දකුණු ආසි­යා­ව­ටම එකයි | දිනමිණ

දකුණු ආසි­යා­ව­ටම එකයි

ඇන්තූ­රි­යම් සඳහා යුරෝ­ප­යේත්,  මැද­පෙ­ර­දිග මෙන්ම නැඟෙ­න­හිර  ආසි­යා­තික  රට­වල ඇති ඉල්ලුම ක්‍රම­යෙන් ඉහළ යමින් පව­ති­නවා. ඒ වෙළෙඳ පොළ ජය  ගැනී­මට අපි මේ වගාව සඳහා වන බාධා­වන් මැඬ ගත යුතුයි. ඒ සඳහා වන අධ්‍ය­යන කේන්ද්‍ර­යක් මෙන්ම ලෝක­යට ඇන්තූ­රි­යම් දෙන අප රටේ ඇන්තූ­රි­යම් දැක ගැනී­මට පැමි­ණෙන දෙස් විදෙස්  සංචා­ර­ක­යන්ට  ඒ සඳහා  මධ්‍ය­ස්ථා­න­යක් නොමැති කම කලක් පුරා අත් දුටු අඩු­වක්. අදින් පසු සම්පූර්ණ වන්නේ ඒ අර­මු­ණයි.
අප­න­යන ඇන්තූ­රි­යම් වෙනු­වෙන්ම   
අධ්‍ය­යන ආය­ත­න­යක්   
 
 

දකුණු ආසියාතික රටක ප්‍රථම වරට ආරම්භ වන ඇන්තූරියමි සඳහාම විශේෂිතව ‍ගොඩනැඟුන ඇන්තූරියම් අධ්‍යාපනික හා ප්‍රදර්ශනාත්මක කෘෂි ව්‍යාපෘතිය පසුගිය දා ගම්පහ දිස්ත්‍රිකයේ දෙවෙ‍ලපොළ දී නෙදර්ලන්ත තානාපතිනී ජෝනා ඩූනාවර්ඩ් (JOANNA DOORANWARD) මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

sound of anthurium agribusiness center නමින් නම් කර ඇති මේ ආයතනය වගාවක් වෙනුවෙන් මෙරට ප්‍රදර්ශනාත්මකව මෙන්ම අධ්‍යාපනික මධස්ථානයක් ලෙස ඉදි කළ පළමු ආයතනය ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

අපනයන ඇන්තූරියම් වගාව පිළිබඳ වසර 20කට වැඩි අත්දැකීම් ඇති දේශශක්ති, දේශමාන්‍ය යාමිකා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයක් අනුවයි මේ ආයතනය ඉදිවී ඇත්තේ.

ඇත්තූරියම් පිළිබඳ කෘෂි විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකරන මේ ආයතනයේ ප්‍රමුඛතම කාර්යන් වන්නේ අපනයන ඇන්තූරියම් වගාව මෙරට විධිමත් ලෙස ව්‍යාප්ත කරමින් ආදායම් අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා වන බාධා අවම කිරීමයි.

ශ්‍රී ලංකව සහ නෙදර්ලන්තය අතර පවතින ද්වි පාර්ෂවීය සබඳතා ශක්තිමත් කරන ජෛව විද්‍යාත්මක සාධකයක් ලෙස දෙවියන් ගේ ත්‍යාගයක්වූ මල් හැඳින්විය හැකියි. ඒ අතරින් ඇන්තූරිවම් මල ලංකාවට ඉතාමත් විශේෂයි. ලංකාවේ පවතික දේශගුණයට වඩාත් ගැලපෙන ඇන්තූරියම් මෙරට ජනතාවගේ ආදායම් තත්වය දිනුණු කිරීමට සමත්වී තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට ඇන්තූරියමි වගාව හේතුවී ඇති බව දැන ගැනීම මහත් සතුටක් ඒ සඳහා නෙදර්ලන්ත රටින් ලබාදුන් සහායට දක්වන ලද හර සර පිළිබඳත් මම ස්තූතිවන්ත වෙනවා. ඇන්තූරියම් වගාව තවදුරටත් මෙරට ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නෙදර්ලන්ත රාජ්‍යයේ සහය නිරතුරුව හිම්වන බවද පවසනවා’ යනුවෙන් විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් නෙදර්ලන්ත තානාපතිනී ජෝනා ඩූනාවර්ඩ් පැවැසුවාය.

උත්සව අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා සභාව අමතමින්,

අප මේ රැඳී සිටින්නේ සිහින දකින්නිය, යාමිකා ගුණවර්ධන දිරිය කාන්තාවගේ වසර 20කට වැඩි කාලයක් කළ කැපවීම, දිරිය හා උදාර දැක්මේ මල් විකසිත වන අන්දම දැක ගැනීමටයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් මේ ස්ථානයට අප පැමිණියේ ඇයගේ ගමන් මඟට නිති සහාය වීමට හැකි වීම පිළිබඳ අප තුළ ඇති මහත් සතුට නිහතමානීව ප්‍රකාශ කිරීම සඳහායි.

අදින් පසු මෙරට ඉතිහාසයේ ඇන්තූරියම් පිළිබඳ ලියවෙන නව පරිච්ඡේදය ආරම්භය යාමිකා ගුණවර්ධනගේ වුවද, එහි ප්‍රතිඵල මෙරට අනාගත පරපුරටයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුඛ්‍ය කාර්යයන් පිළිබඳ සැලකිළිමත් වන අතරම ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම පිළිබඳ සැලකිළිමත් ආයතකයක්, ඒ අනුවයි අපනයන ඇන්තූරියම් වගාව දියුණු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනුයේ. මේ වන විටත් වගාකරුවන් 10000ක් පමණ මේ ආයතනය සමඟ කටයුතු කරනවා. ඉදිරියේ දී මේ ආයතනයේ කාර්ය භාරයත් සමඟ එම තත්ත්වය වඩාත් වැඩි දියුණු වේවි. මේ ස්ථානය ‍අධ්‍යාපන ආයතනයක්, සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු වීමත් සමඟම මේ ප්‍රදේශයේත් විශාල දියුණුවක් ඇතිවේවි’ යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් පැවැසීය‍.

ඇන්තූරියම් මලට තිබෙන්නේ හදවතේ හැඩ‍ය. ජීවයේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන මලක් ලෙස මෙන්ම කොල පැහැය වැඩි ශාකයක් ලෙස ඇන්තූරියම් සඳහා යුරෝපයේත්, මැදපෙරදිග මෙන්ම නැඟෙනහිර ආසියාතික රටවල ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ වෙළෙඳ පොළ ජය ගැනීමට අපි මේ වගාව සඳහා වන බාධාවන් මැඬ ගත යුතුයි. ඒ සඳහා වන අධ්‍යයන කේන්ද්‍රයක් මෙන්ම ලෝකයට ඇන්තූරියම් දෙන අප රටේ ඇන්තූරියම් දැක ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ සඳහා මධ්‍යස්ථානයක් නොමැති කම මා කලක් පුරා අත් දුටු අඩුවක්. අදින් පසු සම්පූර්ණ වන්නේ ඒ අරමුණයි. මේ පරිශ්‍රය පුරා සරන ඔබට ඇන්තූරියම් සමඟ මොහොතක් දැහැන්ගතවීමට හැකිනම් ඔබටත් ඇසේවි එහි රිද්මය. මල් සමඟ දියුණු විය හැක්කේ අවංක හදවත් ඇති අයට බව එවිට මේ හදවතේ හැඩය ඇති මල ඔබට පවසාවි.’ යනුවෙන් ගුණවර්ධන මහත්මිය වැඩි දුරටත් පැවැසීය.

මේ අවස්ථාව සඳහා වගාකරුවන්, බැංකු නි‍යෝජිතයන් මෙන්ම සම්භාවනීය පිරිසක් සහභාගිවී සිටියහ‍.

 

 

නව අදහස දක්වන්න