කාන්තාවන්ට දිරි දෙන ව්‍යවසාය ගම්මාන | දිනමිණ

කාන්තාවන්ට දිරි දෙන ව්‍යවසාය ගම්මාන

ජාතික ශිල්ප සභාවේ දර්ශනය වන්නේ තිරසර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමය. එමෙන්ම ඔවුන්ගේ මෙහෙවර වනුයේ සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත සංරක්ෂණය කිරීම, දේශීය හස්ත කර්මාන්ත සංවර්ධනය දිරි ගැන්වීම, ප්‍රවර්ධනය කිරීම, ශිල්පීන්ගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය නංවාලීමයි. ඒ අනුව ජාතික ශිල්ප සභාව විසින් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කළ ‘ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහන’ මෙන්ම ‘ශිල්ප සවිය වැඩසටහන’ පිළිබඳ, ජාතික ශිල්ප සභාවේ සභාපතිවරිය වන, හේෂානි සතිෂ් බෝගොල්ලාගම මහත්මිය සමඟ සිදු කළ සාකච්ජා සටහනකි මේ.

• ව්‍යවසායකත්ව ගම්මාන සංකල්පය ඇරැඹුණේ කෙසේ ද?

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන කියලා අපි ඇත්තෙන්ම ගන්නේ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කළ ගම්මාන සංවර්ධන වැඩසටහනයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සිටින්නේ කාන්තාවන්. ශ්‍රී ලංකාවේ වැඩිපුරම අපනයන ආදායම් ලබන්නේ තේ, ඇඟලුම් සහ විදේශ සේවා යන ක්ෂේත්‍රයන් හරහායි. මේ ක්ෂේත්‍රයන් තුනේම ශ්‍රම බළකාය වශයෙන් සිටින්නේ කාන්තාවන්. කාන්තාවන් දැනටමත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම්වලට විශාල දායකත්වයක් සපයනවා. පසුගිය අවුරුදු 10-15 අතරතුර කාලයේ දී මෙලෙස කාන්තාවන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් සැපයුවත්, කාන්තාවන් විශාල ගැටලු රැසකට මුහුණ දුන්නා. නිවෙස්වල අම්මලා, අක්කලා, තම නිවෙස් දාලා විදේශ රැකියාවන්ට යෑමට සිදු වීමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වන නිසා, ඔවුන්ට එසේ යන්නේ නැතුව තම නිවෙස්වල සිට පවුලේ සාමාජිකයන් සමඟ සිටිමින්, තම ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම මෙහි දී සිදු කරනවා. මේ පරමාර්ථය එක්ක තමයි කර්මාන්ත හා වාණිජ කටයුතු ආමාත්‍යාංශය යටතේ තමයි කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇරැඹෙන්නේ. ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් මඟින් ස්වයං ව්‍යාපාරවලට උනන්දු කිරීම මෙන්ම යටිතල පහසුකම් ලබා දීමත් අප සිදු කරනවා.

2108 ව්‍යාවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහන තුළ දී කන්ඩිකුලම තල්කොළ ක්ෂේත්‍රය, ලූල්නෑව මැටි ක්ෂේත්‍රය, ලියන්වල රිදී ක්ෂේත්‍රය, මංගල සමරවීරපුර මැටි ක්ෂේත්‍රය, බල්ලපාන මැටි ක්ෂේත්‍රය, වරාගොඩ දිස්න මැටි ක්ෂේත්‍රය, උහන මැටි ක්ෂේත්‍රය, සේනාපති වේවැල් ක්ෂේත්‍රය සහ මුදරන්කුලිය කොහු කෙඳි හා සිප්පි කටු යනාදී ගම්මානවල තිබෙන හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ප්‍රතිලාභ ලබා දීම සිදු කර තිබෙනවා.

• දැනට මේ ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන මගින් සිදු කරනු ලබන කාර්යභාර්යන් මොනවා ද?

ඉදිරියේ දී ව්‍යාපෘතිය හරහා ගමේ සිටින කාන්තාවන්ගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ජාතික ශිල්ප සභාව ස්ථාපිත කරලා තියෙන්නේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය සංවර්ධනය කිරීමට, සුරක්ෂිත කිරීමට සහ ප්‍රචලිත කිරීමටයි. කාන්තා ව්‍යවසායකත්ව වැඩසටහන මගිනුත් අපි සිදු කරන්නෙත් ඒ දේවල්මයි. අපේ රටේ සිටින කාන්තාවන්ට සම්ප්‍රදායික හස්ත කර්මාන්තයන් පිළිබඳ උගන්වලා, ඔවුන්ට තම නිර්මාණ කිරීමට උනන්දු කරලා, ඉන් පසුව වෙළෙඳ පොළට එම නිර්මාණ හඳුන්වලා දීලා, ඔවුන්ට යහපත් ආර්ථික මට්ටමක් ළඟා කර දීමටයි කටයුතු කරන්නේ. නමුත් කාන්තාවකට වෙළෙද පොළ ජය ගැනීම තරමක් අපහසු දෙයක්. විශේෂයෙන්ම ගම්බද කාන්තාවකට වෙළෙඳ පොළ ජය ගැනීම බෙහෙවින් අපහසු කාර්යයක් වී තිබෙනවා. ඒත් අපි මේ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් භාණ්ඩ ලබා දීලා, මෙන්න මේ දේ තමයි මේ හස්ත කර්මාන්තය තුළින් සිදු කරන්නේ කියලා පමණක් කියා දීලා නවතින්නේ නෑ. අපි ජාතික මෝස්තර මධ්‍යස්ථානය සමඟ එකතු වී, නවීන ලෝකයේ විකිණෙන භාණ්ඩ මොනවා ද කියලා , (New Design ) ලබා දීලා, New Design Development Programme එක පවත්වනවා. ඒ සමඟ අපි ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය සමඟ එකතු වෙලා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සිදු කරනවා.

ඒ වාගේම අපි සාම්ප්‍රදායික ගම්මාන තෝරා ගෙන සිටිනවා. වසර 2000කට වඩා පැරැණි ඉතිහාසයක් තිබෙන විවිධ හස්ත කර්මාන්තයන්ට ආවේණික වූ ගම්මානවල සිටින ව්‍යවසායකයන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසාත් අපි වෙහෙසෙනවා.

• ශ්‍රී ලංකාවේ දේශීය හස්ත කර්මාන්ත වර්ධනය කිරීම සඳහා මේ ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන මගින් සිදු කරන සුවිශේෂතා මොනවා ද?

1960 - 1970 වැනි කාලයේ දී නිවෙස්වල සිටිමින් හස්ත කර්මාන්ත සිදු කළ අය ප්‍රචලිතව සිටියා. විශේෂයෙන් ඒ කාලයේ දී නිවෙස්වල සිටිමින් Handloom කරපු අය බොහෝ සිටියා. ඒ වුණත් 1980 ගණන්වල දී විවෘත ආර්ථිකයත් සමඟ හස්ත කර්මාන්තය පසු බෑමකට ලක් වුණා. එය නැවත දියුණු කිරීමයි අරමුණ.

• වර්තමානයේ දී සෑම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයකම, නූතන පරම්පරාව එම කර්මාන්තවලට නැඹුරුවීමේ අඩුවක්

දැන් ඉන්න නූතන පරම්පරාව හස්ත කර්මාන්තවලට නැඹුරු වෙලා නැත්තේ ඒවාට ආශාවක් නැති හින්දා නෙමෙයි, ඔවුන්ට ඒ පිළිබඳ දැනුමක් නැති හින්දා. අපිට අපේ කාලයේ දී පාසලේ දී චිත්‍ර, සංගීත, නැටුම් වැනි කලා විෂයන් යනාදීය ඉගැන් වූ හින්දා තමයි අපි ඒ විෂය ක්ෂේත්‍රයන්ට ආශාවක් ඇති කර ගත්තේ. ඒ නිසා පාසලේ දී මේ හස්ත කර්මාන්තයන් කියා දෙනවා නම්, ඒ පිළිබඳ දරුවන්ට ඇල්මක් ඇති වනවා. අපේ හස්ත කර්මාන්තය රැඳිලා තියෙන්නේ තාත්තගෙන් පුතාට, අම්මගෙන් දුවට තමයි. ඒ හස්ත කර්මාන්තයට දුව හෝ පුතා කැමති නැත්නම් එතනිත් පසුව එම හස්ත කර්මාන්තය අවසන් වනවා.

ඒ වුණත් අපි ගත්තොත් සනත් ජයසූරිය, ඔහුගේ පියා ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමෙයි. ඒ වුණත් ඔහු පාසලේ දී ක්‍රිකට් ගහලා, පුහුණු වෙලා අවසානයේ දී ලෝකය ජය ගත්තා. ඒ නිසා අපි හස්ත කර්මාන්තයට යෞවන පරපුර ඈදා ගන්න නම්, පාසලේ දී ඔවුන්ට හස්ත කර්මාන්ත පිළිබඳව ඉගැන්වීම සිදු කළ යුතුයි. ඒ හින්දා අපි ගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එකතු වෙලා ‘ශිල්ප නවෝදා ’ කියලා වැඩසටහනක් පැවැත්වුවා. පළමුවෙන්ම අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් කළා, දිස්ත්‍රික්කයකට පාසල් 10 බැගින් තෝරා ගෙන, පාසල් 250ක් අපි ආවරණය කළා. සිසුන් 30,000ක් පමණ පිරිසකට අපි හස්ත කර්මාන්තය පිළිබඳ දැනුවත් කළා. එයින් සිසුන් 10,000ක් මේ හස්ත කර්මාන්ත පිළිබඳ ඔවුන්ට උගන්වන්න සහ පුහුණුවක් ලබා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපි ගිය වසරේ සිසුන් 10,000ක් හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර යටතේ පුහුණු කළා.

• විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් මේ ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන මගින් සිදු කරනු ලබන සේවාවන් මොනවා ද?

කාන්තාවන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් විදේශගතවීම මගින් තම පවුලට උපරිම ආදායමක් හිමි කර දීමට යොමු වී සිටිනවා. ඒ බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ තමන්ගේ පවුලට උපරිම ආදායමක් ලබා ගත හැකි එකම මාර්ගය විදේශගතවීම කියලයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52 % ක් සිටින්නේ කාන්තාවන්. ඒත් ඔවුන්ට ලැබෙන දැනුම ඉතාම අවම මට්ටමකයි තිබෙන්නේ.

විදේශ රටකට යන කාන්තාවන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ වාගේම විදේශගත වීමටත් යම් වියදමක් යනවා. ඒ නිසා විදේශ රටකට නොගිහින් නිවෙස්වල සිට උපයන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් වනවා. එලෙස විදෙස්ගත නොවී ශ්‍රී ලංකාවේ තම පවුලේ සමාජිකයන් සමඟ සිටිමින් රැකියාවක් කිරීමට අපි ඔවුන්ව දැනුවත් කළ යුතු වනවා. ඒ සඳහා අවශ්‍ය වන දැනුම අපි ඔවුන්ට ලබා දිය යුතු වනවා. දැනුමක් නැතුව ගන්න තීරණ මගින් අවසානයේ දී ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වනවා. දැනුමක් නැතුව ගන්න තීරණ අවසානයේ දී වැරැදි තීරණයක් බවට පත් වනවා. ඒ මගින් තමාටත්, තමන්ගේ දරු පවුලටත් විශාල අසාධාරණයක් සිද්ධ වන්නට පුළුවන්. ඒ නිසා රජය මගින් කාන්තාවකට නිසි දැනුවත්භාවයකින් යුක්තව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අතහිත දීම සිදු කරනවා.

• ජාතික ශිල්ප සභාව මඟින් සිදු කළ ‘ශිල්ප සවිය’ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට නව සන්නාමයන් හඳුන්වා දීමට හැකි වනවා යැයි ඔබ සිතනවා ද?

ඔව්, 2017 වර්ෂයේ දී අපි පවත්වපු පළමුවැනි ශිල්ප සවිය වැඩසටහන මඟින් විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වූණා. ‘ශිල්ප අභිමානි’ ජනාධිපති හස්ත කර්මාන්ත තරගයෙන් ජයග්‍රහණය ලබන ශිල්පීන් ව්‍යාවසායකයන් කිරීම තමයි අපගේ බලාපොරොත්තුව වෙන්නේ. පසුගිය අවුරුදු 10-15 තුළ දී අලුත් සන්නාමයන් බිහි වූයේ අඩු වශයෙනුයි. අවුරුදු 25-30ක් පමණ පැරැණි සන්නාමයන් තමයි දැනටත් නිර්මාණ ක්ෂේත්‍රයෙහි තියෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකයන් වැඩි කරලා අලුත් සන්නාමයන් බිහි කිරීමටයි.

ජාතික ශිල්ප සභාව සම්මානලාභී හස්ත කර්මාන්ත ශිල්පීන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත් කිරීම හා හස්ත කර්මාන්ත ආශ්‍රීත නව ව්‍යාපාර සන්නාම ඇති කිරීමේ අරමුණීන් ක්‍රියාත්මක කරන ‘ශිල්ප සවිය’ ව්‍යවසායකත්ව වැඩසටහනෙහි දෙවැනි අදියර ( මෝස්තර උපදේශන වැඩසටහන ) මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ‘ශිල්ප සවිය’ 2018 වැඩසටහන සඳහා තෝරා ගන්නා ලද ශිල්පීන් නිරත වන ශිල්ප ක්ෂේත්‍ර සැලකිල්ලට ගනිමින් රෙදිපිළි ආශ්‍රිත හස්ත කර්මාන්තයන්හි නිරත වන ශිල්පීන් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි සහ ඇගළුම් තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය ලබා ගැනීමත්, රෙදිපිළි නොවන හස්ත කර්මාන්තයන්හි ( Product Categories ) නිරත ශිල්පීන් සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වය ලබා ගැනීමත් සිදු කරනවා.

ඒ අනුව මේ ප්‍රදර්ශනය සඳහා නිර්මාණ සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, තාක්ෂණික හා යන්ත්‍ර උපකරණ , අලෙවි ප්‍රවර්ධන කටයුතුවලට අදාළව මිලදී ගැනීම් හා සේවාවන් ලබා ගැනීමට එක් ශිල්පියකුට උපරිමය රු 70,000 දක්වා මූල්‍ය දීමනාවක් ලබා දෙනවා. අනුව අප ශිල්පීන් 24 දෙනෙකු සඳහා මූල්‍යාධාර ලබා දීම සිදු කළා. මෙම ව්‍යවසායකත්ව වැඩසටහනෙහි අවසන් ප්‍රදර්ශනයට පූර්වගාමීව පවත්වනු ලබන අලෙවි පර්යේෂණ වැඩසටහන ( Test Marketing ), නත්තල් උත්සවය සමගාමී කර ගනිමින් මේ මස 19-21 දක්වා දිනයන්හි දී අංක 14, ලංකා බැංකු මාවත, කොළඔ කොටුව යන ලිපිනයෙහි පිහිටි පැරැණි ලන්දේසි රෝහල් පරිශ්‍රයහි දී ( Dutch Hospital Shopping Precinct ) පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා අපට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ( EDB ) ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ( NEDA ) ජාතික මෝස්තර මධ්‍යස්ථානය ( NCC) සහ මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි සහ ඇගළුම් තාක්ෂණ අධ්‍යයනාංශය යනාදී ආයතන සම්පත්දායකත්වය ලබා දෙනවා. මේ ප්‍රදර්ශනයේ දී මෝස්තර සම්පාදකයන් විසින් ලබා දෙන ලද සැලසුම් අනුව ශිල්පීන් විසින් සකස් කරන ලද නව නිර්මාණ එළිදැක්වීමට අමතරව ශිල්පීන්ගේ උසස් මට්ටමේ නිර්මාණ සඳහා දේශීය සහ අපනයන වෙළෙඳ පොළ සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම මෙමගින් අපේක්ෂා කරනවා. අප ‘ශිල්ප සවිය’ 2018 අවසාන ප්‍රදර්ශනය 2019 ජනවාරි මස ගාල්ල සාහිත්‍ය උළෙල කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට අපේක්ෂා කරනවා.

• ඉහත සඳහන් සියල්ල කැටි කර ගත් කල්හි ශ්‍රී ලංකාවේ හස්ත කර්මන්තයේ අනාගතය සුබදායී වේ යැයි අපට බලාපොරොත්තු තබා ගත හැකියි යන්න ඔබ සිතනවා ද?

විශේෂයෙන් යෞවන පරපුර ව්‍යවසායකත්ව පැත්තට නැඹුරු වෙද්දී ඔවුන්ට යා හැකි මාර්ගයන් බොහෝමයක් අද වන විට තිබෙනවා. යුද්ධය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කලාත්මක ක්ෂේත්‍රයන්ගේ වැඩි වර්ධනය වීමක් දක්නට ලැබුණා. යෞවන පරපුරට අපි කියන්නේ, තමන් වැඩිපුර ඇල්මක් දක්වන, දන්න ක්ෂේත්‍රය, තව දුරටත් ප්‍රගුණ කරන්න කියලයි. පාරම්පරික, ගතානුගතික ක්‍රමවේදය අනුව සෑම දරුවෙක්ම, නීතීඥයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙන්නේ නැතුව නිර්මාණශීලී අන්දමින් තමන්ගේ දක්ෂතාවන් අනුව තමන්ගේ වෘත්තීය තෝරා ගන්න කියලයි අප කියන්නේ.

සාකච්ජා සට­හන 
මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න