සෙනෙට් සභිකයා දැලට පැටලේ | දිනමිණ

සෙනෙට් සභිකයා දැලට පැටලේ

කැම්ඩන් නගරාධිපති ඇන්ජෙලෝ ජෝසප් එරිචෙට්ටි සහායක බිල් ඊඩ්න් සමඟ හෝල්බෘක්හි අබ්දුල්ගේ කාර්යාලයට හාපුරා කියා සම්ප්‍රාප්ත වුණේ 1978 දෙසැම්බර් 01 දාය. දකුණු දිග නිව් ජර්සි ප්‍රාන්තයේ කැම්ඩන් නුවර යනු සැර පරුෂ නගරයකි. එහි ප්‍රධාන ආදායම් මාර්ග නිර්මාණය වී තිබුණේ මහා පරිමාණ ව්‍යාපාර හා එරිචෙට්ටිගේ කැම්ප්බෙල් සුප් සමාගමෙනි.

“ ලෝකේ හතර වටේ තියෙන හැම මළඉලව් තක්කාලි සුප් එකක්ම හදන්නේ අපි තමයි.“

එරිචෙට්ටි සිය සමාගම ගැන පාරම් බෑවේ එලෙසය. පැසුණු හිසකෙසින් යුතු එරිචෙට්ටි වෙතින් බැලූ බැල්මට පළවුණේ, එකල චිත්‍රපටවල නිතර මැරවර චරිත නිරූපණය කළ රිචඩ් කොන්ට්ගේ බඳු පෙනුමකි. ඉන්ධන ලෙස ගල් අඟුරු අලෙවියේ යෙදුණකුගේ පුතු වූ එරිචෙට්ටි පාසල් සමයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස නමක් දිනා ගත්තෙකි. ශක්තියෙන් හා ජීවයෙන් පිරුණු නමුත් කලහකාරී, දඩබ්බර ගතිපැවතුම් ඇති එරිචෙට්ටි වෙතින් පළවුණේ වීදිවල නිතර ගැවසෙන රස්තියාදුකාරයකුගේ හැඩහුරුකම වුවද නගරාධිපති ලෙස වාර්ෂිකව ඩොලර් විසිදහසක ආදායමක්ද, රාජ්‍ය සෙනට්වරයකු ලෙස වාර්ෂිකව ඩොලර් දහඅටදහසක ආදායමක්ද එකවර ලැබූ ඔහු දකුණු ජර්සියේ බල පරාක්‍රමය පතුරුවාගෙන සිටි ප්‍රබලම ඩිමොක්‍රටික් නායකයා විය.

සිගරැට්ටුවකින් තවත් සිගරැට්ටුවක් දල්වා ගැනීමට තරම් දුම්පානයට ඇබ්බැහිව සිටි එරිචෙට්ටිට තිබුණේ අසා සිටිය නොහැකි අසැබි කතා විලාසයකි. වෙයින්බර්ග්ගේ ඌරුවෙන් කියන්නේ නම් ඔහුගේ කතාව “ උතුරා යන වැසිකිළියක්“ බඳුය. ඔහුගේ සරළම වාක්‍යයක පවා අසැබි වචන පහක්වත් තිබුණි. නමුත් ඔහු වෙයින්බර්ග්ගේ සිත් ගත්තේය. විසිතුරු ආ‍ටෝපකාරී ගති පැවතුම් ප්‍රිය කළ, කිසිදු අහංකාරකමක් හෝ ලෝබකමක් නැති විනෝදකාමියකු වූ එරිචෙට්ටි, හදවතින්ම තක්කඩියකු බව වෙයින්බර්ග් කියයි. හැම අතින්ම තමා වැන්නකු වූ මේ අපූරු පුද්ගලයා දුටු මනතින්ම ආත්ම ගණනක සිට හඳුනන පුද්ගලයකු ලෙස වෙයින්බර්ග් ඔහු කෙරෙහි බැඳුණේය.

“ එයා නියම මිනිහෙක්. මිනිහෙක්ගේත් මිනිහෙක්. හැබැයි මං වගේම අමු තක්කඩියෙක්. හෙටක් නැහැ වගේ කිසිම ලෝභකමක් නැතුව අත දිග ඇරලා වියදම් කරනවා. අදටත් මම හිතන්නේ එයාට විරුද්ධව සාක්ෂි දෙන්න වෙච්ච එක මහා අපරාධයක් කියලයි. “

වෙයින්බර්ග් නගරාධිපතිවරයා ගැන සිහි කරන්නේ ළෙන්ගතුකමකිනි. ඔහු සමඟ පළමු හමුවේදී වෙයින්බර්ග්, වැඩිපුර කතා කළේ නැත. මැකාති සමඟ කතා කරන්නට ඔහුට ඉඩදී වෙයින්බර්ග් කළේ මේ අලුත් ඉලක්කය හොඳින් හැදෑරීමය. ඇත්තවශයෙන්ම එරිචෙට්ටිගේ බස් වහර විසිතුරුව තිබුණේ අසභ්‍ය වචනවලිනි. නමුත් ඔහු කිව යුතු දේ මුහුණටම කියා දැම්මේ හැංඟි හොරා නැතිවය. එම පළමු හමුවේදීම තමා සතු බලපරාක්‍රමය මැකාතිට ප්‍රදර්ශනය කිරීමට හේ මැලිවූයේ නැත.

“ මම ඔහේට ඇට්ලන්ටික් නගරයම වුණත් දෙන්නම්. හැබැයි මම නැතිව ඔහේලාට මුකුත් කරන්න බැහැ. ඒක ෂුවර්.“

“ හරි එහෙමයි කියලා කියමුකෝ. ඒත් අපි කැමතියි ඔබතුමා ඔය කියන විදිහට කොහොමද රජයේ කැසිනෝ ලයිසන් එකයි, ඇට්ලන්ටා මහ නගර සභාවේ අනුමැතියයි ගන්නේ කියලා දැනගන්න?“ මැකාතිට අවශ්‍ය වූයේ රොසෙන්බර්ග් කල් ඇතිව කියා තිබුණු දේවල් එරිචෙට්ටි ලවාම තහවුරු කරගැනීමටය.

“ ඇයි ඕයි මම නගරාධිපති විතරක් නෙවෙයි, සෙනේට් එකෙත් ඉන්නවා ඒකේ මගේ කීමට එහායින් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඇරත් ඇට්ලන්ටා නගරයේ ලොකු ලොකු මහතැන්ලා හුඟක් ඉන්නේ මගේ අතේ. මං කියන්නේ මොකද්ද, ඒ දේ ‍වෙලා ඇති. “

එරිචේට්ටි නික්ම ගියේ මැකාතිට සිය අවසන් උපදේශයද ලබාදීමෙන් පසුවයි.

“ මං කියන විදිහට ඔහේලා වැඩ කළොත්, බයවෙන්න දෙයක් නැහැ. මම ඒකට ඇපවෙනවා. ඔහේලාගේ ගැලවුම්කාරයා මම කියලා හිතා ගන්න.“

නගරාධිපතිවරයා නික්ම ගිය පසු ඔහු කියූ දේවල් අබ්දුල‍්ගේ පිරිසට පැහැදිලි කරදීමට රොසෙන්බර්ග් ඉදිරිපත් විය. කල්තියා කරුණු පැහැදිලි කර දී තමාගේ ගතමනාව ලැබෙන බව සහතික කරගැනීම රොසෙන්බර්ග්ගේ පරම අභිලාසය විය. රොසෙන්බර්ග් කතාවට මුල පුරද්දීම ඔහුටත් වඩා තක්කඩියකු වූ වෙයින්බර්ග්ට ඒ බව තේරුම් ගැනීම අසීරු වූයේ නැත.

“ නගරාධිපතිතුමා ඔය වහෙන් ඔරෝ භාෂාවෙන් කිව්වේ හොර පාරෙන් කැසිනෝ ලයිසන් එකක් පන්නගන්න නම් එයාට ඩොලර් තුන්ලක්ෂ පනස්දහක් හරි හාරලක්ෂයක් හරි ගෙවන්න ඕනේ කියලා. ඒ එකක්. අනික තමයි එයා ඔය වගේ වැඩ කරන්නේ මමයි මගේ ගෝලයයි හරහා විතරයි. සල්ලි ගනුදෙනුවලදී එයා කැමති නැහැ අතරමැදියෙක් නැතිව වැඩ කරන්න. එයාට දෙන හැම පගාවටම අතරමැදියටත් එයා බලාපොරොත්තු වෙනවා, ඒ කියන්නේ මටයි ගෝලයටයි වෙනම ගෙවන්න ඕනේ. මේ වගේ ගනුදෙනුවලදී වැඩ සිද්ධ වෙන පිළිවෙළ ඕකයි.“

රොසෙන්බර්ග්ගේ යෝජනාව ගැන සලකා බලන බව කියා මැකාති යන්තම් ගැලවී ගත්තේය. රොසෙන්බර්ග් අමු තක්කඩියෙක්, මසුරු කුණෙක් බවට දෙකක් නැත. නමුත් එරිචෙට්ටි යනු කියන දේ කරන ‘වැඩකාරයෙක්‘ බව වෙයින්බර්ග්ට විශ්වාසය. එය බහ තෝරන වියේ සිට හොර වංචා ජීවිතයේම කොටසක් කරගැනීමෙන් උරුමවූ ‘සහජ ඉවෙන්‘ දැනුණු දෙයකි. වෙයින්බර්ග්ගේ එම නිගමනයන් නිවැරදි බව එළැඹුණු ඉදිරි වසරවලදී ඔප්පු වූයේ ඇබ්ස්කැම් වෙත ඇතෙක් බරට ගලා ආ ‘හොර බඩු‘ නිසාය. දියමන්ති, ගිනි අවි, හොර තැන්පතු සහතික, සොරකම් කළ ඉපැරණි කලාකෘති, ණය කොන්ත්‍රාත්තු, නගරසභා කසළ කොන්ත්‍රාත්තු, නීති විරෝධී මත්ද්‍රව්‍ය ආනනයනය සඳහා ලබාදුන් කැම්ඩන් තොටුපොළ හා ලියාපදිංචි නොකළ බෝට්ටු පමණක් නොව, බියුරෝව කිසිදා තම දැලට හසුවේ යැයි නොසිතූ දූෂිත ප්‍රබලයෝ රැසක් ද ඒ අතර වූහ. අල්ලස් ලබා ගැනීමට සැදීපැහැදි සිටි රාජ්‍ය නිලධාරින් දහතුන්දෙනකු, රාජ්‍ය කැසිනෝ පාලන කොමිසමේ උප සභාපති, නිව් ජර්සි රාජ්‍ය ඩිමොක්‍රටික් කමිටුවේ සභාපති හා ඇමරිකානු රාජ්‍ය කොන්ග්‍රසයේ සාමාජිකයින් පස්දෙනෙක් හා සෙනේට්වරයෙක් ද ඒ අතර වූහ.

එරිචෙට්ටි සහ ඇට්ලන්ටා නුවර කේන්ද්‍ර කරගත් මහා හොර ජාවාරමට මැදිහත්වීමට ජෝන් ගුඩ් වොෂින්ටනයේ එෆ්.බී.අයි. මූලස්ථානයෙන් අවසර ලබාගත්තද, එක් පරහක් තිබුණි. ඒ රොසෙන්බර්ග්ය. ඔහු හරහා එරිචෙට්ටි සමඟ ගනුදෙනු කිරීම ගැටලු අවුලුවන්නක් බව ඒ වන විට කාටත් වැටහෙමින් තිබුණු යථාර්ථයක් විය. එසේම රොසෙන්බර්ග් නිසා බියුරෝවට නිකරුණේ විශාල බරපැනක් දැරීමට සිදුවීමද ඉහිලුම් නොදෙන්නක් විය. රොසෙන්බර්ග් හරහා එරිචෙට්ටිට අල්ලස් ලබා දුන්නද, එලෙස අතරමැදියකු හරහා ගෙවීම් කෙරෙන විට තමා අල්ලස් ලබාගත් බව යම් දිනක එරිචෙට්ටිට ප්‍රතික්ෂේප කිරීමට වුවද බැරි නැත. ඇබ්ස්කැම් මෙහෙයුමේ අලුත්ම නීතිය නිර්මාණය වුණේ රොසෙන්බර්ග් මතු කළ මෙම ගැටලුවත් සමඟය.

“ සල්ලි ගනුදෙනුවක් නම් කවුරු වුණත් කමක් නැහැ, ඒ ගනුදෙනුව හැමතිස්සෙම කෙළින්ම අදාළ ලකුණත් එක්ක කරන්න.“

එරිචේට්ටි සමඟ ඇතිකර ගත් අලුත්ම ගිවිසුමට අදාළ සියලුම මූලික වැඩකටයුතු සිදු කරමින් නගරාධිපතිවරයාගේ සිත් ගන්නා චිත්‍රයක් මවාපෑමේ වගකීම කරට ගත්තේ ද වෙයින්බර්ග්මය. එවැනි දේට සහජ හැකියාවක් සහ ඉවක් තිබූ වෙයින්බර්ග් ජාඩියට මූඩිය සේ තමාට පෑහෙන බව එරිචෙට්ටිට ඔප්පුවීමට වැඩිකල් ගියේ නැත. අලෙවිය සඳහා ඩොලර් මිලියන දහයකට මිලකොට තිබූ කදිම ඉඩම් කැබැල්ලක් ගැන නගරාධිපතිවරයා යෝජනාවක් ගෙනාවිට වෙයින්බර්ග් කළේ ඊට තවත් මිලියනයක් එකතුකොට එම වෙනස තමන් දෙදෙනා අතරේ බෙදාගැනීමට සැලසුම් සකස් කිරීමය.

“ ෂා! තමුසේ නම් නියම බඩුවක්. මටම ගැලපෙනවා.“

එවන් විටෙක නගරාධිපතිවරයා පැවසුවේ වෙයින්බර්ග් ගැන උපන් හැබෑම ඇල්මකිනි. ලෙහෙසියෙන්ම යහමින් අතට මුදල් ලැබෙන විට, තවදුරටත් තමාට රොසෙන්බර්ග්ගේ සේවය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැති බව එරිචෙට්ටිට අවබෝධ වන්නට වැඩිකල් ගියේ නැත. සෘජුවම වෙයින්බර්ග් හා මැකාති සමඟ ගනුදෙනු කිරීමට එරිචෙට්ටි කැමැත්ත පළ කිරීමට හේතුවූ අනෙක් ප්‍රබලම කාරණය චේස් මෑන්හැටන් බැංකුවේ අබ්දුල්ගේ ගිණුම භාරව සිටි බැංකු නිලධාරියාට ලබාදුන් දුරකතන ඇමතුම බව හෙළි නොකිරීමට තරම් හේ කපටි විය. ඒ බව වෙයින්බර්ග් ඇතුළු පිරිසට දැනගැනීමට ලැබුණේ සෑහෙන කලකට පසුවය.

එරිචේට්ටි සමඟ කෙරෙන ගනුදෙනු ක්‍රමයෙන් පුළුල් වෙද්දී, හොර පාරෙන් මුදල් ලබාගැනීමේ අබ්දුල්ගේ පහසු ක්‍රමෝපායන් ගැනත්, එවැනි හොර වැඩවලටම උපන් හපනකු ලෙස නම් දැරූ වෙයින්බර්ග්ගේ කීර්ති නාමයත් පාතාලයේ පතළ වුණේ විදුලි වේගයෙනි. වෙයින්බර්ග් වැනිම හොර මගඩිකරුවන්, වංචනිකයන්, ජාවාරම්කරුවන්, හොඳින් හෝ නරකින් ක්ෂණිකව මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙන කඩිකුලප්පුකාරයන් අබ්දුල් එන්ටර්ප්‍රයිසස් වටා රොද බැඳ ගන්නට පටන් ගත්තේ මී මැස්සන් සේය. එන්න එන්නටම වෙයින්බර්ග්ට වැඩ වැඩි වන්නට විය. ඒ වෙයින්බර්ග්ට නිව්යෝක් හා ෆ්ලොරිඩා අතර මාරුවෙමින් එකවර ගනුදෙනු දහයක් පමණ මෙහෙයවීමට සිදුව තිබුණු කාලයකි. ඉන් සමහරක් ඇබ්ස්කැම් වෙතින්ද, සමහරක් ෆ්ලෝරිඩා බියුරෝ කාර්යාලයෙන්ද, තවත් ඒවා ඒ දෙකෙන්ම පරාවර්ථනයවූ ඒවාද විය. බියුරෝ අධීක්ෂණ නිලධාරින් දෙදෙනකු එකවර සතුටු කිරිමට ද වෙයින්බර්ග්ට සිදුව තිබුණි. නිව්යෝක්වල ජෝන් ගුඩ් හා මියාමිවල ෆිට්ස්පැට්‍රික් යන මේ දෙදෙනාගෙන් එක් අයකුවත් ලෙහෙසියෙන් සෑහීමට පත්වන්නන් නොවීම අමතර කරදරයකි. වෙයින්බර්ග්ගේ කපටි මොළයට පවා එකවර දරාගැනීමට නොහැකි තරම් ගනුදෙනු රැසක් එකවර සිදුවෙමින් තිබිණි.

ගනුදෙනු කියා ඒවා හැඳින්වීම ඊට කරන අපහාසයක් යැයි හැඟෙන තරමට සුවිශේෂී වූ පුද්ගලයන් හා මහා පරිමාණ ජාවාරම් රැසක් ඒ වන විට තිබුණේ වෙයින්බර්ග්ගේ අනුකම්පාව මත යැපෙමිනි.

 

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ

මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය

‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය

රුක්ලන්ති පෙරේරා

 

හෙට- අතරමඟ නැවතුණ අත්අඩංගුව


නව අදහස දක්වන්න