යන්න එන්න යාපනයේ දූපත් රවුමේ | දිනමිණ

යන්න එන්න යාපනයේ දූපත් රවුමේ

චතුර ගීතනාත් බණ්ඩාර

දූපත්වාසීන්ගේ එකම ප්‍රවාහන මාධ්‍යය දිනපතා ධාවනය වන පොදු බෝට්ටු සේවාවයි. දිනකට දෙවරක් හෝ සිව්වරක් ප්‍රධාන නගරය වෙත යන මෙම ප්‍රවාහන සේවය ඔවුන් හඳුන්වන්නේ “ෆෙරිය” ලෙසටය

හිමිදිරි පෙදෙසින් පීදෙන පෙරඹර හිරු කැබලිති කරදියවර සමඟ හාද වන මොහොතේ ඔවුහු තම දෛනික වැඩ රාජකාරි අරඹති. තල් රුප්පාවට ඉහළින් ළා හිරුකෙමි දූපත් බිම සිඹින තෙක් ඔවුන්ට ඉස්පාසුවක් නැත. සිව් දෙසින් කරදිය වළල්ලෙන් වට වූ රළු දුඹුරු පැහැ දූපත්වල ඔවුන් හුදකලාවේ සතුටින් ජීවත් වන්නේ අන් රටක වැසියන් ලෙසට ය. අද අප සොයා යන්නට සැරසෙන්නේ උතුරුකර කෙළවර දූපත්වාසී ඒ ජනතාවගේ හදගැස්මය.

රටින් ඈත්ව හුදෙකලාවේ දිවි ගෙවන මේ ශ්‍රී ලාංකිකයන් ඇතැම්විට රටෙහි සිදුවන සංසිද්ධි පවා දන්නේ නැත. ඒ තරමට ම ඔවුන්ගේ ජීවිතය හුදෙකලා වී ඇති බවකි. ලංකාව වටා පිහිටි දූපත්වල සැළකිය යුතු ජනතාවක් ජීවත් වුවද වගකිවයුතු කිසිවකු ඔවුන් ගැන සැළකිල්ලක් නොදැක්වූ බවක් ඒ ජීවිත වලින් ව්‍යංගයෙන් පැවසේ.

මෙම දූපත්වාසීන්ගේ ජීවිතය ගෙවී යන්නේ දෛනික කාලසටහනකට අනුවය. මූද මධ්‍යයේ ඇති කුඩා බිම් ප්‍රමාණය නිසා සැමට ම පෙර ඉර එළියේ පහස විඳින මොවුහු තම තමන්ගේ දෛනික රාජකාරි සඳහා උදෑසනම පිටත්ව යන්නෝ දූපතේ සතර කෙළවර බලාය. උදෑසන සිට සන්ධ්‍යාව තෙක් වෙහෙසෙන ඔවුන් නැවත නිවසට පැමිණෙන්නේ පඬු පැහැ හිරු සිඳු දිය අතරේ දියවන්නට ආසන්නයේය. ඔවුන් ගේ ජීවිතය කේන්ද්‍රගතව ඇත්තේ ඒ දූපත තුළය. උපයන මුදල් දූපත තුළ සංසරණය වන අතර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ඔවුන් යාපනයට යන්නේ විදෙස් රටකට පිටව යන ආකාරයෙන් ය.

මෙම දූපත්වාසීන්ගේ එකම ප්‍රවාහන මාධ්‍යය දිනපතා ධාවනය වන පොදු බෝට්ටු සේවාවයි. දිනකට දෙවරක් හෝ සිව්වරක් ප්‍රධාන නගරය වෙත යන මෙම ප්‍රවාහන සේවය ඔවුන් හඳුන්වන්නේ “ෆෙරිය” ලෙසටය. පැය ගණනාවක් ගෙවා පොදු මුහුදු යාත්‍රාවේ ප්‍රධාන නගර කරා පැමිණෙන ඔවුන් නැවත ගම රට බලා යන්නේ අත්‍යවශ්‍ය සියලු අංගයන් ද පොදි බැඳ ගනිමිනි. මෝටර් සයිකල්, ආහාර , ත්‍රීරෝද රථ, සිමෙන්ති, වැලි, උළු ගඩොල් මෙකී නොකී සියලු ලටපට දූපතට ගෙන එන්නේ මේ මුහුදු යාත්‍රාවේ ආධාරයෙන්ය. මුහුදු යාත්‍රාවට අනපේක්ෂිත උපද්‍රවයක් සිදුවුවහොත් එදින දූපතේ සියලු කටයුතු ද අසාර්ථක වනු නියතය. මේ කොදෙව් වැසියන්ගේ ඇදහිලි සහ විශ්වාස ද විවිධය. බහුතරය හින්දු භක්තිකයන් වන අතර ඇතමුන් රෝමානු කතෝලිකයන්ය. අදහන දහම අනුව ජීවිතය ගෙවන මෙම දූපත් වැසියෝ නිරතුරුවම සහෝදරත්වය සෙනෙහස බෙදාහරිමින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවීමට වෙහෙසෙති. දූපත තුළ රැකියාවන් අවම වුවද, මහ මුහුදෙන් ලැබෙන අස්වැන්නෙන් ඔවුන් තම පවුලෙහි සියලු අවශ්‍යතා ඉටුකර ගනිති.

දූපතෙන් පිටව ගිය පිරිස ලෝකය සමග ගනු දෙනු කරමින් රටතොට දන්නා උගත් පුද්ගලයින් යැයි ඔවුන් විශ්වාස කරති.මෙම දූපත තුළ අධ්‍යාපනය ලබමින් වියතුන් වන පිරිසක් ද සිටිති. ඉගෙනීමට උනන්දුවක් සහ දක්ෂතාවයක් දක්වන දූපත් දරුවන් ලැබෙන පහසුකම් උපරිමව උපයෝගී කොට ගනිමින් අධ්‍යාපනයේ නිරත වන්නේ නව ලොව කරා යාමේ සුබදායී සිහිනය සිතෙහි රඳවා ගනිමිනි.

උතුරුකරය වටා පෙළ ගැසී ඇති දූපත් අතර විශාලතම දූපත ලෙස සැළකෙන “කයිට්ස්” වර්ග කිලෝමීටර් 65 ක් තම වපසරිය පතුරන්නේය. 20000 කට ආසන්න ජනතාවක් දිවිගෙවන කයිට්ස් යාපනයේ සිට කිලෝ මීටර් 7 ක දුරින් පිහිටා ඇත. ධීවර කර්මාන්තයට අමතරව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාවයක් දරන එහි වැසියන් කුරිකඩ්ඩුවාන් ජැටියෙන් යාපනයට පැමිණෙන්නේ අතවශ්‍යතාවයක් සඳහා පමණි. උපන්දා සිට එක් වතාවක් වත් යාපනය නගරයට නොපැමිණි තලතුනා පුද්ගලයන් අදට ද කයිට්ස් දූපතේ දුලබ නැත.

වර්ග කිලෝමීටර් 47 ක භූමි භාගයක් පැතිරුණු “ඩෙල්ෆ්” කා අතරත් ජනප්‍රිය දූපතකි. 5000කට අධික ජනතාවක් ජිවත් වන එහි ලන්දේසි ගෘහ නිර්මාණ හා නටඹුන් සංචාරයන් අතර ඩෙල්ෆ් ප්‍රචලිත කිරීමට සමත්වී තිබේ. අනිකුත් දූපත් වලට සාපේක්ෂව ඩෙල්ෆ් සශ්‍රීක හරිත කොදෙව්වකි. යාපනය සහ කරෙයිනගර් සමග නිරතුරුව සෘජු මානව සබඳතා පවත්වන ඩෙල්ෆ් වැසියෝ ආර්ථික අතින් තරමක් ශක්තිමත් භාවයක් උසුලති.ඩෙල්ෆ් දූපතෙහි කාන්තාවෝ බොහෝ විට රැකියාවන් හි නොයෙදෙති. ඔවුන්ට පැවරෙන්නේ දුවා දරුවන් සමග සුරක්ෂිතව නිදහසේ කාලය ගත කිරීමයි. ඩෙල්ෆ් දූපතෙහි ලියලන ගල ඔවුන්ගේ ප්‍රමුඛ ඇදහීමක් මෙන්ම විශ්වාසයක් වී ඇති අතර පාපැදිය දෛනික ප්‍රවාහනයේ ප්‍රධානතම අංගය බවට පත්ව තිබේ.නිතර බාහිර සමාජය සමඟ ගැටෙන ඩෙල්ෆ් වැසියන් සංචාරක කර්මාන්ත සඳහාද මේවනවිට යොමුව සිටිති.ඩෙල්ෆ් දූපතේ ඇති ආදම් අඩිය,ශිලාමය පරෙවි කුලුන ,හිරිගල් නිර්මාණ ,දැවැන්ත බැබෝ ගස සහ කැලෑ අශ්වයන් නැරඹීමට දිනපතා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සමඟ ඔවුහු සුහදවෙති. ඩෙල්ෆ් වැසියන් අතළොස්සක් සිංහල බස මනාව හසුරුවන්නට රුසියන්‍ ය.අවට ලෝකය ගැන අප සමඟ අදහස් බෙදාගන්නා අතර ඔවුන් කුඩා කොදෙව් ලෝකය ගැන අපට කියන්නේ රස කරමිනි.

යාපනය වටා ඇති දූපත් අතර පුන්කුඩුතිව්, කරෙයිතිව්, මණ්ඩතිව්, එළුවයිතිව් සහ අනලතිව් ජනාවාස අතර මූලික ස්ථානයක් හිමිකර ගනී. මේ අතර ලංකාවේ සිට නාවුක සැතපුම් 45ක් දුරින් පිහිටා ඇති කච්චතිව් ජනශූන්‍ය දූපතකි. නමුත් සෑම වසරක ම මාර්තු මාසයේ අවසාන ඉරිදාවේ දී මෙම දූපත කතෝලික බැතිමතුන්ගෙන් පිරී යන්නේ ලෝ ප්‍රකට ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය පැවැත්වෙන බැවිනි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිට ද ධීවර යාත්‍රා මගින් පැමිණෙන කිතුනු බැතිමතුන් දස දහසකට අධික පිරිසක් වසරකට මෙම දේව මෙහෙය සඳහා සහභාගී වෙති. ජලයට අධිපති ශාන්ත අන්තෝනි ශාන්තුවරයා වාර්ෂිකව පිදීම, තමා ගතකරන ධීවර ජීවන වෘත්තියට සුබ ඵල ගෙනදෙන්නක් බව ඔවුහු විශ්වාස කරති.

මෙම ගමනේදී අපට ගොඩවිය හැකි අනලතිව් නිස්කලංක කුඩා කොදෙව්වකි.මධ්‍යම පාන්තික ආර්ථික රටාවකට හිමිකම් කියන අනලතිව් වැසියන් අනිකුත් දූපත් වැසියනට වඩා අධ්‍යාපනය පිළිබඳ විශේෂ විමසුමකින් පසුවන බව ඔවුන්ගේ තොරතුර කියාපායි.පුස්තකාලය තුළ නිතර ගැවසෙන අනලතිව් වැසියන් දැනුම එක් කරගැනීමට වෙහෙසෙන අනාගතය සොයන පිරිසක් බව ඔබටද මේ ගමනේදී දැනෙනු නියතය. උතුරේ දූපත් අතර ප්‍රකටම දූපත නයනතිව් හෙවත් නාගදීපයයි.බෞද්ධ ආගමික වශයෙන් මෙන්ම හින්දු ආගමික වශයෙන්ද වැදගත්වන නාගදීපයට යාමට ඕනෑතරම් ප්‍රවාහන පහසුකම් ඇත.නාගදීපයේ බෞද්ධ සිද්ධස්ථාන මෙනම නාගාපුශානි අම්මාන් කෝවිල දැක බලා ගැනීමටද ඔබට වරම් හිමිවනු ඇත.

ඉන්දියන් සයුරේ තැන තැන උස්ව නැගෙමින් අපේ රටෙහි තිත් වන්ව දිස්වන මෙම දූපත් වැසියන්ගේ ජීවන රිද්මය අපූරු ගීතයක් වැනිය. ඔවුන් අවට ලෝකය ගැන ඕනෑවට වඩා සොයන්නේ නැත. ඔවුන්ට දැන කියාගන්නට ඇත්තේ සතරවට පෙනෙන්නට තිබෙන වෙරළතත් ඊට පරිභාහිරින් පැමිණෙන පුද්ගලයන් ගැනත් පමණය. නමුත් උතුරුකරයේ කුඩා දූපත් ගැනත් ඔවුන්ගේ සංවේදී ජීවන රිද්ම ගැනත් අධ්‍යයනය කරන ගවේශකයන් මතක තබාගත යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාව ද දූපතක් බව ය.

මෙම දූපත් නැරඹීමට සහ ඒ පිළිබඳ අධ්‍යනය කිරීමට යාමට කාගෙන්වත් තහනමක් නැත.බොහෝදෙනකු යාපනය දූපත් නැරඹීමට යාමට කැමැත්තක් දැක්වුවද සමාජයේ පැතිරෙන වැරැදි මතවාද එම ගමන් වලක්වා තිබේ.මෙම දූපත් නැරඹීමට යාමට ඔබ බොහෝ ඉවසිලිමත් සංවේදී මෙන්ම ගවේෂණශීලි විය යුතුය.

ඕනෑම දිනක යාපනය කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මෙම දූපත් වෙත ෆෙරි පිටත්වෙයි.නිශ්චිත වේලාව මෙය යැයි කිවනොහැකි වුවද එම ෆෙරියක නැඟ මේ දූපත් නැරඹීමට,ඒ අසිරිමත් නිස්කලංක ජනජීවිතයට එබී බැලීමට ඔබට භාධාවක් නැත.එහෙත් මේ ගමන අවම පහසුකම් සහිත නිසාය.ඔබට ඕනෑ වේලාවට බෝට්ටුව පැමිණෙන්නේ නැත.එය ඔබට ඕනෑ වේලාවට පිටත් වන්නේද නැත.ඒවා ඉවසා විඳදරා සුන්දරත්වය විඳිය හැකිනම් මේ ගමන අරඹන්න.

ඡායාරූප සුසන්ත විජේගුණසේකර
මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න