ටොම් ලේතම් සහ විලියම්සන් නවසීලන්තය ඉහළට ඔසවති | දිනමිණ

ටොම් ලේතම් සහ විලියම්සන් නවසීලන්තය ඉහළට ඔසවති

ටොම් ලේතම්ගේ සහ නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ට පිතිහරඹය මත ඉනිම ගොඩනැගූ නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 2කට ලකුණු 311ක් ලබා ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වනවිට ප්‍රබල තත්ත්වයක පසුවූ අතර ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ලකුණු 29ක් ඉදිරියෙන් පසුවිය.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 59දී බිඳ දමමින් ජීට් රේවල් ලකුණු 43කට දවාලීමට ළහිරු කුමාර සමත්වූවත් අනතුරුව නායක කේන් විලියම්සන් සහ ටොම් ලේතම් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 162ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. සිය ශතකයට ලකුණු 9ක් අඩුවී සිටි විලියම්සන් දවාලීමට ධනංජය ද සිල්වා සමත්විය. විලියම්සන්ගේ දැවීයාමෙන් පසුව සිය ටෙස්ට් තරග දිවියේ 7 වැනි ශතකය වාර්තා කළ ලේතම් දිනය නිමාවනවිට නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 121කි. ඔහුට අනගි සහයක් ලබාදුන් රොස් ටේලර් නොදැවී ලකුණු 50ක් ලබා සිටී. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 90කි.

වේගපන්දු යවන්නන්ට වාසිදායක බේසිං රිසව් කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිල පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට පිරිනැමීමෙන් පසුව ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් නවසීලන්තයේ වේගපන්දු යවන්නන් හමුවේ අසරණ තත්ත්වයට ඇද වැටුණේය. සුපිරි පන්දු යැවීමක නිරතවූ ටිම් සවුති කඩුලු ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282කට සීමා කළේ 6ක් දවාලමිනි.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3ම ලකුණු 9ක් ඇතුළත බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග එක්ව ඉනිම පිළිසකර කළේ සිවුවැනි කඩුල්ලට ලකුණු 133ක අනගි සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

දිමුත් කරුණාරත්න සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දැවී ගියේ ටිම් සවුති යැවූ ඉනිමේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවෙනි. අනතුරුව ධනංජය ද සිල්වාට සහ කුසල් මෙන්ඩිස්ට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට ඉඩනොදුන් සවුති ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ දිමුත්ගේ සහ මැතිව්ස්ගේ සම්බන්ධතාව බිඳ දැමුවේ මුලු ලකුණු සංඛ්‍යාව 142ක්ව තිබියදීය.

හතරේ පහර 11ක් සමග ලකුණු 79ක් රැස් කරමින් දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් තරග දිවියේ 21 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් දවාලමින් පස්වැනි කඩුල්ලත් අත්කර ගැනීමට සවුති සමත්විය.

මිනිත්තු 239ක් කඩුල්ලේ රැඳී සිටි මැතිව්ස් පන්දු 153කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 83කි. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 33 වැනි අර්ධ ශතකය විය.

ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 187දී මැතිව්ස් 6 වැනි කඩුල්ල ලෙස දැවීයාමෙන් පසුව හුදෙකලා සටනක නිරතවූ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ඇදගෙන ගියේ පන්දු 101කට මුහුණ දී හතරේ පහර 11ක් ද එල්ල කරමිනි.

අද තරගයේ තුන්වැනි දිනයයි.

 

නව අදහස දක්වන්න