ජෝන් ඩොයිලි දුටු අපේ නීතිය | දිනමිණ

ජෝන් ඩොයිලි දුටු අපේ නීතිය

සිංහල රාජ්‍ය සම්ප්‍රදායේ අවසානය ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය වූ මහනුවර රාජ්‍යයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් නිමාවට පත්විය. උඩරට රාජ්‍යය අඩංගුව සම්පූර්ණ ශ්‍රී ලංකාව 1815 මාර්තු 02 දායින් පසු ඉංග්‍රීසින්ට අයත්විය. හිරු නොබසින අධිරාජ්‍යයට සිංහලය යටත්කර ගැනීමේ පුරෝගාමී නායකයා වූයේ සර් ජෝන් ඩොයිලිය. කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධ‍රයෙකු වූ ජෝන් ඩොයිලි සිංහල භාෂාව මැනවින් හැදෑරූ උගතකු විය. ඔහු සිංහලය යටත් කරගැනීමේදී නිශ්චිත කාර්යභාරයක් ඉටුකළ අතර ඔහු විසින් රචිත A Sketch of the Constitution of THE KANDIYAN KINGDOM නමැති ග්‍රන්ථය. සිංහලේ ආණ්ඩුක්‍රමය නමින් ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න මහතා විසින් පරිවර්තනය කරනු ලැබ 1966 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරනු ලැබිණි. මෙම ලිපියේ අරමුණ වන්නේ එම ග්‍රන්ථයේ “යුක්තිය පසිඳලීම පිළිබඳ නීති” යනුවෙන් බෞද්ධ නීතිය කෙතරම් ප්‍රායෝගිකව වර්තමානයට වැදගත් වන්නේද යන්න විමසීමය.

විනිශ්චකාරයකු යනු කවරෙක් ද?

“ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතිය නිසා නොමඟට යන්නන්ගේ සෞභාග්‍යය අව පස සඳමෙන් කෙමෙන් පිරිහෙයි. එහෙත් මේ සතර අගතිය නිසා උක්ත මාර්ගය උල්ලංඝනය නොකරන්නන්ගේ සෞභාග්‍යය පුර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් වර්ධනය වෙයි. ඥාතිත්වය, මිත්‍රත්වය, ලත් ලාභ කෙරෙන් උපන් කෘතඥතාව යන මෙයින් පහළ වූ ආදරය, ප්‍රේමය නිසා හෝ පුද්ගලික වෛරය නිසා හෝ එක් පසායන සාහසිකකම හා දුෂ්ටකම නැතහොත් රාජ්‍යයේ බලවත් පුද්ගලයකු වීම හේතුකොට ගෙන පහළ වූ භය නිසා හෝ බුද්ධ ධර්මය පිළිබඳ අටුවාටීකාදියේ උගන්වන ලද නීති විද්‍යාව හොඳහැටි නොදන්නා නිසා හෝ යුක්තියට පයින් ගසා ඒ පිළිබඳ නීති උල්ලංඝනය කොට හිමියන් අහිමිකොට අහිමියන් හිමිකොට විනිශ්චය කළහොත් එබඳු අධර්මිෂ්ඨ විනිශ්චයකාරයාගේ ධනය, පිරිස හා කීර්තිය අවපක්ෂයේ චන්ද්‍රයාමෙන් ක්‍රමයෙන් පිරිහෙයි.

මෙසේ දුෂ්ට ලෙස යුක්තිය පසිඳලන්නා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඔහුගේ සෞභාග්‍යය, ධනය හා බලය විනාශවේ යයි ප්‍රකාශිතයි. මේ සතර අගතියෙන් විනිර්මුක්තව ක්‍රියාකරන ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා කීර්තිය හා ප්‍රසිද්ධිය විසින් වැළඳගන්නා ලද්දේ පුරපක්ෂයේ චන්ද්‍රයාගේ දීප්තිය ක්‍රමයෙන් වර්ධනය වන්නේ යම්සේද ගෞරවයෙන් ගෞරවයට පැමිණෙයි. එහෙයින් ප්‍රඥා සම්පන්න විනිශ්චයකාරයා පහත සඳහන් නීති පිළිපැදීම අත්‍යවශ්‍යය.

විනිශ්චයකාරවරයකු පිළිපැදිය යුතු නීති

1. විනිශ්චයාසනයේ අසුන් ගන්නා තැනැත්තා අහංකාර හා අභිමාන නොවිය යුතුය.

2. භික්ෂූන්ට හා රජුට අවඥා සහගත හා අවිනීත නොවිය යුතුය.

3. සුදනන් කෙරෙහි සතුටක් දුදනන් කෙරෙහි අසතුටක් හෝ නොපෙන්වා මධ්‍යස්ථ විය යුතුය.

4. හේ දොඩමළු නොවිය යුතුය.

5. නොවැදගත් වචන නොපැවසිය යුතුය.

6. ඔහු පැවසිය යුත්තේ සුදුසු හා අවශ්‍ය වචන පමණි.

7. ඔහු අයහපත නොසිතා යහපත කිරීමෙහිලා තත්පරවිය යුතුය.

8. පැමිණිලිකාරයා භික්ෂුවක් නම් ඔහුගේ ගුරුවරයා කවුද උපාධ්‍යාය කවුද? උපසම්පදා කළේ කවුරුන් විසින්ද? ගෝලයෝ කවරහුද? යන ප්‍රශ්න නෑසිය යුතුය.

9. සුදුසු අවස්ථාවන්හිදි දැඩි බව හා මොළොක් බව පෙන්විය යුතුය.

10. විභාගකරනවිට දයාභරිත විය යුතුය.

11. අයහපත කිරීමේ ආශාවකින් තොරව යහපත කිරීමට සිත යෙදිය යුතුය.

12. ඔහු නඩුව ඇසිය යුත්තේ කෝපයෙන් හා නොඉවසිල්ලෙන් නොව ශාන්තව හා මෘදුවය.

13. විනිශ්චය සභාවෙහිදී කනට කොඳුරා කීමට හෝ නෙත් කොනින් බැලීමට ඉඩ නොදිය යුතුය.

14. විනිශ්චයකාරයා සිය අදහස වැටහෙනසේ නඩු කියන්නන්ට ඉඟිකිරීම හෝ හිස සැලීම නොමැනවි.

15. තම හිස සැලීමෙන් හෝ නළල රැලි ගැසීමෙන් තම අදහස් මේ යැයි අනුනට සැක කිරීමට ඉඩදිය යුතු නොවේ.

16. අගතිගාමි පුද්ගලයන්ගේද බොරුව හා වංචාව ගැන නම් දැරූ පුද්ගලයන්ගේද කියමන් සලකා බැලීමේදී ඔහු විශේෂයෙන් පරිස්සම් විය යුතුය.

17. එහෙත් සත්‍යවාදී හා අවංක පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රියවාදී හා මෘදුවිය යුතුය.

18. නිවටකම හෝ මෝඩකම නිසා කලබලවූ අය හා බයාදු පුද්ගලයින් කුළුණුබර වචනයෙන් ධෛර්යමත් කළ යුතුය.

19. තවද ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා මෙයට අමතර බොහෝ ගුණ ධර්මයන්ගෙන් සමුපලක්ෂිත විය යුතුය.

20. ඔහු ධර්ම ග්‍රන්ථයන් හි හා අටුවාටීකා ග්‍රන්ථයන්හි එන නිගමන අකුරටම පිළිපැදිය යුතුය.

21. මක්නිසාදයත් “අනලස් විනිශ්චයකාරයා සූත්‍ර, විනය, හා ඒ පිළිබඳ විවරණ හා අටුවාටීකා අනුවම යුක්තිය විචාළ යුතුය” යයි නියමකොට ඇතිහෙයිනි. “වාර්තාගත කරුණු වාචික සම්ප්‍රදායට වඩා වැදගත්ය; එහෙයින් අධිකරණයෙහි දී පාලි ධර්මය අනුගමනය කළ යුතුයයි නියමකොට තිබේ.

පරිත්‍යාග සම්බන්ධයෙහිලා පාලි ග්‍රන්ථයන්හි දැක්වෙන නීතියද ඒ පිළිබඳ අර්ථ විවරණය හා විග්‍රහයද මෙසේය.

“මම මෙය ඔබට දෙමි” නැතහොත් ප්‍රදානය තරම් පිරිනමමි, පවරමි, පාවාදෙමි, හෝ අත්හරිමි - “ඔබ යන්න” යයි දීමනා කාරයා ප්‍රකාශ කළවිට ප්‍රතිග්‍රාහකයා, “මම පිළිගනිමි” යි පිළිතුරු දීමත් පරිත්‍යාගය සර්ව සම්පූර්ණවේ. පිළිගැනීමෙන් පිළිගැනීමටද සර්ව සම්පූර්ණවේ. දීමනාකාරයා, ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම සිටියදී කෙරෙන ගනුදෙනු සම්බන්ධයෙන් මෙය අදාළ වෙයි. දෙදෙනා එක එකා ඉදිරියෙහි නැතහොත් දීමනාකාරයා, මම මෙය අසවල් නම් ඇති තැනැත්තාට (නම් සඳහන් කළ යුතුය) දෙමි හෝ ප්‍රදානය කරමි. පිරිනමමි, පවරමි, පාවාදෙමි හෝ අත්හරිමි’ යි කිය යුතුය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිංහල සමාජයේ පැවතියේ ලේඛන ගත, ඔප්පු තිරප්පුවලින් ගිවිසගත් පවරාදීම් ක්‍රමයක් නොවේ. කටවචනයෙන් දීමනාකාරයා සහ ලැබුම්කාරයා අතර ඇති ගිවිසුම් සම්බන්ධයකි. බොහෝවිට තාමත් නුවරකලාවියේ වැව්ගම්මානවල පුද්ගලික දේපළ ක්‍රමයක් නොමැති අතර ‘පුරාණවෙල’ පොදු අයිතියට පත්ව ප්‍රවේණි ඉඩම් වශයෙන් එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරාදෙනු ලැබීය. බොහෝ අවස්ථාවලදී “අතපැන් වත්කිරී‍ෙමන්” දේපළ, ඉඩකඩම් සහ අලි ඇතුන් පවා පූජාකළ හෝ පවරාදෙනු ලැබූ අතර මෙය බෞද්ධ නීතියේ කොටසක් වශයෙන් පැවති බව පෙනේ. මෙහිදී වැදගත්වූයේ අත්හැරීම පිළිබඳ පුද්ගල මනස බද්ධ හැසිරීම පමණි.

තවද “වැඩකට නැති ත්‍යාගයක් සහ අවලංගු පිළිගැනීමක් මෙසේ විස්තර කෙරෙයි. “දීමනාකාරයා” එය ඔබටම අයිතිකර ගන්න හෝ “එය ඔබට අයිතිවේවා” හෝ එය “ඔබේ වේවා යයි කී කල ප්‍රතිග්‍රාහකයා” මම මටම මෙය අයිතිකර ගතිමි” හෝ එය මට අයිතිවේවා” යයි පිළිතුරු දුනහොත් පරිත්‍යාගය අසම්පූර්ණය; පිළිගැනීමද අසම්පූර්ණය; මක්නිසාදයත්, දීමනාකාරයා පරිත්‍යාගකරන නියම ක්‍රමය සහ ප්‍රතිග්‍රාහකයා පිළිගන්නා නියම ක්‍රමය නොදන්නා හෙයිනි. එහෙත් දීමනා කාරයා “එය ඔබටම අයිතිකර ගන්න යයි කීවිට” යහපති මාගේ ස්වාමිනී” මම එය පිළිගතිමි’යි ප්‍රතිග්‍රාහකයා පිළිතුරු දුනහොත් පිළිගැනීම සර්ව සම්පූර්ණ හෙයින් ත්‍යාගය ලබාගත හැකිය.

“සුනිශ්චිත පරිත්‍යාගයක් අවලංගු කළ නොහැකිය. දීමනා කාරයා යමක් තමන්වෙත තබාගැනීමේ ආශාව දුරුකොට එය වරක් අනෙකකුට දුනහොත් කවර කරුණක් නිසාහෝ එය නැවත ගත නොහැකිය. එසේ ගතහොත් දෙන ලද හා ආපසු ගන්නා ලද ඒ ද්‍රව්‍යයේ අගය නිසැකව දැනගත යුතුය.

එනම් එසේ ආපසු ගන්නා ලද ද්‍රව්‍යයේ අගය පාදයක් (රන් මදටිය ඇට පහක්) හෙවත් එකල රටේ භාවිතයේ පවත්නා රන්කාසියේ අගයෙන් සතරෙන් එකක් වේදැයි නිසැකව දත යුතුය. එසේනම් ත්‍යාගය ආපසුගත් අවිචාර භික්ෂුව පාරාජිකා වෙයි. හේ මහණකමින් නෙරපනු ලැබීමට යාමක්ය. ත්‍යාගයේ අගය යටකී අගයට අඩුනම් ඔහු සුළු දඬුවමකට යටත්ය.”

“අප ගෞතම බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ බිම්බිසාර රජ්ජුරුවන් රජගහ නගරයෙහි රාජ්‍ය කරන ධනිය නම් තෙර නමක් රජු විසින් දෙන ලදැයි බොරු කියා රජුගේ දඬු මඩුවෙන් දැව ගෙන ගොස් තම වාසය පිණිස ගෙයක් තැනීය. පසුව සොරකම සොයාගන්නා ලදින් රජු ඒ තෙරනුවන්ට තරවටු කළේය. රටවාසීහු මේ වරද ප්‍රසිද්ධියටපත් කොට රජු කෙරෙහි මෙතරම් බිය සැක නැති අයකුගෙන් තම දේපළ ආරක්ෂා නොවේ යැයි කියා පෑහ. මේ කරුණු ගෞතම බුදුරජාණන්ට සැල කරන ලදුව එතුමා ධනිය තෙරණුවන් ගෙන්වා ප්‍රශ්නකොට තම වරද පිළිගත් හෙයින් තදබල ලෙස අවවාද කළේය. මෙහිදී උන්වහන්සේ නුදුන් දෙයක් ගැනීම අරභයා ශික්ෂා පදයක් පනවා වදාළසේක.”

මෙයින් පසුව ඩොයිලි භික්ෂූන්වහන්සේලා පාරාජිකාවීම පිළිබඳ හේතු සඳහන් කරමින් එකල සංඝ සමාජයේ සංඝාධිකරණයට අදාළ තොරතුරු සමුදායක් ඉදිරිපත්කොට සිංහල බෞද්ධ සමාජයේ ඉඩකඩම් හා ශ්‍රමණයන්වහන්සේලාගේ සුළු වැරදි හා පාරාජිකාවන් නිශ්චය කිරීම පිළිබඳ නීති සඳහන් කරයි.

නමුත් 21 සියවසේ ශ්‍රී ලාංකේය සමාජයේ වර්තමානයට ගැළපෙන සංඝාධිකරණයක අවශ්‍යතාවය මෙහිදී මතුවේ. ඩොයිලිගේ වාර්තාවේ සංඝාධිකරණයටත් සෙසු විනිශ්චයකරුවකුටත් තිබියයුතු ලක්ෂණ මෙන්ම විශ්වීය අධිකරණය, විනිශ්චයකරුවන් සතු ලක්ෂණ බෞද්ධ යුක්තිය පසිඳලීමේ විනිශ්චයකරුවකු සතුව තිබුණු බවයි. එමෙන්ම සර් ජෝන් ඩොයිලි ඉංග්‍රීසි ආණ්ඩුවට ආසන්නතම රාජ්‍යතාන්ත්‍රිකයා වශයෙන් සිංහල බෞද්ධයාගේ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය වඩා ක්‍රමවත්ව සටහන්කොට තැබීමයි.

තවද බෞද්ධ විනිශ්චයකරුවා කිසියම් විනිශ්චයකට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අතර “විනිශ්චයකරුවා ධර්ම ග්‍රන්ථයන්හි හා අටුවා ටීකා ග්‍රන්ථයන්හි එන නිගමන අකුරටම පිළිපැදිය යුතුය. මක්නිසාදයත් “අනලස් විනිශ්චයකාරයා සූත්‍ර, විනය හා ඒ පිළිබඳ විවරණ හා අටුවා ටීකා අනුවම යුක්තිය විචාල යුතු යයි නිගමනකොට ඇති හෙයිනි.”

මහනුවර යුගයේ අගභාගය වනවිට ඉංග්‍රීසින් විසින්ම යුක්ති ධර්මය පිරිහීගිය අසම්මත රාජදඬුවම් පමුණුවන්නේ සමාජය පීඩාවට පත්කළ රජතුමා එළවා දැමීමට ප්‍රයත්නයන් දරනු ලැබූ යුගයක ධර්මාධිකරණය ක්‍රියාත්මක වූ ආකාරය ඉංග්‍රීසි පරිපාලකවරයකු විසින්ම වාර්තාකොට තිබීමෙන් එහි සත්‍යාසත්‍යතාවය හොඳින් පැහැදිලිවේ. එහෙයින් 21 සියවසේ දෙවන දශකයේ සිටින අපට බෞද්ධ සමාජය ගොඩනැන්වීමටත් සංඝ සමාජය ප්‍රතිනිර්මාණය කිරීමටත් සර් ජෝන් ඩොයිලිගේ කෘතියේ සඳහන් ක්‍රියාමාර්ග ගතයුතු බව මෙම ලේඛකයාගේ අදහසයි.

ආශ්‍රිත කෘතීන්

ඩොයිලි, සර්ජෝන්, 1966 සිංහලේ ආණ්ඩුක්‍රමය පිළිබඳ ලුහුඬු සටහන් කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

Doyle, Sir John A Sketch of the Constitution of THE KANYAN KINGDOM. Colombo: Tisara Prakasakayo Ltd.

මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්
සමාජවිද්‍යා අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න