නිල ඇඳුම ඔපකරන ඕ.අයි.සී. මහත්තයා | දිනමිණ

නිල ඇඳුම ඔපකරන ඕ.අයි.සී. මහත්තයා

නීතියට, රීතියට, රාජකාරියට වඩා මනුස්සකම පෙරදැරි කරගෙන කටයුතු කරන එහෙත් නීතියට පිටින් කටයුතු නොකරන දුඹුරු පැහැති කාකි ඇඳුම් ඇඳගත් උදාරතර පොලිස් නිලදරුවකු පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඔහු තම රාජකාරිය, කිසිඳු පක්ෂ භේදයක් හෝ ඥාති - හිතවත්කම් නොතකා, ඉතා අවංකව හා සියලු පොලිස් නිලධාරීන්ට ආදර්ශවත්ව කටයුතු කරන පුද්ගලයෙකි. මුළු මහත් ප්‍රදේශයේ පමණක් නොව පොලිස් නිලධාරීන්ගේද නොමඳ සැලකිල්ලට හා ගෞරවයට භාජනය වී සිටිමින් ජනතාව අතර ‘හොඳ මනුස්සයෙක්’ හැටියට නමක් දිනා සිටින ඒ අපූරු පොලිස් නිලධාරියා කළුතර ප්‍රදේශයේ මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී.කේ. ඒ. ජයසම්පත් රණසිංහ මහතාය. පොලිස් සේවාවේ සියලුම අණ පනත්, නීති රීති, පමණක් නොව පොලිස් නිලධාරියකු ලෙස කළ යුතු - නොකළ යුතු දේවල් පිළිබඳව ද මනා වැටහීමක් ඇති ජයසම්පත් රණසිංහ මහතා, වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන්ම හැබෑ පොලිස් නිලධාරියෙකි. තම පොලිස් බල ප්‍රදේශයේ කිසිඳු පුද්ගලයකුට කිසිඳු නීති විරෝධී කටයුත්තක් හෝ සමාජ විරෝධී කිසිඳු දෙයකට ඉඩ නොතබන ජයසම්පත් මහතා, පොලිස් සේවාව ගෞරවාන්විතව හා අකුරටම පිළිපදින ඉතා දුර්ලභ ගණයේ පොලිස් ස්ථානාධිපතිවරයකු යැයි ප්‍රදේශවාසීහු මෙන්ම හිමිවරු ද පවසති.

ගීත ගායනයට, ගීත රචනයට, ලිවීමට, පද රචනයට, පමණක් නොව චිත්‍රපටිවල චරිත රංගනයටද එක සේ දස්කම් දක්වන මේ උදාරතර පොලිස් නිලධාරියා, නියම කලාකරුවෙකි. සංගීත භාණ්ඩ වාදනයටද දස්කම් පෙන්වන්නෙකි.

“මගේ පොලිස් බල ප්‍රදේශය තුළ, දැනට පාසල් නොයන දරුවෝ 25 දෙනෙක් විතර මට මුණගැහිලා තියෙනවා. ඔවුන්ගෙන් 14 දෙනෙක්ම ගැහැනු ළමයි. කඩින් කඩ ඉස්කෝලේ යන ළමයිනුත් කිහිපදෙනෙක් ඒ අතර ඉන්නවා” යැයි මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා අනාවරණය කළේය. “මගේ වසමේ සේවය කරන ග්‍රාමනිලධාරී මහත්ම - මහත්මීන්, සිවිල් ආරක්ෂක කමිටු හා වෙනත් සමිති සමාගම්වල නිලධාරීන් මෙන්ම ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් සමඟ මා විසින් කරන ලද සමීක්ෂණයකදී මේ බැව් අනාවරණය වුණා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරොන්තුඩුව පොලිස් වසමට අයත් ග්‍රාම සේවා වසම් 14ක් තුළ, පාසල් නොයන හා පාසල් යාම ඇණහිට ඇති ඉතා දිළිඳු හා අසරණ දරු දැරියන්ව පාසල් යාම උනන්දු කරවීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පොත්පත් හා වෙනත් පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකදී ඒ මහතා විසින් පවසන ලදී.

මොරොන්තුඩුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකක ප්‍රධානි, උප පොලිස් පරීක්ෂක අජිත් අමරතුංග මහතා විසින්, මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද මෙම විශේෂ උත්සවය හා රැස්වීම පසුගියදා (දෙසැ. 05) ගෝනදූව විලේජ් ‘Gonaduwa villege’ හෝටලයේ පැවැති අතර, ත්‍යාග හා මුදල් ත්‍යාග පිරිනැමීම, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන හා මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති ජයසම්පත් යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.

මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ තවත් යහපත් ක්‍රියාවක් නම්, තම පොලිස් බල ප්‍රදේශය තුළ ග්‍රාමසේවා වසම් 13 තුළම, පවිත්‍රතා කටයුතු කරමින් මුළු නගරයම පවිත්‍රව තබා ගැනීමට විශාල සේවාවක් ඉටුකරමින් කිසිඳු මහජන චෝදනාවකට ලක් නොවී නිහඬව කටයුතු කරන පවිත්‍රතා කම්කරුවන් 4 දෙනකුගේ සේවය ඇගයීමක් ‍ කොට ඔවුන්ට මුදල් ත්‍යාග හා සම්මාන පිරිනැමීමයි.

කළුතර මධ්‍යම විශේෂ

 

නව අදහස දක්වන්න