අයි.පී.එල්.වෙන්දේසියේදි මැතිව්ස්ට මාලිංගට වැඩිම මිළක් | දිනමිණ

අයි.පී.එල්.වෙන්දේසියේදි මැතිව්ස්ට මාලිංගට වැඩිම මිළක්

මේ මස 18 වැනිදා ඉන්දියාවේ ජායිපූර් නුවර පැවැත්වීමට නියමිත ලබන වසර සඳහා වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ලැයිස්තු ගත කළ ක්‍රීඩකයන් 346 දෙනා අතර වැඩිම මිළකට නම් කර ඇති ක්‍රීඩකයන් අතර ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග ඇතුළත්වී සිටිති.

මීට පෙර ක්‍රීඩකයන් 1003ක් වෙන්දේසියට ලැයිස්තු ගත කර තිබූ අතර තරගාවලියට එක්වන කණ්ඩායම් ඉදිරිපත් කළ අවසන් සංචිත සමගින් එම සංඛ්‍යාව 346 දක්වා පහත වැටී තිබිණි. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයෝ 226ක් ද වෙති.

වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන මැතිව්ස් සහ මාලිංග ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් 9ක ගේ ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකකින් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 5කින්) ඇරඹෙන අතර එම ලැයිස්තුවට කිසිදු ඉන්දීය ක්‍රීඩකයකු ඇතුළත් නොවීම කැපී පෙනේ.

වැඩිම මිළකට වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ඉන්දීය ක්‍රීඩකයා වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිළ කර ඇති ජේදේව් උනඩ්කාට් පමණි.

වැඩිම මිළකට වෙන්දේසි ගත කිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සමග නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් සහ කොරී ඇන්ඩර්සන්, ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් වෝක්ස්, ඩි ආර්සි ෂෝර්ට් සහ ෂෝන් මාෂ්, එංගලන්තයේ සෑම් කරන්, දකුණු අප්‍රිකාවේ කොලින් ඉන්ග්‍රාම් වෙති.

මෙවර අයි.පී.එල්.ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී වැඩි අවධානයක් දිනාගනු ඇතැයි අනාවැකි පළවී ඇති ක්‍රීඩකයන් ලෙස යුව්රාජ් සිං, රිද්දිමාන් සාහා, මොහොමඩ් සාමි, අක්ෂාර් පටේල් සිටින අතර එම ක්‍රීඩකයන්ගේ වෙන්දේසි ගත කිරීමේ මුදල ඉන්දීය රුපියල් කෝටියකින් ආරම්භ කෙරෙනු ඇත. දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්, මෝනි මෝකල් සහ එංගලන්තයේ ජොනී බෙයාස්ටොව් සහ ඇලෙක්ස් හේල්ස් ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට වෙන්දේසියට ඉදිරිපත් කර තිබේ.

සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම් පසුගිය අයි.පී.එල්. තරගාවලියේදී සිය කණ්ඩායම නියෝජනය කළ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් වෙන්දේසි ගත නොකර තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර මුෂ්ෆිකුර් රහීම් සහ මහ්මුදුල්ලා පමණක් බංග්ලාදේශයෙන් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වී සිටිති. ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයන් 8ක් මෙවර වෙන්දේසියට එක්වී සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවෙන් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කුසල් ජනිත් පෙරේරා (ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික මුදලකට), තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක (ඉන්දීය රුපියල් ලක්ෂ 50කට බැගින්)ය.

නව අදහස දක්වන්න