නත්තල් උදාවේ වැදගත්කම ජනපති පහදයි | දිනමිණ

නත්තල් උදාවේ වැදගත්කම ජනපති පහදයි

සියලූ දෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. 
 
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ (16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවති 2018 රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.
 
2018 රාජ්‍ය නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ සංවිධාන කර තිබුණි. 
 
කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිස්තුන් වහන්සේගේ උතුම් පණිවිඩය ලොවට ගෙන යන නත්තල සැමරීම වෙනුවෙන් කිතුනු බැතිමතුන් පමණක් නොව ලොව පුරා සියලූ ජනතාව ගෞරවයෙන් ඒකරාශී වන බවයි.
 
අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රි ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුලු පියතුමන්ලා සහ උතුරැ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රෙද්ශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිළධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න