දන්තා­ලේප භාවිතයට පෙර මේ කරුණු දැන­ගන්න | දිනමිණ

දන්තා­ලේප භාවිතයට පෙර මේ කරුණු දැන­ගන්න

ලස්සන දත් දෙපලක්, රුවට ආලෝකයක්. දත් දෙපළ රැකදෙන දන්තාලේප යනු, දත් දෙපළේ පමණක් නොව, සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි.

දත් පවිත්‍ර කිරීමට, දත්වල පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිත කෙරේ. මුඛයෙන් වහනය වන දුර්ගන්ධ, ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව ඇත. එසේ ම, ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ් ආදී ක්‍රියාකාරී අමුද්‍රව්‍ය, විදුරුමස් රෝග වැළැක්වීම සඳහා උපකාරී වේ. තවද, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින්, දත් දිරායෑමට හේතු කාරක වන බැක්ටීරියා වර්ධනය වළක්වා, දත් දිරා යෑම් අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. දන්තාලේප තෝරා ගැනීමේදී, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප තෝරා ගැනීම වැදගත් ය.

දන්තාලේපයේ ගොරෝසු බව වැඩි වීමත් සමඟ, දතේ එනමලයට හානි පැමිණිය හැකි ය. එබැවින්, සුමුදු දන්තාලේපයක් භාවිත කිරීම වැදගත් ය. දන්තාලේපයක් නිෂ්පාදනය කර, කාලයක් ගතවීමත් සමඟ, එහි අඩංගු රසායන ද්‍රව්‍ය ක්ෂය වේ. ඒ නිසා, දන්තාලේප මිලදී ගැනීමේ දී, නිෂ්පාදිත කාලය පිළිබඳ අවබෝධය වැදගත් ය.

වැඩිහිටියකු නම්, දන්තාලේප ගත යුත්තේ කඩල ඇටයක ප්‍රමාණයකි. දන්තාලේප බුරුසුවට දමා ගැනීමේදී, බුරුසුවේ දිග අතට නොව, හරස් අතට දැමීමෙන් නිසි පමණට ගැනීම පහසු වේ. කුඩා දරුවකුට, වරකට මුං ඇටයක පමණ දත් බෙහෙත් ප්‍රමාණයක් ගැනීම නිර්දේශ කෙරෙන අතර, කුඩා ළමයින්ට දන්තාලේප පාවිච්චියට දිය යුත්තේ, කෙළ ගැසීමට හැකිවන වයසේදී ය.

දත් මැදීමට පෙර දත් බුරුසුව තෙමීම බොහෝ දෙනකුගේ සිරිතක් වූව ද, බුරුසුව වියළිව ඇතිවිට දත් මැදීමට ගන්නා දන්තාලේප, මුඛයේ වැඩි වේලාවක් රඳවා ගැනීමට හැකි වේ. මෙලෙස වැඩි වේලාවක් ෆ්ලෝරයිඩ් මුඛයේ තබා ගැනීමෙන්, එහි ඇති ෆ්ලෝරයිඩ් අයන, දතේ මතුපිට, ශ්ලේෂ්මල පටලය ආදී ස්ථානවල වැඩිපුර වේලාවක් රඳවා ගැනීමෙන්, ෆ්ලෝරයිඩ්හි ක්‍රියාකාරීත්වය වැඩි වේලාවක් මුඛයේ පවත්වාගත හැකි ය.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න