රටම බලා සිටින අධිකරණ තීන්දුව අද පස්වරුවේ | දිනමිණ

රටම බලා සිටින අධිකරණ තීන්දුව අද පස්වරුවේ

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව දේශපාලන පක්ෂද ඇතුළුව පාර්ශව ගණනාවක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් පිළිබඳව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැති විභාගයේ තීන්දුව අද(13) සවස 4.00ට ලබාදීමට නියමිත බව වාර්තා වේ. 
 
අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ දින 04ක් තිස්සේ එකී පෙත්සම් හා ඒවාට එරෙහිව කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වූ මැදිහත්කාර පෙත්සම්ද පිළිබඳව පැවැති නඩු විභාගය ඉකුත් 07 වැනිදා සිකුරාදා රාත්‍රි 07 ට පමණ අවසන් විය. අනතුරුව නඩු තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා එහිදි ප්‍රකාශ කළේය.
 
ඒ අනුව සම්පූර්ණ පිටු විශාල සංඛ්‍යාවකින් යුතු නඩු තීන්දුව නිකුත් කිරීමට ඇති අපහසුතාව මත ඇතැම් විට විවෘත අධිකරණයේදී සාරාංශගත කෙටි නඩු තීන්දුවක් කියවා තීන්දුව ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවද අධිකරණ ආරංචි මාර්ග සදහන් කරයි.
 
එසේ වුවහොත් සම්පූර්ණ සවිස්තරාත්මක නඩු තීන්දුව නිකුත් කිරීම සඳහා දිනයක් නියම කරනු ඇති බවත් වාර්තා වේ.

නව අදහස දක්වන්න