අන්තර් සමාජ ලීග් රග්බි අපරාජිතයන්ගේ සටන ඉරිදා | දිනමිණ

අන්තර් සමාජ ලීග් රග්බි අපරාජිතයන්ගේ සටන ඉරිදා

සී.ආර්. සහ ගුවන් හමුදා පිල හෙට තරගයට

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග නිමාවනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණේ පසුවන වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ අපරාජිතව දෙවැනි ස්ථානයේ රැඳී සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තීරණාත්මක අපරාජිතයන්ගේ සටන ලබන 16 වැනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙරට ලීග් රග්බි පිටියේ දශක දෙකකට ආසන්න කාලයක් පුරා සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මහනුවර පිලේ අපරාජිතභාවයට අභියෝග කරන හැව්ලොක්ස් පිල ද ලීග් තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමකි. මේ තරගයේදී නිසැකවම එක් කණ්ඩායමක අපරාජිතභාවය බිඳ වැටෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරළිකාර වෙනසක් සිදුවනු ඇත.

පසුගිය සතියේ පැවැති තරගයේදී සී.එච්.ඇන්ඩ් එෆ්.සී.පිලට එරෙහිව ලකුණු 38-22ක ජයක් වාර්තා කිරීමට මහනුවර පිල සමත්වු අතර සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 31-22කින් පරාජය කිරිමට හැව්ලොක්ස් පිල සමත්විය.

6 වැනි සතියේ තරගවටය ආරම්භ කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන සී.ආර්.පිල හෙට ගුවන් හමුදා පිල සමග සී.ආර්.පිටියේදී තරග වැදීමට නියමිතය. ඊට පෙර ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන සිටි සී.ආර්.පිල සිවුවැනි තැනට ඇද වැටුණේ පසුගිය සතියේදි හැව්ලොක්ස් පිල හමුවේ පරාජයට පත්වීමෙනි. එසේ වුවත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.පිල මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්ව සිටින ගුවන් හමුදා පිල හමුවේ පහසු ජයක් අත්කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි තුන්වැනි තැනට පත්වීමට බලපොරොත්තුවෙන් පසුවෙයි.

මේ අතර පසුගිය සතියේදී ගුවන් හමුදා පිල හමුවේ ලකුණු 28-19ක ජයක් ලබා මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය සැමරූ පොලිස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන සිටින යුද හමුදා පිලට එරෙහිව පොලිස් පිටියේදී තරග වදිනු ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ සී.එච්.පිල අතර තරගය 16 වැනිදා වැලිසරදී පැවැත්වෙයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න