ජීවිතයත් මරණයත් අතර දුම්රිය පොළක් | දිනමිණ

ජීවිතයත් මරණයත් අතර දුම්රිය පොළක්

උඩරට දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි තිස්මල්පොළ දුම්රිය ස්ථානය ආරම්භ කර වසර පණහක් ගත වී ඇතත් එහි අඩුපාඩු රැසකි. මාසයකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ආදායමක් උපයා දෙන මෙම දුම්රිය ස්ථානය පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව ඇත.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රඹුක්කන මන්ත්‍රීවරයා මෙන්ම සමාජ සේවා ඇමැතිවරයා ද වූ අශෝක කරුණාරත්න මහතාගේ ඉල්ලීම මත ඉදි වූ මෙම දුම්රියපොළ එවකට ප්‍රවාහන ඇමැති ඊ.එල්.බී.හුරුල්ලේ මහතා අතින් 1968 වසරේ දෙසැම්බර් 18 වැනි දින විවෘත වූ බව ගමේ වැඩිහිටියෝ පවසති.

පොල්ගහවෙල සිට රඹුක්කන දක්වා තිබූ ද්විත්ව දුම්රිය මාර්ගයේ මා ඔය හරහා වූ තුංතොට පාලම 1948 වසරේ පැවැති ගංවතුරෙන් විනාශයට පත්විය. කාලයත් සමඟ පාලම ඉදිකරනු වෙනුවට ද්විත්ව දුම්රිය මාර්ගය ගලවා ඉවත්කර එක් දුම්රිය මගක් පමණක් භාවිතයට ගැනීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ. එම ද්විත්ව දුම්රිය මාර්ගය 1994 පාර්ලිමේන්තු මන්ත්‍රී මහීපාල හේරත් මහතාගේ ඉල්ලීම මත යළි ඉදිකෙරිණි. නව ගොඩනැඟිල්ල ඉදිකර මේ වන විට වසර විස්සක් ගතවුවද එහි ගැටලු රැසක් දැකිය හැකිය. දුම්රිය වේදිකාවේ සිමෙන්ති බිම පුපුරා ගොසිණි. කොන්ක්‍රීට් ලෑලි යොදා ඉදිකර ඇති දුම්රිය වේදිකාවද මර උගුලකි. පසුගිය දිනෙක එම කොන්ක්‍රීට් පුවරුවක් කඩාවැටීමෙන් දුම්රියෙන් පැමිණි කාන්තාවකද තුවාල ලැබුවාය.

දුම්රිය ස්ථානයේ සේවකයන්ට හෝ මඟීන්ට එහි ජල පහසුකම් හෝ වැසිකිළි පහසුකම් නැත. දුම්රිය ස්ථානයට ජලය ලබාගැනීම සඳහා ළිඳක් ඉදිකර තිබුණද මෑතකදී කරන ලද ඉඩම් මැනීමේදී එම ළිඳ පිහිටි කොටස පෞද්ගලික හිමිකරුවකු සතුව ඇතැයි කියති. ඉදිකර ඇති ජල ටැංකිය හා ජල කරාම විනාශවෙමින් ති‍බේ.

දුම්රිය ස්ථානය කරා යාමට ඇති ප්‍රවේශ මාර්ගයද අවදානම් සහිතය. ශීඝ්‍ර බෑවුමක් සහිත එම මාර්ගයට කොන්ක්‍රීට් යොදා ඇතත් එය බෙහෙවින් ලිස්සන සුළුය. දුම්රිය මාර්ගයේ ඉහළ සහ පහළ දුම්රිය වේදිකා අතර ගමන් කිරීම පිණිස ගුවන් පාලමක් නොමැතිකමින් මගීන්ට දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට සිදුව තිබීම අනතුරුදායකය.

මේ අඩුපාඩු පිළිබඳව කරුණු පවසන තිස්මල්පොළ පදිංචි එස්.ඒ.ශාන්ත කුමාර මහතා, - " දුම්රිය වේදිකාවේ කොන්ක්‍රීට් ලෑලි යොදා තිබෙන්නේ ඉතාමත් අවදානම් විදියට. මගී වේදිකාවද ඉතා කෙටි බැවින් එහි ඉඩකඩ ඇත්තේ දුම්රිය මැදිරි දෙක තුනකට පමණයි. දුම්රිය ස්ථානයට ජලය නැහැ. කාන්තාවන්, වැඩිහිටියන් මෙන්ම ළමුන් මේ හේතුවෙන් අපහසුතාවයට පත්වෙනවා.

තිස්මල්පොළ ගමට තිබෙන ප්‍රධානම ප්‍රවාහන පහසුකම දුම්රියයි. ශීඝ්‍රගාමී දුම්රිය හැර අනෙකුත් දුම්රිය මෙහි නවත්වනවා. උඩුගම, අළුබෝහින්න, තිස්මල්පොළ, වල්ගම, පුවක්මොටේ, කොරස, නාරන්බැද්ද වැනි ප්‍රදේශවල ජනතාව මෙම දුම්රිය ස්ථානය නිතරම භාවිතා කරනවා."

තිස්මල්පොල ජගත් මහින්ද මහතා, - "දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගය දෙපස කඳු සහිතවීමත් ගලක් පිහිටා තිබීමත් නිසා දුම්රියෙන් බිමට බසින මගින්ට ඉඩකඩ මදි. දුම්රිය වේදිකා දෙක අතර උඩින් ගමන් කිරීමට මේ ස්ථානයේ පාලමක් ඉදිකරනවානම් මේ කඳු කොටස භාවිතා කර අඩු වියදමකින් එය ඉදිකළ හැකියි.

උදේ 6.50ට රඹුක්කනට ගියාට පසු යළි දුම්රියක් එන්නේ 9.30ට. උදේ අටෙන් පසුව කොළඹට එන්නේ 10.10 ට. මේ අතර කාලයේ දුම්රිය නවත්වනවානම් මගීන්ට විශාල පහසුවක්. වැසි කාලයට මේ මාර්ගයේ යන්න බැහැ අධික බෑවුම නිසා ලිස්සනවා. ප්‍රවේශ මාර්ගයට රාත්‍රී කාලයේ විදුලි ආලෝකයක්ද නැහැ. ."

දුම්රිය වේදිකාවේ කොන්ක්‍රිට් පුවරුව කඩාවැටීමෙන් තුවාල ලද එච්.ඒ.ඉන්ද්‍රාණි මහත්මිය. - "පසුගිය සිකුරාදා පොල්ගහවෙල සිට තිස්මල්පොළ දුම්රිය ස්ථානයට පැමිණ වෙනදා වගේම මම දුම්රියෙන් පළමුවෙන්ම බැස්සා. මම හැමදාම දුම්රියේ ආධාරකය අල්ලාගෙනයි බහින්නේ. මම බිමට අඩිය තබන විටම කොන්ක්‍රීට් ලෑල්ල කඩාගෙන රේල් පාරට වැටුණා. රඹුක්කන රෝහලේ දවස් තුනක් නතරවෙලා බෙහෙත් කළා. කකුල තවමත් කැක්කුමයි.

මට අනතුරක් සිදුවුණත් වන්දි මුදලක් ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. වේදිකාවෙන් වැටිලා තවත් කෙනකුට අනතුරක් නොවෙන්න මේක හදලා දෙන්න කියලයි මම ඉල්ලන්නේ. මීට දින කීපයකට කලින් ගුරුවරියක්ද දුම්රියෙන් බැසීමේදී වේදිකාව දිග මදි නිසා බිමට බැසීමේදී කකුල ආබාධයකට ලක් වුණා"

මේ සම්බන්ධයෙන් අදහස් පලකළ දුම්රිය ස්ථානයේ මගියෙක්- "දුම්රිය වේදිකාව ඉදිකිරීමේදී කණු අතර පරතරය වැඩියි. කොන්ක්‍රීට් පුවරු දිගින් වැඩි නිසා මැදින් බහිනවා. මේ අනතුරු පිළිබඳව දැන්වූවාට පසුව දෙපාර්තමේන්තුවෙන් ආවා.අඩි හතරෙන් හතරට පීලී දමලා වේදිකාව යළි හදනවා කීවා.වේදිකාව දිග මදි කියන එක සම්බන්ධයෙන් නම් ඔවුන් සැලකිල්ලක් දැක්වූවේ නැහැ.

යටගම හා පනලිය දුම්රිය ස්ථානවලට වඩා වැඩි පිරිසක් තිස්මල්පොල දුම්රිය ස්ථානය භාවිතා කරනවා. මාසයකට ලක්ෂ එක හමාරකට වැඩි ආදායමක් තිබෙනවා. සීසන් ටිකට්වලිනුත් පනස් දහසක් විතර ආදායමක් තිබෙනවා. මේ ස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ විය යුතුයි."

 

සටහන සහ ඡායාරූප

රඹුක්කන විශේෂ

 

නව අදහස දක්වන්න