රථ ඇති ගාල් නැති කොළඹ ප්‍රශ්නය | දිනමිණ


 

රථ ඇති ගාල් නැති කොළඹ ප්‍රශ්නය

සටහන උදිත ගුණවර්ධන

සාමාන්‍යයෙන් අපි මාසෙකට දවස් තුන හතරක් කොළඹ එනවා. අපි බස් එක පාර්ක් කරන්නෙ ස්ථාන කිහිපයක. සමහර තැන්වල ගාණ වැඩියි. අපි ගාණ අඩු තැන්වලට තමයි පාර්ක් කරන්න යන්නෙ. ඒත් අද වෙද්දි අපිව ඒ තැන්වලින් එලවනවා පොලිසියේ මහත්වරු ඇවිත්. ඒ අය කියනවා අහවල් තැන පාර්ක් එකට යන්න කියල.

දිනකට කොළඹ නගරයට ඇතුළුවන රථ වාහන ප්‍රමාණය ලක්ෂ පහද ඉක්මවයි. පැලියගොඩ , පාමංකඩ වැල්ලවත්ත ඇතුළු ප්‍රධාන පිවිසුම් තුනක් ඔස්සේ කොළඹට පැමිණෙන වාහන ප්‍රමාණය සමග කොළඹ නගරය තුළ ධාවනය වන තවත් රථ වාහන විශාළ ප්‍රමාණයක් තිබේ. සාමාන්‍ය ගණන් බැලීම්වලට අනුව සතියේ දිනකදී කොළඹ නගරය තුළ ලක්ෂ අටකට වැඩි වාහන ප්‍රමාණයක් ධාවනය වේ. මෙසේ කොළඹ ධාවනය වන වාහනවල රියැදුරන් මුහුණ දෙන බලවත්ම ගැටලුව බවට අධික තදබදයයි. ඊළඟ ගැටලුව බවට පත්ව තිබෙන්නේ වාහන නැවැතීමට විධිමත් තැන් සහ විධිමත් ක්‍රමවේද නොමැති වීම යන කරුණයි. එය කෙතරම් බලවත්ද යත් ඇතැම් කුලී රථ රියැදුරන් කොළඹ සමහර පෙදෙස්වල තම ගමන්වාර ක්‍රියාත්මක කිරීමට මැළි­‍ෙව්. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නිසි රථ ගාලක් නොමැති වීමයි . එහෙත් මේ ගැටලුවට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නැත. තැන තැන රථ ගාල් ක්‍රියාත්මක වුවද එම ස්ථානවල විධිමත් ස්වභාවය ගැන රියැදුරන්ට සෑහිමකට පත්වීමට හැකියාවක් නැත. අනෙක් පසින් මෙවැනි විධිමත් නොවන රථ ගාල්වල සේවය කරන සේවකයන්ටද ඒ ගැන සෑහීමකට පත්වීමට කරුණු නැත. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ රැකියාව පිළිබඳ අස්ථාවර තත්ත්වය සහ ඒ ගැන නිසි සුරක්ෂිත භාවයක් නැති වීම යන කරුණුය.

රථ ගාල්ද ක්‍රියාත්මක වන්නේ විවිධ මට්ටමෙනි. එනම් මහනගර සභාවට අනුබද්ධ සේවක කණ්ඩායම් සහ ටෙන්ඩර් මගින් ස්ථාන ලබා ගත් සමාගම් ලෙස කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. කොළඹ නගරයේ සමාගම් කිහිපයක් ටෙන්ඩර් මගින් රථ ගාල්වල අයිතිය වාර්ෂිකව ලබා ගෙන සිටිති. මෙම සමාගම් බහුතරයක් රථ ගාල් පාලකවරු බඳවා ගන්නේ උපකොන්ත්‍රාත් ක්‍රමයටය. එහිදි සිදුවන්නේ සමාගම ස්ථානය සඳහා නියමිත මිලක් සඳහන් කර ඉන් එහි අයවන සියලු මුදල් රථවාහන පාලකවරයා වෙත ලැබීමට සැලැස්වීමයි. මෙම ක්‍රමය තුළ තරගකාරී ස්වභාවයක් සහ ඉතිරි මුදල් ලබා නොදීම ආදී කරුණු මතුවන අතර අවිනීතව හැසීරීමේ චෝදනාද සමහරුන්ට එල්ල වේ. තවත් පිරිසකට විධිමත්ව ස්ථිර පත්වීම් ලබා දී මාසික වැටුපකට සේවය ලබා ගනී. එම පිරිසට මාසයකට රුපියල් පනස් දහස ඉක්මවා යන වැටුපක් හිමිවන අතර ඔවුනට පැය දොලහක සේවා මුරයක් තිබේ. ගාලු පාරේ බම්බලපිටිය , කොල්ලුපිටිය ආශ්‍රිතව ස්වයංක්‍රීව යන්ත්‍ර මගින් මුදල් අයකර ගන්නා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ මොවුන් විසිනි.

මේ ස්ථාන ගැන පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වුවද අදවන විට එම තත්ත්වයන් නිවැරැදි කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබේ.

එවැනි ස්ථානයක සේවය කරන අංජන ජයසිංහ මහතා අප සමග කතාබහට එක් විය.

“ අද වෙද්දි අපිට පුළුවන් වෙලා තියෙනවා විධිමත්ව මේ තැන් පවත්වා ගෙන යන්න රිසිට් එකක් දීලා වැඩේ පිළිවෙළට කරන නිසා කා එක්කවත් රන්ඩු වෙන්න දෙයක් නැහැ. අපිට මුලින් විවිධ චෝදනා ආවා ඒත් ඒ වැරැදි හදා ගන්න අපිට පුළුවන් වුණා.

“මේ තැන්වල වැඩ කරද්දි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ නැද්ද.?“

අපි අංජන මහතාගෙන් විමසුවෙමු.

“නැහැ ගොඩක් අපේ සේවය තේරුම් අරන් ඉන්නේ අය. අනික අපි ඉතාමත් සාධාරණ ගාස්තුවක් අය කරන්නේ සතපහක් වැඩිපුර ගන්නේ නැහැ.මම ඉන්න තැනනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.“

රථ ගාල් පිළිබඳව අප කළ සමීක්ෂණයේදි අපට හඳුනා ගැනීමට ලැබුණු තවත් කරුණක් වූයේ රථ වාහන පලකවරුන්ට තම රාජකාරිය ඉටුකිරිමේදි විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවය. ඒ අතර බලහත්කාරී කප්පම් ගැනීම් අයථා ආකාරයේ මුදල් ලබා ගැනීම ආදී කරුණුද දැක්විය හැකිය.

ඒ ගැන අප විමසීමක් කළේ කොළඹ කොටුවේ රථ වාහන පාලකවරයකු ලෙස කටයුතු කරන ජිනසේන මුණසිංහ මහතාගෙනි.

“ කොටුවෙ වාහන හසුරුවන එක ලේසිපහසු වැඩක් නොවෙයි. ප්‍රශ්න ගොඩයි විවිධ මැර කණ්ඩායම් ඇවිත් සල්ලි ඉල්ලනවා. සමහර වෙලාවට නිලධාරි මට්ටමේ අය පවා ඇවිත් අපෙන් රුපියල් දාහ දෙදාහ ඉල්ලනවා. එහෙම වෙලාවට නොදී ඉන්නත් බෑ පැමිණිලි කරන්නත් බෑ. අපිට සමාගමෙන් ටාගට් එකක් දීලා තියෙන්නේ ඒ ටාගට් එක අනිවාර්යෙන්ම සම්පූර්ණ කරන්න ඕනැ. එහෙම වෙලාවක අපි කොහොමද තවත් කෙනෙකුට නිකරුනේ සල්ලි දෙන්නේ ඒත් කරන්න දෙයක් නැහැ අපි කප්පම දෙනවා. ගිය සතියේ දවසක මම අත පිහදාගෙන සතයක් නැතිව ගෙදර ගියා. මේ රස්සාව අද එහෙම තැනකට වැටිලා තියෙන්නේ. අපේ සහෝදර සේවකයන් වෙලාවකට රියැදුරන්ගෙන් කීයක් හරි වැඩිපුර අය කර ගන්න උත්සාහ කරන්නේ මේ තත්ත්වය නිසා වෙන්න ඇති.

මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දේවල් ගැන සොයා බලන්න කියලා.එහෙම නොවුනොත් අපිට මේ රස්සාව කර ගෙන යන්න බැරි වෙනවා සිකුරුයි.“

කොළඹ නගරයේ වාහන පාලකවරියන්ද බහුලව දැක ගත හැකිය. කාන්තාවන් ලෙස ඔවුන් ඉටුකන්නේ දුෂ්කර කාර්යයකි. එහිදී අපට හමුවූයේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල රථ වාහන හසුරුවන මානෙල් කාන්ති මහත්මියයි.

“ හොඳ මහත්වරු ගොඩක් එනව. ඒ අතර නරක අයත් එනවා ඒ අයගෙන් තමයි කරදර. දවසක් මම වාහනයක් නවත්වල ගිය මහත්තයකුගෙන් සල්ලි ඉල්ලුවාම රබර් පටියකින් ගැහුව. කවුරු හරි මේ පහර දීම වීඩියෝ කරල මුහුණු පොතට දැම්ම නිසා මට ගොඩක් ආධාර සහ සහයෝග ලැබුණ. ඒක වෙනම දෙයක් ඒත් අපි වගේ කාන්තාවන්ට හිරිහැර කරන්න තලා පෙලා දමන්න කවුරු හරි එනවා නම් ඒක පිරිමිකමටත් ලැජ්ජාවක්. මම මේ රස්සාවට කලින් මැදපෙරදිග රස්සාවක් කළා. ඒ රස්සාව කරලා ගොඩ යන්න බැරි වුණ නිසා තමයි මේ රස්සාවට ආවේ.මගේ එකම හීනය තමයි නිවෙසක් හදා ගෙන නිසංසල ජීවිතයක් ගත කිරීම. අද මට සාමාන්‍ය ආදායමක් ලැබෙනවා. වාහන නවත්වල යන මහත්වරුත් මට විවිධ උදව් කරනවා.“

අපි ඉතාමත් සාධාරණ විදිහට තමයි මුදල් අය කරන්නෙ සතයක් වැඩිපුර ගන්නෙ නැහැ අපිට කොම්පැනියෙන්ම කියලා තියෙන්නෙ සල්ලි වැඩිපුර ගන්න එපා කියල.

රථ වාහන පාලකවරු මෙන්ම කොළඹ නගරයේ රථ වාහන පදවන රියැදුරන්ටද වාහන ගාල් කිරීමේදි මෙන්ම ධාවනයේදීද ගැටලු රැසකට මුහුණ දෙති. ඒ පිළිබඳව ඔවුනට විවිධ මතවාද සහ අදහස් තිබේ.

එහිදි අපට මුලින්ම හමු වූයේ වෑන් රථ රියැදුරෙකු වන කේ ජී චින්තක මහතාය.

“ අපි උදේ පටන් ගත්තාම හවස් වෙනකම්ම ඉන්නේ මහ පාරෙ ඒත් අපිට විවිධ කරදරවලට මුහුණ දෙන්න වෙනවා.. දවසක් ගෝල්ෆේස් එක ළඟ නවත්වන් හිටියා කියල රුපියල් පනහක ටිකට් එකක් කැඩුව..ඇත්තෙන්ම වාහනය පාර්ක් කළා නොවෙයි.අනික රියැදුරු අසුනේ රියැදුරා ඉන්නවා නම් වාහනය පණ ගන්වා තියෙනවා නම් ඒක වාහනය පාර්ක් කිරීමක් වෙන්නේ කොහොමද..ඒත් අද දවල්ට විතරක් නොවෙයි රෑටත් මේ විදිහේ අකටයුතුකම් සිදු වෙනවා. ඒත් ඒ ගැන කතා කරන්න අපිට විදිහක් නැහැ. පැමිණිලි කරන්න තැනකුත් නැහැ.. මම ඉල්ලා සිටින්නේ විධිමත් විදිහට අපේ මේ ප්‍රශ්න විසඳන්න කියලා.

අපි ලොකු දුෂ්කරතාවයකට පත් වෙනවා මේ ගැටලු නිසා නගර සභාව තියෙනවා නගරයේ බලධාරීන් ඉන්නවා මේ හැම දේකින්ම තැලෙන්නෙ රියැදුරන්.“

ත්‍රිරෝද රථ රියැදුරන් වන ඩි කේ ජගත් කුමුදු සහ එම් ඒ අනුර මහත්වරුද ඔවුනට ඇති ලොකුම ගැටලුව ලෙස සදහන් කරන්නේ හයරයක් ගිය විට මගියකු ඉල්ලා සිටියද විනාඩි දහයක් පහලොවක් හෝ නවතා ගැනීමට අවස්ථාවක් නොලැබී යාමයි. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ තැන තැන රථ ගාල් තිබුණද ඒවා සීමිත වීම සහ කොටුව පිටකොටුව වැනි තදබද ප්‍රදේශවල ගාල් කිරිම් ගැටලුව උග්‍රව තිබීමයි. මේ ගැන ත්‍රිරෝද රථ රියැදුරන් දිගින් දිගටම බලධාරීන්ගේ අවධානය යොමු කළද තවමත් නිසි විසඳුමක් ලැබී නැත.

ඔවුන් සඳහන් කරන තවත් කරුණක් වන්නේ පහසු මිල ගණන් යටතේ ගාල් කළ හැකි ස්ථානයක රථයක් ගාල් කළ විට පොලිසිය පැමිණ එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස දන්වන බවයි.

ඒ තත්ත්වය ගැන විවිධ තැන්වලට තම අවනඩුව යොමු කළද කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැත.

මෙහිදි අප සමග කතාබහට එක් වූ බස් රථ රියැදුරෙකු වන මොහොමඩ් රිස්වි මහතා

“අපි කොළඹ අය නොවෙයි අද ට්‍රිප් එකකට ළමයි අරන් ආවා සාමාන්‍යයෙන් අපි මාසෙකට දවස් තුන හතරක් කොළඹ එනවා අපි සාමාන්‍ය විදිහට බස් එක පාර්ක් කරන්නෙ ස්ථාන කිහිපයක සමහර තැන්වල ගාණ වැඩියි අපි ගාණ අඩු තැන්වලට තමයි පාර්ක් කරන්න යන්නෙ ඒත් අද වෙද්දි අපිව ඒ තැන්වලින් එලවනවා පොලිසියේ මහත්වරු ඇවිත් ඒ අය කියනවා අහවල් තැන පාර්ක් එකට යන්න කියල..ඒ තැන්වල ගාස්තුව කලින් තැන්වලට වඩා දෙගුණයකට වැඩියි. ඒත් අපි පොලිසියට බයේ ඒ තැන්වලට යනවා..අපිට සැකයක් තියෙනවා මේ තැන්වලටම අපිට යන්න කියන්නෙ ඇයි කියල.

ඒ ගැනත් එක එක කටකතා තියෙනවා..අපි කියන්නෙ එක දෙයයි රියැදුරන්ට පහසු නගරයේ අයට අවහිරයක් නොවන විදිහට රථ ගාල් ඇති කරන ලෙසයි.“

කොළඹ වැනි රථ වාහන බහුලව ගැවසෙන නගරයක ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන්නේ නිසි ආකාරයේ සැලසුමකට නගරය ගොඩනැගීමයි. එමගින් නගරයේ අලංකාරය මෙන්ම නාගරිකයාගේ පහසුවද මනා ලෙස සකස් කිරිමට හැකියාව තිබේ. එවැනි විධිමත් නාගරික සැලසුමක රථ ගාල් ඇති කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතුය. එමගින් ඇති වී ඇති ගැටලු රැසක් විසඳා ගත හැකිය.

ඡායා - කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න