි නුවර නෙවාර්ක් හි පිහිටි එෆ්.බී.අයි. කාර්යාලයේ අධීක්ෂණ නිලධාරී ටොම් එමෝරි ඇමතීමයි. සිය කාර්යාලයේ වාර්තා පරීක්ෂා කළ හේ ගුඩ්ට දන්වා සිටියේ එරිච්චෙට්ටිගේ නම මීට පෙරද වංචාවන්ට ඈඳි ඇති බවකි. කැම්ඩන් නුවර ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ අධ්‍යෂක්වරයා ලෙස සේවය කළ අවධීයේදී එල්ල වූ මුදල් වංචා හා බොරු සාක්ෂි දීම සම්බන්ධ චෝදනා රැසක් ඔහුගේ නමට පිටුපසින් ලියැවී තිබුණත් නීතියේ රැහැනින් රිංගා යාමට තරම් හේ සමර්ථව සිටියේය. ඇට්ලන්ටා නුවර පාතාලයේ ඇඟිලි ගැසීම් සිදුවන බවට තොරතුරුද එමෝරි වෙත ලැබී තිබිණි. එරිච්චෙට්ටි සමඟ හමුව සාර්ථක ප්‍රතිඵල ගෙනදී, ඇබ්ස්කැම් මෙහෙයුම නිව් ජර්සි කරා ව්‍යාප්ත වුවහොත් ඊට සිය පූර්ණ සහාය ලබාදීමට එමෝරි කැමති විය. එරිච්චෙට්ටි කෙතරම් ප්‍රබල දේශපාලනඥයකු වූවත් අල්ලස් ලබාගන්නා දුෂිතයකු බවත්, රාජ්‍ය කැසිනෝ පාලන කොමිසම සමඟ නොමනා සබඳකම් ඇත්තකු බව සේම, නිව් ජර්සි බලධාරීන් හිතාගෙන සිටින තරම් ඇට්ලන්ටා නුවර පිවිතුරු නගරයක් නොවන බවත් ඔප්පු කිරීම ගුඩ්ගේ හා එමෝරිගේ අරමුණ විය.

සැකකිරීම් හා අනුමාන කිරීම මත පදනම්ව සිදුකළ පළමු ඇබ්ස්කැම් මෙහෙයුම වූයේ ඇට්ලන්ටා නුවර කැසිනෝ ඉදිකිරීම කේන්ද්‍ර කරගත් මෙම විමර්ශනයයි. එය තවදුරටත් පුළුල් වෙද්දී විවිධ අතරමැදියන් විසින් ඉදිරිපත් කළ ඇමරිකානු දේශපාලන වේදිකාවේ ප්‍රබලයින්ගේ නම් වොෂින්ටනයේ එෆ්.බී.අයි. මූලස්ථානයට කෙළින්ම යොමු කෙරුණි. එහි අතීත වාර්තා සමඟ එකී නම් සසඳා බලා ඇගයුමට ලක් කිරීමට එකල එෆ්.බී.අයි. අධ්‍යක්ෂ විලියම් වෙබ්ස්ටර් සෘජුවම මැදිහත් විය. කොන්ග්‍රස් සාමාජිකයින්ගේ නම්ද ඊට ඈඳෙද්දී වෙබ්ස්ටර්ට සිය සාකච්ඡා ඩිමොක්‍රටික් පාක්ෂික නීතිපතිවරුන් දෙදෙනකු වූ ග්‍රිෆින් බෙල් හා බෙන්ජමින් සිවිලෙට්ටි වෙත ගෙන යාමට සිදුවිය. ඔවුන් හමුවීමට ගුඩ්ගෙන් අවසර ලැබුණේ එකී දූෂිත නිලධාරීන් සැබවින්ම දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින අයවලුන් බව, වොෂින්ටන් බියුරෝ මූලස්ථානය විසින් තහවුරු කිරීමෙන් පසුවය.

දෙවනුවට ගුඩ් නැඟෙනහිර දිස්ත්‍රික්ක ප්‍රහාර බළකායේ ජෝන් ජේකබ්ස්ට ඇමතුවේය. ඇබ්ස්කැම් මෙහෙයුම පුරාවටම ක්‍රියාත්මක වූ ප්‍රහාර බළකායේ හස්තය වූයේ දක්ෂ අභිචෝදකයකු වූ ජේකබ්ස්ය. එරිච්චෙට්ටි සමඟ හමුවේ දෙබස් පටිගත කිරීමට අමතරව සජීවීව වීඩියෝ ගතකිරීමටද යෝජනා කළේ ජෝන් ජේකබ්ස්ය. එපමණක් නොව මෙම සුවිශේෂී හමුව සිදුවෙද්දී යාබද කාමරයක හිඳ එය අධීක්ෂණය කිරීමටද හේ එකඟ විය. ඉන් අනතුරුව ඇබ්ස්කැම් මෙහෙයුමේදි සලකුණු සමඟ පැවැත් වූ සියලුම එවැනි හමුවීම් හැකි හැමවිටම වීඩියෝගත කිරීමට අබ්දුල් පාර්ශ්වය පෙළඹුණේ, ජේකබ්ස්ගේ උපදෙස් අනුවය. එසේම එවන් සුවිශේෂි හමුවීම් යාබද කාමරයක හිඳිමින් ජේකබ් හෝ ප්‍රහාර බළකායේ වෙනත් නීතිඥයකු විසින් හෝ නැරඹීම අනිවාර්යයෙන්ම සිදුවිය. මෙය සලකුණු දැලේ දා ගැනීමට යොදාගත් කදිම අවස්ථානුකූල උපක්‍රමයක් බව හැමවිටකම ඔප්පුවිය. යම් විදිහකින් දූෂිතයකු අල්ලස් ලබාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු අනාවරණය කරන්නේ නැති බව ජේකබ්ස්ට හැඟුණොත් ඔහු කළේ, හමුවට සහභාගි වෙමින් සිටින නිලධාරියකු අමතා, දූෂිතයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ඔහුගෙන් ලබාගැනීමට එහෙමත් නැතිනම් වෙයින්බර්ග් කියන ආකාරයට ඔහුගේ ‘කට අරවාගැනීමට‘ හැකි ප්‍රශ්න අසන ලෙස දැන්වීමයි.

එරිච්චෙට්ටි සමඟ තීරණාත්මක හමුවට දින ළංවෙද්දී අබ්දුල් පාර්ශ්වයේ සාමාජිකයින් අතර සාකච්ඡාද ඉහළ ගියේය. මෙම දූෂිත නගරාධිපතිවරයා වටකර දැල එලන්නේ කෙසේදැයි කියා මැකාතිට හා වෙයින්බර්ග්ට ගුරුහරුකම් ලබාදීම සිදුවුණේ ගුඩ් හා ජේකබ්ස් අතිනි. කුමන උප්පරවැට්ටියක් දැම්මත්, ඒ හැමකක්ම රජයේ නීති රීතීවලට අනුකූලවීම අනිවාර්ය විය. විශේෂයෙන්ම ජේකබ්ස් ඒ ගැන දැඩි ස්ථාවරයක සිටියේය.

“ එරිච්චෙට්ටි හරි වෙන ඕනම සලකුණකට හරි දාන ඇම හොඳ පැණි හැලියක් වුණාට කමක් නැහැ. හොර තැන්පතු සහතික හරි, හොරකම් කරපු කෞතුකවස්තුවලට හරි වෙන හොරු හඳුන්වලා දෙනවාට හරි හොඳට ගෙවනවා කියලත් පොරොන්දු වෙන්න, හැබැයි කොයිම වෙලාවකවත් හොර වැඩවලට අකමැති අයව ඒවගේ දේවලට බලෙන් පොළඹවා ගන්න හරි ඒ වගේ දේවල් කරන්න එයාලට උදව් කරන්න හරි ඔයාලට බැහැ. පැණි හැලියට මැස්සෝ ඇදිලා එන්න ඕනේ විහින්මයි.“

වෘත්තීය ජිවිතය මුලුල්ලේම මෙබඳු නීති රීති සමඟ ජීවත් වූ මැකාතිට ජේකබ්ස්ගේ මෙබඳු අණකිරීම් ගැන ගැටලුවක් තිබුණේ නැත. නමුත් හදවතින්ම හොර තක්කඩියකු වූ වෙයින්බර්ග්ට එම නියෝග දිරවාගත හැකිවූයේ නැත. ඊටත් වඩා ඔහුට එවැනි නීතිවල වැදගත්කමක් පෙනුණේද නැත.

“ මිනිහෙක් කියන්නේ එක්කෝ හොරෙක්. නැත්නම් අවංක කෙනෙක්. එයා අවංකවම හොරෙක් නෙවෙයි නම් මම එයාට මොනවා කිව්වත්, මොනවා දුන්නත්, එයා කවදාවත් හොර වැඩ කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි එයා හොරෙක් නම් ඒකා හොරෙක්ම තමයි. මම මොනව කළත්, නොකළත් නොකර ඉන්නේ නැහැ. එහෙව් එකේ මොකද්ද මේ හරුපේ තේරුම ? “

මොන තර්ක ගෙනාවත් අවසානයේ ජේකබ්ස් හා ගුඩ්ගේ නියෝගවලට අවනත වෙනවා හැර වෙයින්බර්ග්ට අන් විකල්පයක් තිබුණේ නැත. අවනත වුවත්, ඔහු එසේ කළේ හරිහැටි අවබෝධයකින් නොවේ. ඇබ්ස්කැම් පුරාවටම වෙයින්බර්ග් නීතිරීති ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. තම උජාරුකම් දක්වන්නට ලැබෙන අවස්ථාවක් කිසිවිටක මඟනොහැරි වෙයින්බර්ග්ට කවදත් රජයේ නීතිරිතී ගැන තිබුණේ උදාසීන ආකල්පයකි. ඇබ්ස්කැම් වැනි දැවැන්ත මෙහෙයුමකට සම්බන්ධ වීමෙන්වත් ඔහුගේ එවැනි අදහස් වෙනස් වුණේ නැත.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

පරිවර්තනය 
රුක්ලන්ති පෙරේරා

හෙට- සෙනෙට් සභිකයා දැලට පැටලේ

නව අදහස දක්වන්න