සංහිඳියාවට උස් උත්සාහයක් | දිනමිණ

සංහිඳියාවට උස් උත්සාහයක්

සංහිඳියාව යනු අප රටේ පැවති යුද්ධයෙන් පසුව උදාවු තත්වයන්ට කර්මයක් වශයෙන් ක්‍රියාවට නැඟුණු තවත් ක්‍රියාදාමයක් ලෙසද හැඳින්විය හැකිය. වසර ගණනාවක් සිට ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය එය ක්‍රියාවට නැඟීමට දැරූ උත්සාහයන්ද අපමණය. එහෙත් එහි ප්‍රතිළුල අල්ප යැයි මතයක් ද ගොඩනැඟේ. රාජ්‍ය සේවයේ ඇතැම් දක්ෂ නිලධාරීන් ඔවුනට ලැබෙන පුංචි ඉඩකඩක් යොදාගෙන බොහෝවිට නිහඬව විස්මිත සේවයක් කරති. එහෙත් ඔවුන් ඒ පිළිබඳ හඬක් නැගීමට දක්වන අකමැත්ත නිසාම සටහනක් පවා නොලියැවෙන අවස්ථා බොහෝය.

සංහිඳියාව, සහයෝගිතාවය ගැන සිතන්නට සහ කතාකරන්නට ඉඩකඩ තම සේවක පිරිසට ලබාදී ඔවුන් පොදු ජනතාවට සමීප කිරීමේ අභිලාසයක් සහ ළෙන්ගතු හැඟීමක් කෑගල්ල මහ දිසාපතිවරයාට පහළවිම අගය කළ යුතුය.

මේ වසර ආරම්භයේ සිටම ඉතා කුඩාවට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පැතිර ගියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කළ සංහිඳියා ගී රාවයකි. ඒ සමඟම ආරම්භ කළ සම්මිශ්‍ර සාමාජිකයින්ගෙන් යුත් ක්‍රිඩා තරග දිස්ත්‍රික්කය පුරා ජිවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ ජන කොටස් එකට එක්කරන දම්වැලක් වි තිබිණි. රටේ පරිපාලන නායකයින්ගෙන් ලැබෙන දිරිගැන්විම් රාජ්‍ය නිලධාරීන්ට අලුත් අත්දැකීමක් එක් කළා විය හැකිය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නෑගම් ගිය මෙම සංහිඳියා වැඩසටහන පසුගිය දා මධ්‍යම පළාතේ නුවරඑළිය නගර සභා ක්‍රිඩාංගණයේ මහා සංදර්ශනයක් බවට පත්කර තිබුණි.

සංහිඳියාව තුළින් සිනහව තේමා කර ගනිමින් කෑගල්ල, නුවරඑළිය සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධිකරණයෙන් ගොඩනැඟුණු මෙම වැඩසටහනට සමගිය හා සහජිවනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය හා සහයෝගය ලබා ගැනීමටද සමත්ව තිබුණි. වැඩසටහන සාර්ථකත්වයට ගෙන යාමට නම් ඒ සඳහා කැපවු නිලධාරීන් කණ්ඩායමක් අවශ්‍ය වේ. එහෙත් ඒ කිසිවෙක් එකිනෙකා පරයමින් මාධ්‍යයට කරුණු කියන්නට එක් නොවිම ද විශේෂ ලක්ෂණයකි.

අවසානයේ දි අපගේ විමසුමට පිළිතුරක් ලෙසින් නම නොකී නිලධාරිනියක් මෙ‍ම වැඩසටහන පිළිබදව විස්තර කළේ මෙසේය.

"අපි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රිකට් තරග පැවැත්තුවා .ඒ සැම කණ්ඩායමක්ම සියලුම ජාතින්ගෙන් යුත් ක්‍රිඩා කණ්ඩායමක් වුණා. අපි සංහිදියාව පතුරුවන සාම පණිවිඩය රැගත් ප්‍රසංගයන්ද ඒ සැම තැනකදිම පැවැත්වුවා. අවසානයේ මේ වැඩසටහනට ස්වේච්ඡාවෙන් දායක වු පිරිසට අනුග්‍රහයක් ලෙසින් නුවරඑළිය නගරයට සංචාරයක් ලබාදිමට සාකච්ඡා කළා. අපට එක්වු ක්‍රිකට් කණ්ඩායම් හතක් සිටියා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කණ්ඩායම් දෙකක් ද වව්නියාවේ සිට පැමිණි තවත් කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්කර ගැනිමට කටයුතු කළා. අපි කණ්ඩායම් දහයක් එදා එකතුවුණා. ඒ පිරිසත් නුවරඑළියේ නගර සභාවට අයත් ක්‍රිඩා පිටියේ රාත්‍රි ගිනිමැල සංදර්ශනයකට එක්වුණා. හරියට එක භාෂාවක් කතා නොකෙරුවට දන්න සිංහල, දෙමල, ඉංශ්‍රිසි, එකට යොදා ගෙන කතාකරල හඳුනාගත්තා . එදා අපි කවුරුත් නිලතල පංතිභේද අමතක කොට එකට එක්වි සතුට විනෝදය බෙදාගත්තා. .පසුදින ක්‍රිඩා තරගයන් පැවැත්වූවා . ජයග්‍රහණය නොවෙයි අපේ පැතුම සහභාගිත්වයයි. අපි කාඅතරත් එකම හැඟීමක් තිබුණා.

කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහභාගි වුවන් අමතමින් කෙටි සටහනක් ද එක්කර තිබුණේ මෙසේය,

‘ජාතික සංහිඳියාවට අවශ්‍ය වන වැදගත්ම දෙය වන්නේ තමන් සුළුතරයකට අයත් යන හැඟීම හේතුවෙන් කෙනෙක් තුළ ඇතිවන බිය හා තමන් අනාරක්ෂිතයි යන සිතුවිල්ල ඔවුන්ගේ සිත්තුළින් ඉවත් කිරිමයි. අපි අද ලබන මේ සිතුවිල්ල තවත් අයකුට ලබාදිමට ඔබත් දක්ෂවන්නේ නම් එයයි අපේ උත්සාහයේ බලාපොරොත්තුව’

කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර , ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධණ නිළධාරිනි ඉන්දිකා වීරවර්ධණ , නුවරඑළිය මහ දිසාපති එම්.බි.ආර්.පුෂ්පකුමාර , සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ළිදකුඹුර , ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධණ නිළධාරි ආනන්ද දිසානායක යන මහත්මහත්මීන් ප්‍රධාන සංවිධායක මඩුල්ලක් මෙම කෑගල්ල , නුවරඑළිය , සහ වව්නියා දිස්ත්‍රික් ඒකාබද්ධතා වැඩ සටහනට සම්බන්ධි කරණයෙන් දායකත්වට ලබා දී තිබුණි.

ගාමිණි රම්‍යපාල
සබරගමුව සමූහ


නව අදහස දක්වන්න