ප්‍රතිලාභ ලාභී සමාජ ක්‍රියාකාරිකයෝ | දිනමිණ

ප්‍රතිලාභ ලාභී සමාජ ක්‍රියාකාරිකයෝ

රජයේ ආයතන දෙකකින් අනුග්‍රහ ලබා ගත්තේ යැයි යහපාලනය වෙනුවෙන් ක්‍රියාකාරී වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙපළකට චෝදනා නැඟී තිබේ. එයට ප්‍රතිචාර වශයෙන් නැගෙන මතය වන්නේ පෙර පැවති ආණ්ඩු කාලවලදීද එවැනි වෙනත් තැනැත්තන් සමාන ප්‍රතිලාභ ලබා ඇති බවයි. සමාජ ක්‍රියාකාරීන්ගේත් සමාජ මත හසුරුවන්නන්ගේත් මෙවැනි හැසිරීම් තේරුම්ගත යුත්තේ කෙසේද යන්න වෙනුවෙන් අද දේශපාලන කොලෝසියම වෙන්වේ.


මුදල් ගැනීම දේශපාලනිකයි

රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය එස්. එස්. තේනබන්දු

l ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන නායකයන්, නොයෙක් ආයතනවලින් මුදල් ගැනීම, මුදල් ඉල්ලා සිටීම ගැන විවිධ විවේචන එල්ල වෙනවා. ඔබ මෙය දකින්නේ කොහොම ද?

සිවිල් සංවිධාන දිහා බැලුවොත්, ආධාර උපකාර ගන්න ඕනෑ තරම් සිදුවීම් තියෙනවා. නමුත්, මාධ්‍ය වාර්තා පළවෙන ආකාරයට මේ මුදල් ගත්තු පුද්ගලයන් සහ ඔවුන්ගේ දේශපාලන මතවාදය ප්‍රශ්නකාරී වී තිබීම ගැටලුවක්. මුදල් ගත්ත සිදුවීම හා මුදල් ලබාදුන්න ආයතනවල ස්වභාවය නිසා මේ සිද්ධිය ඉස්මතු වුණා. මේ මුදල් ගැනීම තුළ ප්‍රධාන වශයෙන් තියෙන්නේ දේශපාලනය. අපි සිවිල් සංවිධානයක් ගොඩනඟාගෙන මෙහෙම මුදල් ඉල්ලුවා කියලා ලැබෙන්නෙ නෑ. ඒකට දේශපාලන පසුබිමක් තියෙන්න ඕන. අනෙක් කාරණය ඒ ආයතනවලින් මුදල් ලබාගත්තට, ලබාදුන්න අරමුණටම යොමු කළා ද කියන ප්‍රශ්නයත් තියෙනවා.

l මේ රටේ ග්‍රන්ථ කතුවරුන්ට තම නිර්මාණ ප්‍රකාශ කරගන්න බැරිව ඉන්නවා. සමහර පාසල් දරුවන් අඩුපාඩු රැසකට මුහුණ පාලා ඉන්නවා. මුදල් දුන්න ආයතනවලට ප්‍රශ්න විසඳන්න මැදිහත් වුණා නම් වැදගත් නේද?

ඇත්ත ප්‍රශ්නය මේක තමයි. ඔය මුදල් දීපු ආයතනවල පාලකයෝ මේ ගැන හිතනවා ද කියන එක ගැටලු සහගතයි. දීපු මුදල් දේශපාලන පසුබිමක් තියෙන පුද්ගලයන්ට දුන්නැයි කියලා රටේ ජනතාවට ලැබුණ දෙයක් නෑ. මේ රටේ දුප්පත් දරුවෝ කොයි තරම් ඉන්නවද? ඇයි ඒ අයට ඔය මුදල් දෙන්න බැරි. මාධ්‍ය වාර්තා කරලා තිබුණ විදිහට දීලා තියෙන එක මාසයක මුදලක් වෙන් කළා නම් දුප්පත් ඉස්කෝලයක ළමයි හැමෝටම මොනවා හරි දෙන්න තිබුණා. අපේ රටේ නිර්මාණ කරන පිරිස කොයි තරම් අසරණ වෙලා ඉන්නවාද? ඒ අය කවුද කියලා හොයලා බලලා ඇයි මේ සල්ලි නොදෙන්නෙ. ඒ නිසා මේ වෙන දේවල් අනුමත කරන්න බෑ.

l මෙවැනි ක්‍රියාවලින් පෙනෙන්නේ ජනතාවට සේවය කරන්න දේශපාලකයන් හෝ සිවිල් සංවිධානවලට ඇත්ත වුවමනාවක් නැති බව නේද?

පසුගිය කාලේ ප්‍රාදේශීය සභා කල් ඉකුත්වෙලා තිබියදී, රාජ්‍ය නිලධාරීන් පාලනය කළා. ඒ කොතැනකවත් වංචා දූෂණ වාර්තා වුණේ නෑ. අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඒ වගේ. අනාගතයේ දවසක ජනතාවගෙන් බලපෑමක් එන්න පුළුවන්, මේ දේශපාලනකයෝ නැතිව රට පාලනය කරන්න කියලා. මේ වෙනකොට සියලුම මන්ත්‍රීවරු අක්‍රීය වෙලා තිබියදී රට ඉස්සරහට යනවා. ජනතාවගෙ පැත්තෙන් හැමදාම දූෂණයට එරෙහිව ඡන්ද භාවිතා කරලා තියෙනවා. ඊට එහා ගිහින් ජනතාවට මේ පාලනය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න නම්, දේශපාලනික වෙනසක් ඕන.

දුමින්ද අලුත්ගෙදර


ජනතා විශ්වාසය බිඳීම අපරාධයක්

රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති,කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමින්ද එගොඩවත්ත

l සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින ඇතැම් පිරිස් පසුගිය වකවානුවේ රාජ්‍ය ආයතනවලින් දීමනා ආදිය ලබා ගැනීම ගැන විවිධ මතවාද නැඟෙමින් පවතිනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

රාජ්‍ය සේවාවේ නියැලෙන්නන් විදිහට සම්පූර්ණයෙන්ම අපිව නඩත්තු වන්නේ මහජන බදු මුදලින්. සිවිල් සමාජය තුළ සිවිල් ක්‍රියාකාරීන් ලෙස හදුන්වා ගන්නා අය බොහෝ දෙනෙක් එක් අතකින් රාජ්‍ය සේවාව තුළ මෙලෙස බදු මුදල්වලින් යැපෙන අය. මුලින්ම ඒ ලබන වැටුප වෙනුවෙන් අපි ජනතාවට සාධාරණයක් ඉටුකළ යුතුයි. ඒ සාධාරණය ඉටු නොකර කවුරුන් හෝ වෙනත් ක්‍රම ඔස්සේ වක්‍රාකාරව ජනතා මුදල් වංචනිකව ලබා ගන්නවා නම් ඒක බරපතළ ඛේදවාචකයක්.

රටෙහි රාජ්‍ය ආයතන සියල්ල මේ රටේ මහජන සම්පත් මිස කාගේ හෝ පෞද්ගලික දේපළ නොවෙයි. දේශපාලනඥයන් හෝ ඔවුන් වෙනුවෙන් සෘජුව, සැඟවී හෝ වක්‍රාකාරව පෙනී සිටින සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් හෝ වෙනත් අය හෝ මේ මහජන දේපළ අවභාවිතයේ යොදවනවා නම් හෝ වංචනිකව සූරාකන්නේ නම් එය කිසිසේත්ම රටකට ගැලපෙන තත්ත්වයක් නොවේ.

2012 විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ අරගලය සිදු වූ මොහොතේ ඒ වෙනුවෙන් පෙනී සිටි ඇතැම් පිරිස් වෙත මේ චෝදනාව අද එල්ල වී තියෙනවා. ඔවුන් එදා පෙන්වූ දර්ශනය හා පසුකාලීන ක්‍රියාකාරිත්වය පිළිබඳ බරපතළ අර්බුදයක් පැන නැගී තියෙනවා. ඔවුන් පිළිබඳ අපටද ඇත්තේ ගැටුමකට වඩා බරපතළ කළකිරීමක්. අප සියලු දෙනා රට වෙනුවෙන් කළ අරගල, ඔවුන් තමන්ගේ පෞද්ගලික වැඩපිළිවෙළ සඳහා යොදා ගෙන තියෙනවා.

එදා අපි සටන් කළේ දේශපාලන මත වාදයක් දිනවීමට හෝ ඒ වෙනුවෙන් නොවේ. නමුත් අද අපට පෙනී යන්නේ ඇතැම් කණ්ඩායමක් එදා ක්‍රියාකර ඇත්තේ පොදු අරගලයක් පොදු මතයක් වෙනුවෙන් නොවන බවයි. එය අපි සියලු දෙනා හෙළා දැකිය යුතු තත්ත්වයක්. රට යළි ගොඩනගන්න උගතුන්ට, බුද්ධිමතුන්ට, වෘත්තිකයන්ට, සිවිල් ක්‍රියාකාරීන්ට ජනතාව දොරගුලු විවර කරපු අවස්ථාවක ඔවුන් ජනතාව නොමග යවා, ජනතා දේපළ වංචා කරන්නේ නම් ජනතාව යළි යළිත් ඒ දොරගුලු විවර කරයිද කියන එක සැකයි. මොකද අද සමාජය එදා සමාජයට වඩා වෙනස්.

පුරවැසියන් අද මෙවැනි වංචාවලට යළි යළිත් සමාව නොදෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ නිසා සමාජය අප දෙස බලන්නේ වපර ඇසින්. මේ පිරිස් පිළිබඳ අද වන විට ජනතා විශ්වාසය මුළුමනින්ම බිද වැටී අවසන්. බිඳවැටුණු ජනතා විශ්වාසය යළි ගොඩනැගීම ඔවුන්ට අපහසුයි.

l මැතිවරණවලදී මේ පිරිස් පෙනී සිටින්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. එවැනි පිරිස් අතින්ම මෙවැනි දේ සිදුවන විට මේ පාලන ක්‍රමය තුළ ජනතාවට උදා වෙන තත්ත්වය කුමක්ද?

මැතිවරණයක් කියන්නේ තමන්ට නිධන් පහළ වෙනවා වැනි තත්ත්වයක්. මැතිවරණයකදී මේ අයට දේශපාලන පාර්ශ්වයන්හි ඉල්ලුම ඉහළ තත්ත්වයක තිබෙන බව ඒ අය දන්නවා. කුමන දේශපාලනික පසුබිමක් යටතේ වුවත් මෙවැනි පිරිස් බිහි වන්නේ නම් එය දරුණු ඛේදවාචකයක්. සමාජ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින කවුරුන් හෝ පොදු අරගල පසෙක ලා දේශපාලන පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට පෙළගැසෙන්නේ නම් එය රටකට කිසිසේත් ගැලපෙන්නේ නෑ.

විවිධ සමාජ අරගලවලදී සමාජ සාධාරණත්වය, යුක්තිගරුක බව, සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙන බවට වෙස් මුහුණුවලින් සමාජය ඉදිරියේ පෙනී සිටීම අපරාධයක්. ඒ විදියට සමස්ත සමාජයම නොමග යවා පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කරන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් කුමක් සිදු කළත් ඉන් බරපතළ ඛේදවාචකයකට පත්වන්නේ රටටයි. ඒ බව මෙම පිරිස් අවබෝධ කර ගන්න ඕනේ. ඔවුන් ඒවා තේරුම් නොගැනීම තවත් ප්‍රශ්න රැසක ආරම්භයට හේතුවක්.

එදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ඔස්සේ ඉස්මතු වුණු ඇතැම් පිරිස් අද සටන අතහැර බොහෝ දෙනෙකු හුදකලා කර තමන්ගේ අරමුණු දිනාගෙන සිටින බව පෙනී යනවා. ඒ තත්ත්වය කිසිසේත් අනුමත කරන්න බෑ.

l වෘත්තීය තත්ත්වයන්ට ඇති පොදු සමාජ පිළිගැනීම මෙම පිරිස් සිය පෞද්ගලික අරමුණු දිනාගැනීමට යොදාගෙන තිබෙන බවට ඇතමුන් චෝදනා නගනවා නේද?

මේ සමාජ පිළිගැනීම පෞද්ගලිකව එකිනෙකාට ඇතිවෙන්නා වූ පිළිගැනීමකට වඩා ඒ ඒ ක්ෂේත්‍රවලට වෘත්තියට තිබෙන පිළිගැනීමක් බව හැමදෙනාම මතක තබා ගන්න ඕනේ. ජනතාව පුද්ගලයන් ඉස්මතු කරන්නේ බොහෝ විට වෘත්තීමයභාවය හාඒ ඒ ක්ෂේත්‍රයන් මූලික කරගෙනයි. මේ සඳහා ඇති ජනතා විශ්වාසය ඉතා ප්‍රබලයි.

එක් අතකින් මාධ්‍යයද මීට වගකිව යුතුයි. මෙවැනි චරිත බොහෝවිට නිර්මාණය කරන්නේ එමෙන්ම ඉස්මතු කරන්නේ ජන මාධ්‍යයයි. ඇතැම්විට ඔවුන්ට අධිවේගී මාර්ග හදන්නේත් ජනමාධ්‍යයයි. උගත් බුද්ධිමත් පිරිස් මේ කරන ක්‍රියා මුළු රටේම පැවැත්මට බලපාන බව අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. පොදුවේ අපට තිබෙන සමාජ පිළිගැනීම පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට යොදා ගැනීම වරදක්.

l සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට තිබුණු සමාජ පිළිගැනීමට මේ තත්ත්වය බලපාන්නේ කෙසේද?

ඒ ගැන ආයේ තර්කයක් නෑ. මෑතකාලීන දේශපාලනය මෙන්ම දේශපාලනඥයා පිළිබඳ තිබූ කලකිරීම නිසා සමාජ ක්‍රියාකාරීන්ගේ මත හා අදහස්වලට ජනතාව බොහෝ විට සවන් දුන්නා. එම ක්‍රියාකාරීන්ගේ මතවලට ජනතාව බොහෝ විට ගරු කළා. නමුත් මේ ඇති වුණා යැයි කියන සිද්ධීන් සමඟ ජනතාව අද විශාල ලෙස කලකිරිලා. දැන් ඉතිං අප විශ්වාසය තබන්නේ කා ගැනද කියලයි ජනතාව අපෙන් ප්‍රශ්න කරන්නේ.

ඉන්දික පොල්කොටුව


චෝදනා අසාධාරණයි

රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආචාර්ය ඉන්දි අකුරුගොඩ

l සිවිල් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් මහජන මුදල් සූක්ෂම ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා. දේශපාලනඥයන් පිළිබඳ ජනතා විශ්වාසය කඩවී ඇති අවස්ථාවක, බලාපොරොත්තු තැබිය හැකි උගතුන් හා වියතුන් ද මෙලෙස කටයුතු කළහොත් රටේ ජනතාව බලාපොරොත්තු තැබිය යුත්තේ කා පිළිබඳ?

ඇතැම් ආයතවලින් අයථා අන්දමින් මුදල් ගත් බවට දඹර අමිල හාමුදුරුවන්, මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට මමත් ඇතුළු අපි හැමෝම කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. රට අරාජික වෙලා තියෙන මේ අවස්ථාවේ සිවිල් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී වශයෙන් විවිධ කටයුතුවලට අපි යොමුවෙලයි ඉන්නෙ. ඒ අතරෙදී දඹර අමිල හාමුදුරුවො සල්ලි ගත්තා, මහාචාර්ය සරත් විජේසූරිය සල්ලි ගත්තා කියලා චෝදනා එල්ල වෙනවා. මෙතනදි අපි හිතන්න ඕනෙ මොකද්ද මේ පසුබිම? ඇයි මේ අයට ඇඟිල්ල දිගු කරන්නෙ? ඇයි මේ අය සල්ලි ගත්තා කියන කාරණය එකවරම මතු වෙන්නෙ? හේතුව මේ දිනවල දකින්න තියෙන්නෙ සිවිල් සමාජය සහ සිවිල් සමාජයේ සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කිරීම නිසයි. රට අරාජික වෙලා. ජනතා පරමාධිපත්‍ය බලය පිළිගන්නෙ නෑ. ප්‍රතිපත්ති විරහිත තත්ත්වයක් ඇති වෙලා. අපි මේ තත්ත්වයට විරුද්ධව, නැවත ජනතා පරමාධිපත්‍ය ස්ථාපිත කිරීම වෙනුවෙන් හඬ නඟන අය. හිටිගමන් මේ සටනේ සාමාජිකයින්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් දඹර අමිල හාමුදුරුවො පිළිතුරක් දුන්නා. මහාචාර්ය සරත් විජේසූරිය පිළිතුරක් දුන්නා. නමුත් ඒවට රාජ්‍ය මාධ්‍ය තුළ විශාල ඉඩක් ලැබුණෙ නෑ. දඹර අමිල හාමුදුරුවො කියා සිටියෙ උන්වහන්සේගේ සමාජ වැඩ කටයුතු සඳහා ලිට්‍රෝ ගෑස් ආයතනයෙන් යම්කිසි අනුග්‍රහකත්වයක් ඉල්ලුවා කියලයි. මහාචාර්ය සරත් විජේසූරිය කිව්වෙ පොත් එළිදැක්වීමේ වැඩසටහනක් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් යම්කිසි අනුග්‍රාහකත්වයක් ලබාගත් බවයි. අදාළ ආයතනය කැමැත්ත පළකරනවා නම් නීත්‍යනුකූලව අනුග්‍රහයක් ලබාගන්න ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. ඒකෙ වරදක් නෑ. සමාජ, ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අපි ඉල්ලුම් කළාම ආයතනය එකඟ නම් තමයි නිල වශයෙන් අනුග්‍රාහකත්වය ලබා දෙන්නෙ. ඇයි ඒක හොරකමක්, වංචාවක් විදිහට පෙන්නලා මේ විදිහෙ ප්‍රචාරයක් දෙන්නෙ කියන එක ගැටලුවක්. නමුත් මේ නීත්‍යනුකූල කාරණා. යම් තැනක වැරැද්දක් තියෙනවා නම් ඒ මුදල් ගත්ත අයට නඩු පවරන්න පුළුවන්. ඒ අය මුහුණ දෙන්න සූදානම්.

l ඔබ මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්ද?

අපි 2015 ජනවාරි 08 වෙනිදා ප්‍රතික්ෂේප කරපු, පිරිස නැවත ඉස්සරහට ඇවිල්ලා. ඒ අය දැන් 2015 වෙනස ගේන්න කටයුතු කරපු අයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් අරගෙන යනවා. අපි ඒකට විරුද්ධයි. අතිශයින් දූෂිත, විශාල වශයෙන් රාජ්‍ය මුදල් ගසා කෑ පිරිස ගැන අද කිසිම කතාවක් නෑ. ඒ අයට විරුද්ධව උසාවිවල නඩු විභාග වෙමින් තියෙන අතරෙ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ. තියෙන නඩුවලින් බේරෙන්න ආණ්ඩු බලය මංකොල්ල කන්නයි ඔවුන් උත්සාහ කළේ. දැන් ඔවුන්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න හදන අයට විවිධ චෝදනා එල්ල කරනවා. සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව ගෙනියන වැඩපිළිවෙළට මම විරුද්ධයි. මේ විදිහට මඩ ගහන්න දෙයක් නෑ. වැරැද්දක් කරලා තියෙනවා නම් නඩු දාන්න පුළුවන්. එතකොට ඇත්ත නැත්ත හෙළිවෙයි.

l ඔබ පවසන්නේ මෙය යම්කිසි සැලසුම් සහගත ක්‍රියාවක් බවද?

සමනලී ෆොන්සේකාට විරුද්ධවත් චෝදනා කළා. විචාරාත්මක බැලුවොත් කාට වුණත් පේනවා කවුද මේ ඉලක්ක වෙලා තියෙන්නෙ කියලා. පසුගිය දවස්වල වැඩිපුර ඉස්සරහට ඇවිත් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා විවේචනය කළේ මහාචාර්ය සරත් විජේසූරිය, දඹර අමිල හාමුදුරුවො, කලාකරුවන් අතරින් සමනලී ෆොන්සේකා. අද මේ අය ඉලක්ක බවට පත්වෙලා. මේ අයව නිහඬ කිරීමේ පරමාර්ථයෙන් මෙවැනි චෝදනා එල්ල කරනවා.

l ඇයි මේ මුදල් ප්‍රදානය ප්‍රසිද්ධියකින් තොරව සිදු වුණේ? සමාජ සත්කාරයක් වැනි දෙයක් නම් තවත් කිහිප දෙනෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ සිදු කළ හැකියි නේද?

ශාස්ත්‍රඥයන් විදිහට අපිට මේ වැටුපෙන් හැමදේම කරන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ගිහිල්ලා ආයතනවලින් මුදල් හිඟා කනවා කියලා. ලිට්ට්‍රො සමාගමෙන් ඇයි මේ අයට විතරක් මුදල් දුන්නෙ කියන ප්‍රශ්නෙ වැරදියි. ඒ ආයතන මේ අන්දමින් බොහෝ දෙනාට අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලයත්. පහුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයකට පවා ඔවුන් අනුග්‍රාහකත්වය ලබාදුන්නා. සාමාන්‍යයෙන් අපි යම් කාර්යයකට අනුග්‍රාහකත්වයක් අවශ්‍ය වුණාම අපේ යෝජනාවලිය, වැඩසටහන, අරමුණ සියල්ල ඇතුළත් කරලා අනුග්‍රාහකත්වයක් වෙනුවෙන් ආයතන ගණනාවකට ඉල්ලීම් ඉදිරිපත් කරනවා.

සමහර ආයතන අනුග්‍රාහකත්වය දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. සමහරු කොටසකට පමණක් අනුග්‍රහය දක්වනවා. සමහර ආයතනවලින් වැඩසටහනේ සමස්තයටම අනුග්‍රාහකත්වය දක්වනවා. ඒ දේ පදනම් වෙන්නෙ අපිට අනුග්‍රහය දක්වන්න කැමත්ත දක්වන ආයතනය මත. ආයතනයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ප්‍රචාරණයයි. ඒ නිසාම ප්‍රසිද්ධ පුද්ගලයන්ට ආයතනවලින් ඇතැම්විට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙනවා. මොකද ආයතනවල අරමුණ ප්‍රචාරණයයි.

කාංචනා සිරිවර්ධන


විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සමරකෝන්

l රටේ පුරවැසියන් වෙනුවෙන් හඬ නැඟූ සමාජ ක්‍රියාකාරිකයන් සිය සිවිල් බලය පාවිච්චි කර පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් ඇතැම් ආයතනවලින් මුදල් ලබා ගෙන ඇති බවට නැගෙන චෝදනා ගැන මොකද හිතෙන්නේ?

මෑත කාලීනව පාලන තන්ත්‍රය තුළ නිතරම කතා බහට ලක් වූ කාරණා ලෙස වංචාව සහ දූෂණය වගේම අල්ලස් සහ මුල්‍ය අක්‍රමිකතා හඳුන්වන්න පුළුවන්. වත්මන් පාලනය තුළ වගේම පසුගිය ආණ්ඩුවලත් යම් යම් පුද්ගලයන් විසින් සිදුකරන ලදැයි සැලකෙන මෙවැනි දූෂණ ක්‍රියා පිළිබඳ නිරන්තරයෙන්ම කතාබහට ලක් වුණා. බොහෝ පුද්ගලයන්ට ඉතා බරපතළ චෝදනා එල්ලවෙන ආකාරය දක්නට ලැබුණා. එවැනි අවස්ථාවල මහ ජනතාව එම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට නිරන්තරයෙන් අවධානය යොමු කළා .

l ජනතා විශ්වාසය බිඳ වැටීම නිසා ඇති වන තත්ත්වය ඔබ පැහැදිලි කරන්නේ කිනම් ආකාරයෙන්ද?

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සෑම රජයක්ම පාහේ යම් යම් කමිටු පවා පත් කළා. නමුත් ඒ කිසිවකින් කිසිඳු චෝදනාවක් සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග හෝ එම චෝදනා ඔප්පු කිරීමක් නැතහොත් නිදොස් කිරීමක් අපට දකින්න ලැබු‍ණේ නැහැ. මේක බොහොම බරපතළ කාරණාවක්. මේ හේතුව නිසා සිදුවන්නේ මුළු මහත් පාලන තන්ත්‍රය කෙරෙහිම ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම. ඒ තුළින් එහි තිබිය යුතු ගෞරවණීය බව කෙළෙසෙනවා. රටක් ලෙස අපකීර්තියට ලක් වෙනවා.

මෙතැනදී පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. මූලිකවම යම්කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් වෙත චෝදනාවක් එල්ල වීමේදී එහි පදනම පිළිබඳ විධිමත් සොයා බැලීමක් කළ යුතුයි. එකිනෙකාට මඩ ගසා ගැනීමෙන් අත්වන යහපතක් නැහැ. එවැනි චෝදනාවක් සම්බන්ධව ලැබෙන පැමිණිලි සාධාරණ සහ විද්‍යාත්මක පරීක්ෂණයකට යොමුකර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

ලෝකයේ සෑම රටකම පාහේ මෙවැනි චෝදනා අසන්න දකින්න ලැබෙනවා. ඒ අනුව ගත් විට 100% දූෂණයෙන් තොර රාජ්‍යයක් බලාපොරොත්තුවීම විහිළුවක්. නමුත් අවම වශයෙන් 90% වක් දූෂණයෙන් වංචාවෙන් තොර රටක් නිර්මාණය කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. රටේ වංචාව සහ දූෂණය පිටුදැකීම සඳහා සෑම දෙනාම වගකීමකින් සහ වගවීමකින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පාලකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් මේ පිළිබඳ වගවීම අනිවාර්යයි. ඒ වගේම නීතියේ ආධිපත්‍යය සුරකින අතර සෑම කටයුත්තක්ම පාරදෘශ්‍යභාවයකින් කළ යුතුයි. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් මීට‍ වඩා පුළුල් කළ යුතුයි.

l මෙවැනි චෝදනා සෑම කාලයකම ඇහෙන්න ලැබෙනවා. මේ තත්ත්වය නැති කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියා මාර්ග මොනවාද?

පදනම් විරහිත චෝදනා මගින් ඇතැම් විට නිවැරදි පුද්ගල චරිත ගැන පවා වැරදි අර්ථකථන සමාජය තුළ ස්ථාපිත වීම වළකන්නට බෑ. එයත් බොහොම භයානක සහ බරපතළ තත්ත්වයක්. කිසිදු පාර්ශ්වයක් විශ්වාස කළ නොහැකි සහ සියල්ලන් දෙසම එකම වැරදිකාර කෝණයකින් බැලීමට ජනතාව පෙළඹෙනවා. මේ කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කරමින් කඩිනමින් විධිමත්ව පරීක්ෂණ පවත්වා ජනතාවට සත්‍ය පහදා දීම රජය සහ නීතිය සතු යුතුකමක්.

දිල්රූ ජයසේකර


නව අදහස දක්වන්න