පේරාදෙණිය රෝහලේ ළමා වාට්ටුවට කුඩම්මාගේ සැලකිලි | දිනමිණ

පේරාදෙණිය රෝහලේ ළමා වාට්ටුවට කුඩම්මාගේ සැලකිලි

පේරාදෙණිය මහ රෝහලේ කුඩා දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන මහාචාර්ය ළමා ඒකකයේ ( හතරේ වාට්ටුව ) අඩුපාඩු රැසක් ඇත. පේරාදෙණිය මහ රෝහලේ දරුවන් සඳහා ප්‍රතිකාර ලබා දෙන මේ ඒකකයට රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ නේවාසික ප්‍රතිකාර ලබා සුවය ලබති. එහෙත් හතරේ වාට්ටුව නැතිනම් ළමා වාට්ටුව ලෙස ප්‍රසිද්ධියක් ඇති මේ ඒකකයේ සියලුම රෝග පරික්ෂාවන් සිදු කරන්නේද වෛද්‍ය වෘත්තියේ ඉහළම නමක් ඇති වෛද්‍ය මහාචාර්යවරු විසිනි.

උණ රෝගීන්, කැස්ස, සහ තවත් බෝ වෙන රෝග ඇති දරුවන් වෙනුවෙන් මේ ළමා ඒකයේ ප්‍රතිකාර ලබා දෙයි. මේ ළමා ඒකකයේ කොටස් කරන ලද කාමර කිහිපයක් ඇති අතර ඒවායේ සිටිය යුතු ප්‍රමාණය ඉක්මවා මෙහි ප්‍රතිකාර කිරිමත් සමහර විෂ බිජ ඉතා ඉක්මනින් කුඩා දරුවන්ගේ ශරිරවලට ඇතුළු වීම සිදු වෙන අතර දරුවන් බලා ගැනිමට සිටින මවුපියන්ද සමහර අවස්ථාවල රෝගී වීම පවා සුලභව දැක ගත හැකියි. මේ ළමා ඒකකයේ සියලු දෙනා වෙනුවෙන් වැසිකිළි පහසුකම් තිබුණත් ඒවා නිරන්තරයෙන්ම අපිරිසුදුය. ඉහළ මහලේ ඇති වැසිකිළිවල අපජලය සමහර විට බටවලින් කාන්දු වෙන අවස්ථාවන්ද දැක ගත හැකියි. ඒවා කාන්දු වන්නේද ළමා ඒකකයේ වැසිකිළි හා නාන කාමර දෙසටයි. එම නළ සඳහා ප්ලාස්ටර්, ගම්, යොදා තාවකාලිකව ඒවාට පැලැස්තර ගසා තිබුණත් එය සාර්ථික ක්‍රමයක් නම් නොවෙයි. මේ ගැන මේ වෙන තෙක් කිසිදු බලධාරියෙකුගේ අවදානයට යොමු වී නැත. පේරාදෙණිය මහ රෝහල් භූමියේම ස්ථාපනය කර ඇති සිරිමාවෝ ළමා රෝහලේ ළමුන් වෙනුවෙන් වාට්ටු රැසක් පවතින අතර මවුපියන් පවසන්නේ මේ ඒකකයේ රෝගවලින් සුවය ලබා පරික්ෂණ අවසන් වෙන තුරු රෝහලෙන් නොයන දරුවන්ට වෙනත් රෝග බෝ විමේ අවස්ථා අවම කිරිමට සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ වාට්ටුවකට නේවාසිකව ඇතුළත් කරන්නේ නම් එය සහනයක් බවයි. මේ ගැන වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු කාලය එළැඹ තිබේ.

සටහන සහ ඡායාරූපය මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න