වතු වර්ජනය නවත්වන්න ජනපති මැදිහත් වෙයි | දිනමිණ

වතු වර්ජනය නවත්වන්න ජනපති මැදිහත් වෙයි

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.

දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩ වර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට එම වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේය.

වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමි විය යුතු බව තමා විශ්වාස කරන අතර, ඒ හා සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ වතු සමාගම් සමඟ සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමටද ජනාධිපතිතුමා තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආරුමුගම් තොණ්ඩමන්, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න