රටේ සාමාන්‍ය තත්ත්වය ඇතිකර සංවර්ධනය යළි ලබා දෙනවා | දිනමිණ

රටේ සාමාන්‍ය තත්ත්වය ඇතිකර සංවර්ධනය යළි ලබා දෙනවා

ශිරෝමි අබයසිංහ

අගමැති කියයි

රටේ සාමාන්‍ය තත්ත්වය යළි ඇතිකර සංවර්ධනය යළි ලබා‍ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අභිනව අගමැතිවරයා ලෙස ඊයේ (16) දිව්රුම් දීමෙන් පසු ඒ මහතාට සුබ පැතීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ සිටි දහස් ගණනක් අමතමිනි.

එහිදී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

දැන් මම අගමැති ධුරයේ වැඩ භාර ගන්නවා.ඊළඟට කළ යුත්තේ ඇමැති මණ්ඩලය පත් කිරීමයි. පසුගිය සති කිහිපය තුළ රට අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑවා.අප විසින් රට තුළ ඇති කරමින් පැවති සංවර්ධන කටයුතු ඇණ හිටියා.පළමුවෙන්ම රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කර සංවර්ධනය යළි ලබා දෙනවා. පසුගිය අවුරුදු තුනෙහි අපේ භාරකත්ව යටතේ තිබු රටේ ආර්ථික සමාජ තත්ත්වය යළි ගොඩ නැගීමට උත්සාහ කරමින් සිටි අවස්ථාවේ දී මේ ගැටලුව ඇති වුණා.මේ වනටිව රට තුළ යළි ස්ථාවරත්වයක් ගොඩ නැගෙමින් පවතිනවා.එනිසා මම මීට වඩා ඉහළ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් රට තුළ ඇති කිරීමට පොරොන්දු වනවා.

මේ රටේ පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය නිත්‍යනුකූලව ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ අප ආඩම්බර විය යුතුය. පාර්ලිමේන්තුව තුළ ගත යුතු තීරණ ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කළ උත්සාහ කළ ප්‍රජාතන්ත්‍රවාදීගෙන් කථානායක කරු ජයසූරිය මහතා රට බේරා ගත්තා.ඒ වගේම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර එම අර්ථ නිරූපනය තුළින් රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස තහවුරු වුණා.රටේ ජනතාවට අවශ්‍ය සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දීම අපේ අරමුණයි.මෙතැනට පැමිණ සහ රට පුරා සිට ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩ නැගීමට කටයුතු කළ කැප වූ සියලු දෙනා හට මා මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න