භික්ෂු විවේකාරාමයේ ගිලානෝපස්ථානය | දිනමිණ

භික්ෂු විවේකාරාමයේ ගිලානෝපස්ථානය

ගිලන් භික්ෂු විවේකාරාමය 1999 වර්ෂයේදී ආරම්භ වූයේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ අභිලාසය පෙරදැරි කරගෙනය.

අපවත්වී වදාළ හොරන්ගල්ලේ හේමසාර නායක හිමිපාණන් වහන්සේගේ සහ හුලංදාවේ උපාලි නායක හිමිපාණන් වහන්සේගේත් මූලිකත්වයෙන් එදා මෙම භික්ෂු විවේකාරාමය ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තුන් නිකායකටම අයත් ගිලන්, වයෝවෘද්ධ භික්ෂූන්වහන්සේලා මෙම ස්ථානය වෙත යොමුකරනු ලබන්නේ බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙනි.

එදා මෙම භික්ෂු විවේකාරාමය ආරම්භ කළ අවධියේ එවැනි භික්ෂූන්වහන්සේලා නව නමක් සිටි අතර අද වනවිට ඒ තත්ත්වයන්ට පත්වූ භික්ෂුන් වහන්සේලා විසි නමක් මෙහි වැඩ වෙසෙති.

ආරම්භක අවස්ථාවේ සිට අද දක්වාම මෙම සද්කාර්යය භාරගෙන කටයුතු කරනු ලබන්නේ ආනන්ද අමරසිංහ ගිලන් භික්ෂූ විවේකාරාමාධිපති, මලේගොඩ සිරි‍නන්දන පිරිවෙන් ධර්මායතනයේ විදුහල්පති ධුරයද හොබවන ශාස්ත්‍රපති පූජ්‍යපාද පළාතොට පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ විසිනි.

උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි විශේෂ කරුණක් වනුයේ ශාසනික වශයෙන් විශාල සේවයක් සිදුකර අසරණ වූ ස්වාමීන් වහන්සේලා රැකබලාගෙන උපස්ථාන කිරීම ප්‍රධාන පරමාර්ථය මූලික කර ගැනීමය.

භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දෙදෙනෙක් සිටිති.

පවතින තත්ත්වය අනුව ලොකු වැටුපක් නොව සුළු වැටුපක් ඔවුන්ට ලබාදේ. එමෙන්ම විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස්ද මේ කටයුතුවලට සම්බන්ධ වෙති. ශ්‍රමදාන කටයුතුද පැවැත්වේ.

ගිලන් වූ භික්ෂූන්ට අවශ්‍ය ඖෂධ ලබාදෙනු ලබන්නේ කළුතර මහ රෝහලෙන් සහ මොල්ලිගොඩ ආයුර්වේද රෝහල්වලිනි.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සායනික කටයුතු සිදුකරයි. වෛද්‍යවරුන් එම සායන කටයුතුවලට සහභාගි වේ. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයද මේ සඳහා දායකත්වය ලබාදේ.

ශාස්ත්‍රපති පළාතොට පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ සිදු කරනු ලබන මෙම මහඟු සද්කාර්යය සඳහා මෙහි පාලක සභාව, මුදිතා සිල් සමිතිය, තරුණ සමිතිය, ශ්‍රී සම්බෝධි දහම් පාසල විශාල දායකත්වයක් ලබාදේ.

ශ්‍රී ලංකාවේ ‍ඕනෑම පෙදෙසක පිංවතුන්ට මීට දායක විය හැකි අතර 071 4485375 උන්වහන්සේ ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකිය.

එන්. වි‍ජේරත්න
නාගොඩ විශේෂ

 

නව අදහස දක්වන්න