රට හැරවුම් ලක්ෂයක | දිනමිණ

රට හැරවුම් ලක්ෂයක

රට තුළ සිදුවීමට ගිය බලවත් විනාශයක් වළක්වා ගැනීමට අපට හැකියාව ලැබී තිබේ, එය රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස ද භාග්‍යයක් ලෙස ද අර්ථ ගැන්විය හැකි ය. එලෙසම මේ සංසිද්ධිය අපේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ද සටහන් වනු ඇත. රටේ දේශපාලන නායකයන්ට හා දේශපාලන පක්ෂවලට අලුත් වටයකින් යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වී ඇත. නව චින්තනයකින් යුතුව දේශපාලනයෙහි නිරතවීමටත් සිදු වී ඇත. පරණ කෝන්තර, පෞද්ගලික න්‍යාය පත්‍ර යන කිසිවක් දේශපාලනයට වැදගත් නොවන බව මේ අත්දැකීම අපට පසක් කරයි. වැදගත් වන්නේ රට හා රටේ අනාගතය බව අප වටහාගත යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා අගැමති පදවියෙන් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීම නොවන්නට රටේ විධායකයට නඩු තීන්දුවට අනුව තීරණ ගැනීමේ හැකියාව ද අභියෝගයට ලක්වීමට ඉඩ තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා මෙහිලා පෙන්වාදී ඇත්තේ දේශපාලන අර්බුදය නිමා කිරීම සඳහාත්; ජනාධිපතිවරයාගේ ඉදිරි පාලන කටයුතු පහසු කිරීම සඳහාත්; ඉල්ලා අස්වීම සිදුකරන බව ය.

මේ අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණය බවට පත්ව තිබුණේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පැවැති ගැටුම යැයි කිව හැකි ය. එය සරල ලෙස විග්‍රහ කළහොත් විධායකයේ තීරණ පාර්ලිමේන්තුව පිළිගත්තේ නැත. පාර්ලිමේන්තුවේ තීරණ විධායකය පිළිගත්තේ නැත. අවසන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවූයේ එම ගැටුමේ ප්‍රතිඵලය යි. ජනාධිපතිවරයා මුල සිටම කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුව; එය පිළිගන්නා බව හා ඒ අනුව කටයුතු කරන බව ය. තීන්දුවෙන් පසු එය එලෙසම සිදු වී ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ සිය පදවියේ දිව්රුම් දී ඇත. ඉතා වැදගත් දේශපාලන ආදර්ශයක් මෙයින් පෙන්නුම් කරයි.

‍ලෝක‍ය නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ බලවත් රටවල පවා දේශපාලන අර්බුද උත්සන්න වෙමින් පවතින බව ය. ඇතැම් අර්බුද මහජන අරගල දක්වා වර්ධනය වී ඇත. අපේ අර්බුදය වර්ධනය වූයේ සති කිහිපයක් තුළ ය. දැන් එහි නිමාව සටහන් වී ඇත. ප්‍රංශයේ මහජන අරගල තවම අවසන් වී නැත. එරට ජනාධිපතිවරයා පියවර කිහිපයක් පසුපසට ගෙන අලුත් තීරණ ක්‍රියාත්මක කරන්නට පොරොන්දු වී ඇති නමුදු අරගලය දිගට ම පවතී. පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් චාජ් උපයෝගී කරගනිමින් කැරලිකරුවන් මර්දනයට කටයුතු කළ ද අරගලය නිමාවන බවක් දකින්නට නැත. අපේ රටේ ජනතාව පාරට බහින්නට පෙර ගැටලුව නිරාකරණය වීම අතිශයින්ම වැදගත් ය.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති පදවියට පත්වන්නේ පස්වන වතාවට බව සඳහන් ය. ඒ අනුව අගමැති පදවිය පිළිබඳ දේශපාලන වාර්තාවක් වික්‍රමසිංහ මහතාට තිබේ. කැබිනට් මණ්ඩලය හෙට පත් කිරීමට නියමිත බව ද සඳහන් වේ. පදවිය භාර ගැනීමෙන් පසු ජාතිය අමතා කෙටි ප්‍රකාශයක් සිදුකළ වික්‍රමසිංහ මහතා මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස අර්ථගන්වා තිබේ. එලෙස ම ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම සඳහා කැප වූ සියලු දෙනාට ද අගමැතිවරයා සිය කෘතඥතාව පළ කළේය. එම කෘතඥතාව ජනාධිපතිවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාටද හිමි ය. නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නො‍ෙකාට හිතුවක්කාර හා ඒකාධිපති තීන්දු ගත්තේ නම්; ගැටුම නිරාකරණය වන්නේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අලුත් ආණ්ඩුවක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ ආණ්ඩුව ඉදිරියේ අභියෝග ගණනාවක් ඇති බව සැලැකිල්ලට ගත යුතු ය. පළමුවන්න රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකය සමඟ සාමූහිකව ක්‍රියා කිරීමට අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පියවර ගත යුතු ය. දෙවන්න ජනතාවගේ හඬට කන් දී තීන්දු - තීරණ ගත යුතු ය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන ලෙස ජනතාවගෙන් වියෝවන ආණ්ඩු අර්බුදකාරී ය. මේ සිද්ධිදාමයෙන් ද ඒ බව සනාථ වෙයි. තෙවන්න රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා වහා පියවර ගත යුතු ය. ගෙවී ගිය සති කිහිපය තුළ ජාතික ආර්ථිකයේ පසුබෑම් ගණනාවක් සිදුවී ඇති බවද සිහිපත් කළ යුතු ය.

ගිය ආණ්ඩුව දෙස ආපසු හැරී බැලුවහොත් හොඳ දේවල් සේම නරක දේවල් ද ඒ තුළ තිබේ. ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගත් ඇතැම් වැදගත් තීන්දු - තීරණ නිසි අයුරින් ජන සමාජය දැනගත්තේ නැත. එය ආණ්ඩුවේ සන්නිවේදන ජාලයේ වරදක් ලෙස පෙන්වාදිය හැකිය. සරල නිදසුනක් ගතහොත් ධීවරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක ජීවිත රක්ෂණයක් ලබාදීමට ආණ්ඩුව පියවර ගතතේ ය. එහෙත් ධීවර ප්‍රජාවගෙන් බහුතරය ඒ පිළිබඳ කරුණු හරිහැටි දන්නේ නැත.

ආණ්ඩුකරණය තුළ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා රැසක් දකින්නට ලැබිණි. සියලු අමාත්‍යාංශ අතර පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. සාමූහිකත්වය ගිලිහී ගොස් තිබිණි. මුදල් අමාත්‍යාංශය තෙල්වලට බදු වැඩි කරන විට ඛනිජ තෙල් පිළිබඳ අමාත්‍යාංශය එය දැනගෙන සිටියේ නැත. රජයේ ඇතැම් වැදගත් තීරණ ජනාධිපතිවරයා දන්නේ නැත. සන්නිවේදනයේ දුර්වලතාවක්, සාකච්ඡාවල අඩුවක් ඉන් පෙනීයයි. ඒ හැරෙන්නට ආණ්ඩුවේ තීන්දු - තීරණ හා ඒවායෙහි වැදගත්කම පැහැදිලි කරන වැඩසටහන් තිබුණේම නැති තරම් ය. මැති - ඇමැතිවරුන් දේශපාලන වාග් සංග්‍රාමයක යෙදී සිටින බව පමණක් ජනමාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

අප මුලින් ද සඳහන් කළ පරිදි දැන් බිහි වී ඇත්තේ පරණ අත්දැකීම් හා පාඩම් සහිත අලුත් ආණ්ඩුවකි. මේ ආණ්ඩුව හමුවේ අභියෝග ගණනාවක් ඇත. දේශපාලන, ආර්ථික, සමාජයීය වශයෙන් ඒවා වර්ගීකරණය කළ හැකි ය. ඒ හැරෙන්නට ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගයක් ද අලුත් ආණ්ඩුවට තිබේ. ශ්‍රී ලංකාව තුළ දේශපාලන අර්බුද නැති බවද, පැවති අර්බුදය ප්‍රජාතන්ත්‍රීය ලෙස විසඳාගෙන ඇති බවද ජාත්‍යන්තරයට සනාථ කළ යුතුව තිබේ. ණය, ආධාර, ආයෝජන යන සියල්ල යථා තත්ත්වයට පත් කළ හැකි මාර්ගය එය යි. අපි අලුත් ආණ්ඩුවට සුබ පතමු. ආණ්ඩුවේ නායකයන් ජනතාවාදී ලෙස ක්‍රියා කළ යුතු බව ද මතක් කරමු.

 

නව අදහස දක්වන්න