ලූෂන්ට තායිලන්තයේදී රන් පදක්කමක් | දිනමිණ

ලූෂන්ට තායිලන්තයේදී රන් පදක්කමක්

ප්‍රින්ස් ගුණසේකර

ලෝක කායවර්ධන ශූරතාවලිය නමින් තායිලන්තයේ සංවිධාන කොට තිබූ තරගාවලියෙන් රන් පදක්කම දිනා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වෙයි. රටවල් ගණනාවක ක්‍රීඩකයන් අතුරින් අවසන් වටයට ක්‍රීඩකයන් 5ක් තෝරා ගත් අතර එහිදී ලූෂන් පුෂ්පරාජ් පළමු ස්තානයට පත් විය.

මෙහි අවසන් වටයට ලූෂන් පුෂ්පරාජ් සමග ඉන්දියාවේ හිබ්ජූර් රහ්මාන්, හංගේරියාවේ ජෝර්ජ් සිකෝ, ඉරානයේ මෙයිසන් මිමාජෆාර්බේඩී, ඉරාකයේ මොහොමඩ් අබ්බාස් යන ක්‍රීඩකයෝ තරග කළහ.

මෙයට පෙර ලූෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියාවේ වියානා නුවර ලුග්නා සිටි මධ්‍යස්ථානයේ පැවැති 9වැනි ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රිදී පදක්කම දිනාගත් අතර එහිදී රන් පදක්කම ඔස්ට්‍රියානු ජාතික ස්ටෙෆාන් වොටෝවාට හිමි විය. ශ්‍රී ලංකා කායවර්ධන ශූරයෙකු යුරෝපීය රටකදී දිනාගත් පළමු කායවර්ධන පදක්කම ලෙස එය සටහන් විය.

මෙයට පෙර ඔහු ආසියා කායවර්ධන ශූරතාව ද දිනා ගැනීමට සමත් විය. ලූෂන් පුෂ්පරාජ් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය සමග මතභේද රැසකට මුහුණදුන් ක්‍රීඩකයෙකි. මේ සියලු තරගවලට ඔහු සහභාගී වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සම්බන්ධතාවකින් තොරවීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ඔහු රැගෙන එන පදක්කම් හා සම්මාන පිළි නොගන්නා බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කොට තිබිණි.

 

නව අදහස දක්වන්න