රු.මිලියන 50ක වියදමින් දොඹගොඩට ක්‍රිකට් පිටියක් | දිනමිණ

රු.මිලියන 50ක වියදමින් දොඹගොඩට ක්‍රිකට් පිටියක්

යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගියදා යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත කෙරිණි. යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නව ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන , යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

සමරුඵලකය නිරාවරණය කරමින් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීම යුදහමුදාපතිවරයා විසින් සිදුකළ අතර ක්‍රීඩාංගණයේ පිවිසුම අභියස දී පීත්ත පටිය කපා නව ක්‍රීඩාංගණය විවෘත කරනු ලැබුවේ ද යුදහමුදාපතිවරයා විසිනි. අනතුරුව සංකේතාත්මකව එම ක්‍රීඩාපිටියේ පළමු පන්දු යැවීම මෙන්ම පළමු පන්දුවට පහරදීම ද යුදහමුදාපතිවරයා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතා ද එක්විය.

යුද්ධ හමුදා රෙජිමේන්තු 20 ක් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගිවූ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම සහ කාලතුවක්කු හමුදා කණ්ඩායම ක්‍රීඩා කළහ.

එහිදි තියුණු තරගයකින් පසුව කාලතුවක්කු හමුදා කණ්ඩායම ලකුණු 15 ක ජයක් හිමිකරගනිමින් අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.

අතී නවීන තාක්‍ෂණයෙන් යුතු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති අතර කණ්ඩායම් දෙකකට පහසුකම් සැපයීමේ කාමර දෙකක්, ආපනශාලාවක් සහ පුහුණු කුටි 4 කින් සමන්විත වේ. තුන් අවුරුදු සැලැස්මකට අනුව පළමු අදියර යටතේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන ලද අතර අනෙකුත් අදියරයන් යටතේ පිහිනුම් තටාකයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකර අවසන් කිරීමට නියමිතය. මෙම නව ක්‍රීඩාංගණය යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා පමණක් නොව, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් සඳහා ද භාවිතා කළ හැකිය. ජාතික මට්ටමේ කණිෂ්ඨ ක්‍රීඩකයින්ගේ ද සිත් ඇඳගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇත.

සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායට විවිධ අරමුදල් සම්පාදන ව්‍යාපෘතීන් මගින් ලැබුණු රුපියල් මිලියන 50 ක් පමණ වැය කරනු ලැබීය.

 


නව අදහස දක්වන්න