ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමග අවසන් පූර්ව තරගයට | දිනමිණ

ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමග අවසන් පූර්ව තරගයට

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධාන කරන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (13) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල තරග 3කින් දෙකක් ජයගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ‘බී‘ කාණ්ඩයෙන් තරග කළ බංග්ලාදේශය තරග 3කින් දෙකක් ජයගෙන ශ්‍රී ලංකාව සමග තරග බිමට එක්වී සිටී.

අද තරගය දෙපිලටම විවෘත තරගයක් බවට පත්වී ඇතත් පිතිහරඹයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද සමබර කණ්ඩායමක් ලෙස තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් පෑ සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයට එක්වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබේ.

බංග්ලාදේශය පිතිකරුවන්ගේ දස්කම් මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වනු ඇත.

මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 4කින් ඉන්දීය පිල හමුවේ පරාජයට පත්වූවද ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න අද තරගයේදී ද කැපී පෙනෙන දස්කම් දක්වනු ඇත. මේ තරගාවලිය පුරා ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු එම තරගයේදී ලකුණු 80ක් රැස් කළ අතර අසේල ගුණරත්න නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67කි.

අවිශ්ක ප්‍රනාන්දු සහ අසේල ගුණරත්නට අමතරව කමිඳු මෙන්ඩිස් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑමට සමත්විය.

බංග්ලාදේශ පිලේ මුල්පෙළ පිතිකරුවන් රැසක්ම ලකුණු අතරේ සිටිති. සාකිර් හසන්, මොසාඩික් හොසේන්, නජ්මුල් හොසේන් සහ යසීර් අලී පිතිකරුවන් අතර කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර පන්දු යැවීමේදී නයිම් හසන් වැඩි දස්කම් පෑවේය.

මේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ද අද සී.සී.සී.පිටියේදී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතරය.

අවසන් මහා තරගය 15 වැනිදා පැවැත්වෙයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න