මෙතැන් සිට ඉදිරියට | දිනමිණ

මෙතැන් සිට ඉදිරියට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර

මෙරට ඇතිව තිබූ අර්බුදකාරී දේශපාලන වාතාරවණය අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ යම් ප්‍රමාණයකින් සමතයකට පත්ව තිබේ. සති කිහිපයක් පුරා පැවැති මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට අස්ථාවරත්වය කරා ගමන් කරමින් තිබූ ගමන ඉහත හේතුව නිසා සමනය වී තිබුණත් එම කාලය තුළ රට පත්වූ තත්වයෙන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත. 2015 දී ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවූවත් ඉන් ජනතාව අපේක්ෂා කළ කරුණු ඒ ආකාරයෙන්ම ඉටු වූයේ නැත.

නිදහසින් පසු තට්ටු මාරු ක්‍රමයට බලයට පැමිණි ප්‍රධාන පක්ෂ දෙක අතර පැවැති මතවාදී වෙනස්කම් රටේ ජනතාවට හොඳින් පැහැදිලි වූයේ පක්ෂ දෙක එකට ආණ්ඩු කරන්නට පටන්ගත් විටය. ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමේදී පක්ෂ ප්‍රවර්ධනය අමතකර රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුව තිබුණත් ජාතික ආණ්ඩුව තුළ එක්සත් ජාතිත පක්ෂය මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයද කටයුතු කළේ තම තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් වීම පැවැති ප්‍රධාන දුර්වලතාවයි.

පක්ෂ දෙකේ නායකයින් මෙන්ම මහජන නියෝජිතයින් ද රටේ ජනතාවට පක්ෂ දේශපාලනය අනුව සේවය කිරීමට උනන්දු වීම හේතුවෙන් ජාතික ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමැතිවරු එකිනෙකා විවේචනය කර ගැනීම එම ආණ්ඩුවට එරෙහි බලවේග ශක්තිමත් කිරීමක් විය.මේ නිසාම විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙසින් ක්‍රියාත්මකවූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ විශාල පිබිඳීමක් එම කාලය තුළ දක්නට ලැබුණි. එය වඩාත් හොඳන් ඉස්මතුව පෙනුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීය.

යහපාලන ආණ්ඩුව

ජනතාව යහ පාලන ආණ්ඩුවට බලය ලබා දුන්නේ වසර පහක කාලයක් සඳහාය.තමන්ගේ ධූර කාලය වසර පහක්ද හයක්ද යන්න සම්බන්ධව ජනපතිවරයාට ගැටලුවක් ඇතිවිණි.ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් කළ විමසීමේදී ජනපති ධූර කාලය වසර පහකට සීමා වන බව දැනුම් දෙනු ලැබීය.වත්මන් ආණ්ඩුවට ජනතාව බලය ලබාදී තිබෙන කාල සීමාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය නිසා වෙනස් විය යුතුයැයි පැවැසීම එකඟ විය හැකි තර්කයක් නොවේ.

එසේ නම් මහ ඡන්දයකට පසුව පැවැත්වෙන සෑම පළාත් පාලන මැතිවරණයක ප්‍රතිපල අනුව මහ මැතිවරණ පැවැත් වීමට සිදුවනු ඇත.යහ පාලන ආණ්ඩුව ජනතාව අපේක්ෂා කළ අයුරින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වූ බව පිළිගත යුතු සත්‍යයකි.එසේ වුවත් දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් එම ආණ්ඩුව ගත් ප්‍රගතශීලී පියවර පසුගිය දිනවල රටේ පැවැති අර්බුදකාරී වාතාරවණයත් සමඟ වඩා ඉස්මතුව පෙනුණි.විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වී ඇති බවත් ජනපතිවරයාගේ බලතල සැලකිය යුතු අයුරින් කප්පාදුවී ඇති බවත් රටේ සමාන්‍ය ජනතාව වඩා හොඳින් තේරුම් ගනු ලැබුවේ මෙම අධිකරණ තීන්දු සමඟිනි.

විධායක ජනපතිවරයා ගනුලැබූ තීන්දුවක් අධිකරණය මගින් ආපසු හරවනු ඇතැයි බොහෝ පිරිසක් අපේක්ෂා නොකළ නමුත් අවසානයේ සිදුවූයේ එවැනි දෙයකි. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනපතිවරයාට ජේ.ආර් ජයවර්ධන හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළ පරිදි කළ නොහැකි වූයේ ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත් පමණි. වත්මන් ජනපති ධූරය එතරම් බලසම්පන්න නොවන බව දැන් තහවුරුව තිබේ.ඊට පාර කපා ඇත්තේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය විසිනි.

විධායකය,ව්‍යවස්ථායකය හා අධිකරිණය අතර ගැටුමක් ඇත්නම් එවැනි රටකට ඉදිරි ගමනක් නැත. මෙම බලකණු තුන ශක්තිමත්ව රටේ හා ජනතාවගේ යහපත පිණිස එකිනෙක සමඟ බැඳෙමින් කටයුතු කරන්නේ නම් යහපත් ප්‍රතිපල රටට අත්වනු ඇත.එහෙත් පසුගිය කාලය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබිණ.

 පැවැති දේශපාලනික අර්බුදය යම් ප්‍රමාණයකට විසඳුනත් ඉදිරි කාලය තුළ තවත් අර්බුද මතු නොවේ යැයි කීමට නොහැකිය. දැන් ගින්න මතුපිටින් නිවී ඇතත් අළු යට ගිනි තිබෙන බව අමතක නොකළ යුතුය. විධායක ජනපති හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර මෙතෙක් පැවති විරසකය නැවත වරක් ඉස්මතු වුවහොත් අප නොහිතන ආකාරයේ නව අර්බුද රටේ නිර්මාණය වීමේ ප්‍රවනතාවක් ඇති වීමට ඉඩ තිබෙන බව අප අමතක නොකළ යුතුය.

පවතින පසුබිම තුළ දෙපාර්ශ්වය සුහඳශීලී ගමනක් යනු ඇතිද යන සැකය ජනතාවට තිබේ. ඒ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් රට වර්තමාන තත්ත්වයෙන් මුදවා ගැනීමට වඩා ඉදිරි මැතිවරණ පිළිබඳ සිතා කටයුතු කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන නිසාය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එකතු වීම නිසා ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කරනු ඇති වීමද වත්මන් ආණ්ඩුවට ඇති අභියෝගයකි.මෙම අවස්ථාවේ ආණ්ඩුව ගන්නා යහපත් ක්‍රියාමාර්ග වලට පවා එකඟ නොවී සියල්ල අවුල් කිරීමේ අරමුණින් කටයුතු නොකිරීම විපක්ෂයේ වගකීමකි.

පාර්ලිමේන්තුව තුළ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙන බවත් රට දෙකඩ කිරීම සඳහා පසුබිම සකස් කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි රටට අයහපත් කරුණු රැසක් එහි ඇති බවත් මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරන පිරිස් පවසති.මේවාගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ එජාපය රටට විශ්වාස කළ හැකි ආකාරයේ ප්‍රකාශයක් කළ යුතුය.

මෙම කතා යුද මානසිකත්වයක් යළි රට තුළ නිර්මාණය කිරීම සඳහා ගොතන ඒවාද නැතහොත් මේ ආකාර ගිවිසුමක් ඇත්තෙන්ම පවතින්නේද යන්න දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබිය යුතුය.ජනතා පරමාධිපත්‍යය යන වචනය දේශපාලනඥයින් බොහෝ විට යොදා ගන්නේ තමන්ගේ වාසිය සඳහාය.

රටේ සැබෑ පරාමාධිපත්‍ය බලය හිමි ජනතාවට දේශපාලන පක්ෂ බලය සඳහා වෙනත් පක්ෂ සමඟ එළඹෙන්නාවූ ගිවිසුම් පිළිබඳ දැන ගැනීමේ අයිතියක් තිබේ.අනෙක් පසින් දෙමළ ජනතාව අපේ රටේම ජන කොටසක් බව අපි අමතක නොකළ යුතුය.ප්‍රධාන පක්ෂ දෙක බලය සඳහා ඇතිකර ගන්නා අර්බුදවලදී ඔවුන් සුළු ජාතිකයින් නියෝජනය කරන පක්ෂ අර්බුදය සමනය කිරීමට මෙන්ම අර්බුදය තිව්ර කිරීමට පාවිච්චි කරන බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.

පවතින දේශපාලන අර්බුදය දෙමළ ජාතික සංවිධානය මගින් ඇතිකළ එකක් නොවන බව අපි සිහි තබා ගත යුතුව ඇත. අර්බුදය නිර්මාණය වූ පසු ඔවුන් තමන්ට වාසි සහගත දේශපාලන තීන්දු වලට යොමු විය හැකිය. එම තීන්දු විවේචනය කිරීමට ප්‍රථම අදාළ අර්බුදය නිර්මාණය නොකර සිටීම වැදගත් බව ප්‍රධාන පක්ෂ වල නායකයින් තේරුම් ගැනීම වාඩා යහපත්ය.

දෙමළ සන්ධානය

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාවලිය විවේචනයට ලක් කිරීම උත්සන්න වෙත්ම ජන්‍යන්තර වශයෙන් ඒ කෙරෙහි වන මැදිහත් වීමද ඉහළ යන්නේය. උතුරේ දෙමළ නැත මේ රටේම ජනකොටසකි. ව්‍යවස්ථාව අනුව මෙරට සෑම ජන කොටසකටම සමාන අයිතිවාසිකම් තිබේ. ජාතීන් වශයෙන් හෝ පළාත් වශයෙන් රට බෙදා වෙන්කර පාලනය කළ නොහැකි සේම ජාතීන් වශයෙන් හා පළාත් වශයෙන් ජනතාව බෙදා වෙනස් කොට සැලකීමටද නොහැකිය.

දෙමළ සන්ධානයේ දේශපාලන භූමිකාව විවේචනය කිරීම නිසා උතුරේ දෙමළ ජනතාවට පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල භූමිකාව සම්බන්ධව සැකයක් උපදින්නේ නම් එය රටට හිතකර තත්ත්වයක් නොවේ. විශේෂයෙන් ජනපති පත් කිරීම සඳහා මෙරට සියලු ජනතාව ජාති,ආගම් හා පක්ෂ බේදයෙන් තොරව කටයුතු කර තිබෙන බව අපි තේරුම් ගත යුතුව ඇත්තෙමු.ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් දරන දේශපාලන මතවලට සමාගාමීව සුළු පක්ෂවල දේශපාලන නායකයින්ද කටයුතු කළ යුතු යැයි සිතන්නේ නම් එය මුළාවකි.

දකුණේ දේශපාලනඥයින් තම ඡන්ද පදනම රැක ගැනීම සඳහා යොදන උප්පරවැට්ටිවලට නොදෙවෙනි උප්පරවැට්ටි උතුරේ දේශපාලනඥයින්ද යොදන බව අපි තේරුම් ගත යුතුව තිබේ. දකුණේ සිංහල බෞද්ධ ජනතාව උද්දීපනය කිරීම සඳහා සිංහල දේශපාලනඥයෝ කරනු ලබන ප්‍රකාශ හා සමාන ප්‍රකාශ උතුරේ දෙමළ නායකයෝ ද ඔවුන්ගේ ජනතාව උද්දීපනය කිරීම සඳහා කරති. ප්‍රශ්නය ඇති වන්නේ එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ආණ්ඩු ඉඩ දෙන්නේද නැද්ද යන්න මතය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරන්නට හේතුවූ කරුණු කාරණා පෙන්වා දෙමින් ජනපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බරපතළ ලෙස විවේචනය කළේය. විවේචනය ඉදිරිපත් කළ ස්වරූපයේ යම් යම් ගැටලු තිබුණත් මූලධාර්මික වශයෙන් ඒ තුළ පහසුවෙන් බැහැර කළ නොහැකි සත්‍යයක් ද අන්තර්ගතව කිබුණි. මෙම කරුණු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අවබෝධ කර ගත යුතුය.

ගෞරවනීය නායකයකු ලෙස වික්‍රමසිංහ මහතාට දේශීය වශයෙන් මෙන්ම ජත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමක් ඇත. එසේ වුවත් ඔහු රට තුළ ජනප්‍රිය නායකයකු නොවේ. මොළය පෑදීම සඳහා එක් වරක් හෝ වළකට වැටිය යුතුව ඇතැයි කියමනක් තිබේ. රනිල් දැන් වළකට වැටී ඇති බැවින් ඔහුට දැන් වැරදි හදා ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. වැරදි හදා ගැනීම සියල්ලන්ටම පොදු කරුණක් බව මතක් කළ යුතුය. ඒ බව තේරුම් නොගන්නේ නම් සිදුවන්නේ රට පමණක් නොව දේශපාලන පක්ෂද වළ පල්ලට යෑමය.

සියල්ලන්ගේ වගකීම

රට දේශපාලනික වශයෙන් ආරාජිකවූ විට සියලු අංශ කඩා වැටෙන බව අපි පසුගිය දිනවල හොඳන් අත් වින්දෙමු.රාජ්‍යය අංශය මන්දගාමී වත්දී ආයෝජකයින් පමණක් නොව මෙරටට එන සංචාරකයින්ගේද විශාල කඩා වැටීමක් දක්නට ලැබිණි. ජත්‍යන්තර වශයෙන් රටට සිදුවන ඇඟිලි ගැසීම් ඉහළ ගියේය.ජී.එස්.පී ප්ලස් වැනි සහන අහිමි වන තත්ත්වයක් දක්නට ලැබිණි.

ණය ලබා දීමේදී පනවන කොන්දේසි ඉහළ ගියේය.සියලු ආණ්ඩු විසින් ගත් ණය ගෙවා දැමීමේ ප්‍රශ්න මතුවිය.ඩොලරය හමුවේ රුපියලේ අගය බාල්දු වෙත්දී ගෙවිය යුතු ණය පොළී අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගියේය.මේවා රටක් වශයෙන් අප සියලු දෙනාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නය.එක් දේශපාලන පක්ෂයකට හෝ එක් පුද්ගලයකුට පමණක් මේවා බල නොපාන බව කවුරුත් තේරුම් ගැනීම වැදගත්ය.

ප්‍රශ්නවලින් ජනතාව පීඩාවට පත්වෙත්දී කිසිදු සැළසුමක් නොමැතිව එම ප්‍රශ්නම තමන්ට බලයට ඒම පිණිස පාවිච්චි කිරීමේ ක්‍රමය දැන් හෝ නරත විය යුතුය.බොර දියේ මාලු බෑම වෙනුවට බලයේ සිටියත් නැතත් තමන්ට රට වෙනුවෙන් කළ යුතු මෙහෙවරක් තිබෙන බව සියලු දේශපාලන පක්ෂ තේරුම් ගැනීම වැදගත්ය.පක්ෂවලට පැවැත්මක් තිබෙන්නේ රටක් තිබුණ හොත් පමණි.අවාසනාවකට අපේ දේශපාලනඥයින් තේරුම් නොගන්නේද මෙයමය.

අද ආණ්ඩු බලය හොබවන පක්ෂය හෙට විපක්ෂයට යාහැකිය. විපක්ෂයේ සිටින පක්ෂයක් බලයට පැමිණීමට පුළුවන. මේ නිසා ආණ්ඩු බලයේ සිටින පක්ෂය සිදු කරන්නා වූ සියලු දේට විරුද්ධ නොවී යහපත් දේට සහයෝගය ලබාදීම විපක්ෂයේ වගකීමය. යළිත් රට අස්ථාවර වීමක් සිදුවුව හොත් ඉන් ඇතිවන අයහපත් ප්‍රතිපල ආණ්ඩු කරවන අයට පමණක් නොව ඉදිරියේදී ආණ්ඩු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අයටද බලපායි. යමක් ගොඩ නැගීමට වඩා කඩා දැමීම පහසුය.අසීරුවෙන් ගොඩ නැගූ දෙයක් කඩා දැමූ විට එය යළි ගොඩනැගීම අලුතින්ම යමක් ගොඩ නැගීමටත් වඩා අසීරුය.රටක් සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ එයමය.මෙය බලයේ සිටින හා බලයට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන සියලු පක්ෂ තේරුම් ගත යුතුව තිබේ.

සටහන
අසේල කුරුළුවංශ


නව අදහස දක්වන්න