සම උපකාර මොන්ටිසෝරිය | දිනමිණ

සම උපකාර මොන්ටිසෝරිය

මේ දුවා දරුවන් සඳහා සමුපකාර සමිතියෙන් නොමිලේ ලබාදෙන වරප්‍රසාද අතර පෙර පාසල් නිල ඇඳුම, පොත් බෑගය, පොත් පත් මෙන්ම ඇතුළුවීමේ ගාස්තුව සහ මාසික ගාස්තුව ප්‍රධානය. මෙය ලංකාවේ කිසිදු පෙර පාසලක දරුවන් වෙනුවෙන් ඉටු නොකෙරෙන සේවාවකි. එපමණක් නොව පෙර පාසල් ගුරුවරියන් දෙදෙනාට මාසික ගෙවීම සිදු කරන්නේද සමුපකාර සමිතියෙනි.

දරුවකු අධ්‍යාපනය ලැබීම ආරම්භ කරන්නේ මවුකුස තුළදීමය. සති කිහිපයක් වැඩුණු ළදරු කලලයකට ඇසීම සහ පෙනීම තුළින් යම් යම් දේ උකහාගත හැකි බව වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කර ගෙන තිබේ. එලෙස අධ්‍යාපනය ලැබීම අරඹන දරුවා ඉපදී වයස අවුරුදු තුන පිරෙන විට ඔහුගේ මොළයෙහි වැඩීම 80%කින් සම්පූර්ණ වී තිබේ. හැදෙන වැඩෙන පරිසරයට අනුව චර්යාත්මක සහ භාෂාමය දැනුම දියුණු කර ගන්නා දරුවන් සමාජානුයෝජනය කිරීම එකවර සිදුකළ හැකි කාරණාවක් නොවේ. ළමා වියේ ඇතිවන බලපෑම් සහ අත්දැකීම් මත අනාගතයේ පදනම සකස්වන බැවින් ඒ සුහුඹුල් අවදිය ඉතා කල්පනාකාරීව සංවර්ධනය කළ යුතුය. දරුවකු ළදරු පාසල් අධ්‍යාපනය වෙත යොමු කළ යුත්තේ එබැවිනි.

දරුවන් මූලික අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳව විධිමත් පර්යේෂණ රාශියකින් අනතුරුව ඉතාලි ජාතික මාරියා මොන්ටිසෝරි මැතිනිය විසින් හඳුන්වා දුන් මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය විය. 1907 වසරේ ඉතා දිළිඳු දරුවන් පනස් දෙනකුගෙන් ඉතාලියේ දී ලොව පළමු මොන්ටිසෝරිය ආරම්භ වූ අතර 1911 වන විට එය ඇමරිකාව වෙතටද සංක්‍රමණය වී තිබිණි.

1944 වසරේ ලංකාවට පැමිණි මාරියා මොන්ටිසෝරි මැතිනිය රාජ්‍ය අනුග්‍රහය යටතේ ලංකාවේ ගුරුවර ගුරුවරියන්ට ළදරු අධ්‍යාපනය පිළිබඳ දේශන මාලාවක් ද පැවැත්වුවාය. ලංකාවේ මොන්ටිසෝරි අධ්‍යාපනයේ මූලික අඩිතාලම සැකසුණේ එලෙසිනි. මොන්ටිසෝරි මැතිනිය එලෙස ලංකාවට දායාද කරන ලද මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමවේදය ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ ගෞරවය හිමි වන්නේ යහපත් එඬේරාගේ කන්‍යා සොයුරියන්ටය. එවක් පටන් දශක හතක් පුරා විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ඉදිරියට පැමිණ ඇති මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් අවසානය.

නිසි පුහුණුවක් ලැබූ දැනුවත් ගුරුවරියන් යටතේ පූර්ව ළමාවිය සංවර්ධනය කර ගන්නා දරුවන් විධිමත් පාසලට හුරු කිරීම අසීරු කටයුත්තක් නොවේ. හෙට දිනය වඩාත් යහපත් කරන්නට අද දවසේ සූදානම් කරන දරුවන් වෙනුවෙන් යමක් කිරීම තරම් වටිනා ආයොජනයක් නොමැත. මේ එම සංකල්පය යථාර්ථවාදී කරමින් ක්‍රියාත්මකවන දූරදර්ෂී ආයතනයක් පිළිබඳව තබන සටහනකි මේ.

අපි පුත්තලම ශ්‍රී විසුද්ධාරාම විහාරයට ගියේ රටේ අනාගතය භාර ගැනීමට ගොහොරු මඩේ පිපි ඉහළට ඇදෙමින් සිටින අනාගත දරු දැරියන් පිරිසකගේ අනාගත සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ මඟ සලකුණු ඔස්සේය.

සමුකාර විවිධ සේවා සමිතිය ජනතාවට වඩාත්ම සමීප බැංකුවකි. ප්‍රදේශයේ දිළිඳු දරුදැරියන්ගේ අධ්‍යාපනයට පිළිසරණක් වීමට මෙම බැංකුවේ කාර්ය මණ්ඩලය ගන්නා උත්සාහය වචනෙවලින් කියා නිමකළ නොහැකි අමිල සේවයක් බව කිවහොත් නිවැරදිය.

විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් මේ වන විට ප්‍රදේශයේ දිළිඳු පවුල්වල දුවා දරුවන්ට සියලු පහසුකම් නොමිලේ සපයමින් මේ වසරේ ජනවාරි 25 වන දින සමුපකාර ශ්‍රී රාහුල පෙර පාසල ළමයින් පස් දෙනකුගෙන් ආරම්භ කෙරිණි.

පසුකාලීනව ළමුන් 20ක් දක්වා එය ශීඝ්‍රයෙන් වර්ධනය විය. එහිදී ළමයින්ගේ අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් අත්වීම මෙන්ම ඔවුන්ගේ සුවිශේෂී කුසලතා ඔප්නැංවීමටද පෙර පාසලේ සංවර්ධනය පිටුවහලක් විණි. අද වන විට ළමයින් 40ක් මේ පුංචි විදුපියසේ ඉගෙනීම් කටයුතුවල නිරත වෙති.

ප්‍රධාන පෙර පාසල් පාලිකාව සහ සහාය පාලිකාවගේ ගුත්තිල ගතිපැවතුම් වඩ වඩාත් ඉස්මතු කරමින් ළමයින්ගේ ළමා මනස අධ්‍යාපනයට පමණක් නොව සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දියුණු කිරීමට ද ගන්නා උත්සාහය අගය කළ යුතුය. විටෙක මවක්, තවත් විටෙක පියෙක්, තවත් විටෙක මිතුරියක් සේ ළමුන්ට ළෙන්ගතුකම් පාමින් මෙකී ගුරු මවුවරු දරුවන්ට අකුරු කියා දෙති.

මේ දුවා දරුවන් සඳහා සමුපකාර සමිතියෙන් නොමිලේ ලබාදෙන වරප්‍රසාද අතර පෙර පාසල් නිල ඇඳුම, පොත් බෑගය, පොත් පත් මෙන්ම ඇතුළුවීමේ ගාස්තුව සහ මාසික ගාස්තුව ප්‍රධානය. මෙය ලංකාවේ කිසිදු පෙර පාසලක දරුවන් වෙනුවෙන් ඉටු නොකෙරෙන සේවාවකි.

එපමණක් නොව පෙර පාසල් ගුරුවරියන් දෙදෙනාට මාසික ගෙවීම සිදු කරන්නේද සමුපකාර සමිතියෙනි.

ජාති, කුල මල, ආගම්, භේද පසෙක තබා සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාති තුනම නියෝජනය කරන හයක් හතරක් නොතේරෙන මේ දරු දැරියන් එකම වහලක් යට එක මවකගේ දරුවන් ලෙස අධ්‍යාපනය හැදෑරීම තුළින් මේ පුංචි මල් කැකුළු ද සමාජයට ආදර්ශයක් ලබා දෙයි.

ඒ තුළින් බලාපොරොත්තු වන්නේද රටේ සමගිය සහජීවනය යන සංකල්පය කුඩා කල සිටම දරුවන් තුළ වර්ධනය කරමින් එකමුතුකම නැමති ගුණාංගය ප්‍රගුණ කිරීමටය.

වෙනත් පෙර පාසල් හා සැසඳීමේදී මෙම පෙර පාසල තවත් සුවිශේෂී වන්නේ වයඹ පළාතේ හොඳම පෙර පාසල තේරීමේ තරගයෙන් ලකුණු 293ක් ලබා ගනිමින් ඒ ශ්‍රේණියේ පෙර පාසල් සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබීමයි.

එමෙන්ම වල් වැදෙමින් තිබූ සමුකාර සමිතිය වත්මන් සභාපති එල්.එස්. චින්තක මහතාගේ නව සංකල්පයක් අනුව සමුපකාර සමිති ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයකට ගෙනැවිත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ඇප කැප වෙමින් කටයුතු කරන ආයතනයක් බවට පත්කිරීම අගය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පුත්තලම විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එල්.එස්.චින්තක මහතා - "මනුස්සයො කියන්නෙ මනසින් උසස් පුද්ගලයින්ට. ඒත් මනසින් උසස් අය අද අමනුෂ්‍යයො වෙලා. සමහරු තනතරු තානාන්තර ලබා ගන්නේ බලය, ධනය කියන දේ මුදුන්පත් කරගෙන. තව සමහරු තනතුරු මුදලට ගන්න උත්සාහ කරනවා. හැබැයි ඔය පුද්ගලයින් පසුකාලීනව කරන්නේ තමන්ගේ දරුපවුල වැජඹවන එක මිසක් අසරණ ජනතාවට සේවයක් කරන එක නෙමෙයි. මම සභාපති තනතුර බාර ගත්තු ගමන්ම කළ පළමු කාරණය ජනතාවට සුහදශීලි කඩිනම් සේවාවක් ස්ථාපිත කරපු එක. ඒ තුළින් මම බලාපොරොත්තු වෙන්නෙ වචනයට පමණක් විවිධ සේවා සමුපකාර සමිතිය නොවී අප ආයතනයෙන් පුද්ගලයකුට ලැබිය යුතු සියලුම වරප්‍රසාද ලබා දීමයි.

ජනතාවට අපි විවිධ සේවා සපයන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි. ජනතාව අපි ගැන ලොකු බලාපොරොත්තුවක් කියලා තියෙනවා. මගේ දැනුමේ හැටියට සමුකාරයෙන් බඩු දීලා බැංකුවෙන් ණය දුන්නා කියලා ජනතාවට අංගසම්පූර්ණ සේවාවක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා තමයි අපි මේ වගේ විවිධ වැඩසටහන් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරන්නෙ. මම හිතනවා මේ පෙර පාසලේ ආරම්භය තුළින් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා කියලා. ඒ තුළින් ජනතාවගේ ජීවන බර සැහැල්ලුවෙනවා. ජනතාව ණය බරෙන් නිදහස් වෙනවා. මොකද අද කාලේ පෙර පාසලක් කියන්නෙ අ.පො.ස. උසස් පෙළටවත් නැති දේවල් ඉල්ලන තැනක් බවට පත්වෙලා තියෙන ස්ථානයක්. අන්න ඒ තත්ත්වය අපි සමාජයෙන් තුරන් කිරීමට තමයි මේ සියල්ල ළමයින් වෙනුවෙන් ලබා දෙන්නෙ."

සීමාසහිත පුත්තලම විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරි ජයමාන්න වනිගසූරිය මහතා - "අපේ සමුපකාර ප්‍රතිපත්ති මාලාවේ ප්‍රතිපත්තියක් තියෙනවා ප්‍රජා සංවර්ධනය කියලා. අපේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂක මණ්ඩලය මේ ප්‍රජා සංවර්ධනය යටතේ ප්‍රජාව වෙනුවෙන් සමුපකාරය විසින් කළ යුතු කාර්යයක් හඳුනාගෙන මේ පෙර පාසල ආරම්භ කරන්න මූලික වශයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම මේ පෙර පාසල ආරම්භ කරන්න අපට නිශ්චිත භූමියක් තිබුණෙ නැහැ. පසුව අපිට පුත්තලම ශ්‍රී විසුද්ධාරම පුරාණ විහාරයේ විහාරාධිපති බලගොල්ලාගම පඤ්ඥාසාර අපේ ස්වාමින් වහන්සේ මේ ස්ථානය ලබා දුන්නා. සමුපකාරයෙන් මේ දරුවන් රැක බලාගෙන සමාජයට හොඳ පරපුරක් සමාජගත කිරීමේ අරමුණින් තමයි මේ පෙර පාසලට අපි දායකත්වය ලබා දීලා තියෙන්නෙ. සියලුම වියදම් සමුපුකාර සමිතිය මඟින් දරන්නෙ. ආර්ථික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය වගේම ප්‍රජා සංවර්ධනය කෙරෙහිත් අප විසින් විය යුතු යුතුකම සහ වගකීම අපි මැනවින් ඉටුකරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පුත්තලම බල ප්‍රදේශයේ පමණක් නෙමෙයි. ඉදිරියේදී වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙත් මේ වගේ පෙර පාසලක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා."

පෙර පාසල් ප්‍රධාන පාලිකා නිලංකා ඩිල්රුක්ෂි ඩැනියල් මහත්මිය -

"ඇත්තටම අපේ ළමා පරපුරට විශාල උපකාරයක් මේ සමුපකාරය මඟින් සිදු කරන්නෙ. ළමයින්ට ඇතුළත් වීමේ ගාස්තුව, මාසික ගාස්තුව, පාසල් නිල ඇඳුම, පොත් බෑගය ඇතුළු සියලුම දේවල් සමුපකාරයේ ප්‍රජා සත්කාරයක් විදියට නොමිලේ සපයන්නෙ. මේ නිසා මවුපියන්ට දරුවන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න විශාල අත්වැලක් සපයනවා. මම සමුපකාරයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට දායක වීම පිළිබඳව."

කේ.ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ


නව අදහස දක්වන්න