දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක් | දිනමිණ

දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය  පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය  ගත් පියවර හෑල්ලූවට ලක් කරමින්  එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් ප‍්‍රකාශ කළේය.

මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ  ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය  සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද  ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය  අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප‍්‍රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නව අදහස දක්වන්න