රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න | දිනමිණ

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

ඡායාරූපය -කැළුම් ලියනගේ

  • ආණ්ඩු වෙනස නිසා ෆෙඩරල් ව්‍යවස්ථාව නැවතුණා - රියර් අද්මිරාල් සරත් වීරසේකර
  • මෛත්‍රී-මහින්ද සන්ධානය ඉතිහාසයේ මනරම් අවස්ථාවක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
  • ජාතික සංවිධාන එකමුතුව

ජයග්‍රහණය අතේ තබා ගනිමින් මෛත්‍රී-මහින්ද සන්ධානය ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෛත්‍රී-මහින්ද සමගිය රැක ගනිමින් ජාතිවාදී කප්පම් කාරයින්ට යට නොවී ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඉතිහාසයේ මනරම් අවස්ථාවක් නිර්මාණය වී තිබෙන බවද වසන්ත බණ්ඩාර මහතා කීය.

යුද්ධය පැවැති සමයේ එය නවත්වන ලෙස පැවසූ කණ්ඩායම් නැවත රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදීමේ උත්සාහයක නිරත වන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙම අදහස් පළ වූයේ පෙරේදා (11) රාජගිරිය ජාතික සංවිධාන එකමුතුව කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, රට වෙනුවෙන් ජනාධිපතිවරයාට අප යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදිය යුතුයි. රට වෙනුවෙන් මේ අවස්ථාවේ ජාතික බලවේග එක පෙළකට පෙළ ගැස්වීම වැදගත්. එමෙන්ම මහා පුළුල් සන්ධානයකින් මැතිවරණයකට ඉදිරිපත් වීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවනවා.

මේ දින වල පවතින දේශපාලන අර්බුදය ආශ්‍රිතව විවිධ දේශපාලන බලවේග ක්‍රියාත්මක වු අන්දම සොයා බැලිමට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කොමිසමක් පත් කළ යුතු බවද අප ජනාධිපතිවරයාට යෝජනා කරනවා. මේ රටට අරාබි වසන්තයක් ගෙන ඒමට රාජ්‍ය නොවන කණ්ඩායම් උත්සාහ කරනවා. මොවුන් බටහිර තානාපති අංශයන්ට සේවය කරන පිරිස් වශයෙන් හැදින්විය හැකියි. රටේ ඇතිවිය හැකි ලේ වැගිරීම් පිළිබඳව විවිධ දේශපාලන කණ්ඩායම් කළ ප්‍රකාශ අප දුටුවා. එමෙන්ම වෘත්තීය සමිති නායකයෙක් කියන රාජ්‍ය සේවකයෙක් ජනාධිපතිතුමාට තර්ජනය කරනවා අප දුටුවා. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.

ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා - එක්සත් ජාතික පක්ෂය මහා ජන උද්ඝෝෂයක් පැවැත්වීමට සූදානම් වෙනවා. පසුගිය අවුරුදු තුන හමාර තුළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම සිදුකළ රටට හිතැති දෙයක් පිළිබඳව සඳහන් කළ බෝඩ් ලෑල්ලක් හැකිනම් රැගෙන එන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එහෙම කළොත් අපට පිළිගත හැකියි එක්සත් ජාතික පාක්ෂිකයින් නැවත රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයක් බිහි කරන්න උත්සාහ කරන්නෙ හෘද සාක්ෂියට අනුව බව. එසේ කරන්න නොහැකි වුවහොත් මව්බිම මුදලට පාවාදෙන පිරිසක් ලෙස ඔවුන්ව හැදින්වීමට සිදුවෙනවා.

පසුගිය රජය සමයේ සිවූ මහා බැංකු වංචාව තුළින් රජයට රුපියල් ට්‍රිලියනයකට වඩා පාඩු සිදුවුණා. එම පාඩුව වසා ගන්න ජනතාව මත බදුබර පැනෙව්වා. හම්බන්තොට වරාය පසුගිය පාලන කාලයේදි චීනයට ලබා දුන්නා. ඉදිරියේදී ක්‍රා ඇළ සකස් කළ පසු විශාල නෞකා ප්‍රමාණයක් හම්බන්තොට වරාය අබියසින් ගමන් කරනවා. හම්බන්තොට වරාය අප සතුව පැවැතියා නම් ඉන් ලබන ආදායමෙන් අපගේ ඒක පුද්ගල ආධායම් ඩොලර් පහළොස් දාහ දක්වා ඉහළ යාමට තිබු අවස්ථාව ඒ නිසා අපට අහිමි වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය පාලන කාලයේ කටයුතු කළේ බටහිර රටවල් සහ දමිළ ඩයස්පෝරාවේ කොටස් සතුටු කරන්න . භික්ෂූන් වහන්සේලා 47 නමක් පසුගිය පාලන කාලයේදී සිරගත සිරගත කරමින් රණ විරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කළා. රජය වෙනස් වීම නිසා ඔවුන්ට ජාත්‍යන්තරය සතුටු කිරීමට පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි වුණා. පැවැති රජය වෙනස් කිරීම පිළිබඳව සුමන්දිරන් මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ වන විට දැඩි ලෙස කලබලයට පත්වී තිබෙනවා. මොවුන්ට අවශ්‍ය මේ රට බෙදල දෙන්න. සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා ඩොලර් වලට රටට ඕනෑම විනාශයක් සිදුකරනවා. මෙවැනි පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මේ දින වල පෙනෙන්න සිටිනවා.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා-රට තුළ මේ අවස්ථාවේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනෙනවා. මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ලෙස හඳුන්වන්න පුළුවන්. ඇතැමුන් ජනපති මන්දිරය වටලන බව ප්‍රකාශ කරනවා. මුජිබුර් රහුමාන්, හර්ෂද සිල්වා, චම්පික රණවන වැනි මන්ත්‍රීවරුන් විවිධ දේ ප්‍රකාශ කරනවා. සමන් රත්නප්‍රිය මහතා තර්ජනාත්මක ප්‍රකාශ කරනවා.

රට අස්ථාවරත්වයට පත් කිරීමට කටයුතු කරන, පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික අනුරාධ තෙන්නකෝන් මහතාද මේ අස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූහ.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න