KIU සරසවියේ හෙද උපාධි ප්‍රදානෝත්සවය 20දා | දිනමිණ

KIU සරසවියේ හෙද උපාධි ප්‍රදානෝත්සවය 20දා

KIU සරසවියේ ප්‍රථම හෙද උපාධි ප්‍රදානෝත්සවය මේ මස 20 වැනිදා අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එහි දී සිසු සිසුවියන් පනස් දෙදෙනකුට උපාධි සහතික පිරිනැමීමට නියමිතය. 2015 දී KIU සරසවිය ඇරැඹුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසිනි.

KIU සරසවිය සෞඛ්‍ය විද්‍යා, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ හා පරිගණක විද්‍යා, ජන මාධ්‍ය හා භාෂා (ශාස්ත්‍ර) යන පීඨවලින් සමන්විතය. ප්‍රධාන විධායක අධ්‍යක්ෂ හා සභාපති ලෙස ආචාර්ය ජගත් සෙනවිරත්න මහතාද, උපකුලපති ලෙස මහාචාර්ය නෙලුකා ප්‍රනාන්දු මහත්මියද කටයුතු කරති.

සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමට අද්වීතිය මෙහෙයක් ඉටු කරන සෞඛ්‍ය විද්‍යා පීඨය මගින් විද්‍යාවේදී හෙද ගෞරව උපාධිය, විද්‍යාවේදී ජෛව වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය, චීන කටු චික්ත්සාව පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය, KAATSU පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය සහ මනෝ විද්‍යාව පිළිබද විශේෂ උපාධිය යන උපාධිද, කළමනාකරණ පීඨය මගින් මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය සහ අලෙවිකරණය යන උපාධිද පිරිනමයි.

එසේම සෞඛ්‍ය විද්‍යා පීඨය මගින් පවත්වන උපාධි පාඨමාලාවලට සමගාමීව උසස් ඩිප්ලෝමාධාරීන්, ඩිප්ලෝමාධාරීන් හා සහතික පත්‍ර ලාභීන්ද බිහි කරයි. සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන KIU සරසවිය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අද්විතීය මෙහෙයුම්කරුවකු වන්නේ KAATSU පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය පිරිනමන ලොව එකම ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය අනුමත චීන කටු චිකිත්සාව පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය පිරිනමන දකුණු ආසියාවේ එකම ආයතනය ලෙසිනි.


නව අදහස දක්වන්න