අගමැති රනිල් දේශපාලනය බෞද්ධකම පටලවා ගන්නේ නෑ | දිනමිණ

අගමැති රනිල් දේශපාලනය බෞද්ධකම පටලවා ගන්නේ නෑ

මහා සංඝරත්නය පවසති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය හා බෞද්ධකම පටලවා නොගෙන ක්‍රියා කරන නායකයකු බව මහා සංඝරත්නය ප්‍රකාශ කරති.

පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඉවසීමේ ගුණය රටම දුටු බව ද මහා සංඝරත්නය පැවැසූහ.

මහා සංඝරත්නය එසේ ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16) පස්වරුවේ කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ පැවැත්වූ සෙත් පැතීමේ වැඩ සටහනකට සහභාගි වූ අවස්ථාවේදීය.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ. විහාරස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිස දර්ශණීය පෙරහරකින් මහා සංඝරත්නය පෙරටුව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වෙත ගමන් කළ අතර බෝධීන් වහන්සේ අභියස බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ බෝධීන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වූහ.

අනතුරුව නව අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සෙත් පැතූහ. මෙහි දී අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිස මහා සංඝරත්නයට පිරිකර පූජා කළහ. මෙම අවස්ථාව සඳහා වාළුකාරාමාධිපති මහරගම නන්ද නාහිමි, බෝපිටියේ ධම්මිස්සර නාහිමි, තිනියාවල පාලිත නාහිමි ඇතුළු නායක ස්වාමින් වහන්සේලා සහ මහා සංඝරත්නය සහභාගි වූහ.

අනතුරුව විහාරස්ථාන භූමියේ පිහිටි විෂ්ණු, කතරගම, ඝණදෙවි දේවාලයන්ගෙන් ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි ජනතාව සමඟ කතා බහකද නිරත විය.

උපාලි කරුණාරත්න
ඡායාරූප- මාලන් කරුණාරත්න

*****************

ලේක්හවුස් සේවකයෝ ප්‍රීතිය සමරති

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයේ දිවුුරුම්දීමේ ප්‍රීතිය ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සාමාජිකයින් සැමැරූ අයුරු.

PDF File: 

නව අදහස දක්වන්න