ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගයට | දිනමිණ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගයට

චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු යැවීමත්, කමිඳු මෙන්ඩිස්ගේ සටන්කාමී පිතිහරඹයත් හේතුවෙන් ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය කඩුලු 4කින් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාව සමග අනිද්දා (15) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය පිල ඊයේ සමත්වූයේ පාකිස්තානය කඩුලු 7කින් පරාජය කරමිනි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක සම්මු අශාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 49.1කදී ලකුණු 237කට දැවී ගිය අතර ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේ ඉනිම නිමාවීමට තවත් පන්දු 10ක් ඉතිරිව තිබියදීය.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 106ක් තුළ දවාලීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූ ආරම්භක පිතිකරු මිසානුර් රහ්මාන් මැදපෙළ පිතිකරු යසීර් අලි සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 52ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පසුපෙළ පිතිකරුවන් සමග එක්ව බංග්ලාදේශ ඉනිම ලකුණු 200න් ඔබ්බට රැගෙන යාමට සමත්විය. බංග්ලාදේශ ඉනිමට වැඩිම තර්ජනය එල්ල කළ වේගපන්දු යවන චාමික කරුණාරත්න කඩුලු 4ක් දවාලීමට සමත්වූයේ ලකුණු 31ක් පමණක් ලබාදෙමිනි.

ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට රැගෙන ගිය තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 91ක් රැස් කිරීමට සමත්විය. පන්දු 88කට මුහුණදුන් කමිඳුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.

ලකුණු 87කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක් බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසි කමිඳු අනතුරුව ශෙහාන් ජයසූරිය සමග එක්ව ලකුණු 66ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ජයසූරියගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි අසේල ගුණරත්න ලකුණු 24ක් ලබාගනිමින් 6 වැනි කඩුල්ලට කමිඳු සමග ලකුණු 64ක් එක් කළේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සී.සී.සී.පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ඕවර 44.4කදී ලකුණු 172කට දවාලූ ඉන්දියාව තරගය ජයගත්තේ ඕවර 27.3කදී කඩුලු 3ක් පමණක් වැය කරමිනි.

නව අදහස දක්වන්න