නාලක ද සිල්වාගේ රෝගී දරුවා බැලීමට අවසර | දිනමිණ


 

නාලක ද සිල්වාගේ රෝගී දරුවා බැලීමට අවසර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා  සහ රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතිකයා ද ලබන ජනවාරි මස 02  වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මහතා තම සේවා දායකයාට ඇප ලබා දෙන ලෙසට ඉකුත් නඩු දිනයේ සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ  මහේස්ත්‍රාත් වරයා නාලක  සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරන ලෙසට නියෝග කළේය.
 
ත්‍රස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවිධානපනත)  7.(2)  වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැතැයි තීරණය කළ මහේස්ත්‍රාත්වරයා  නඩුව අවසන් වන  තෙක් නාලක සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය .
 
මෙම සිදුවීමට අදාළ පළමු සැකකරු වන ඉන්දියන් ජාතිකයා සම්බන්ධයෙන් පරීක්ෂන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.
 
ඩෙංගු රෝගයෙන් දින පහක් තිස්සේ පීඩාවට පත්ව සිටින  නාලක සිල්වා මහතාගේ එකම දරුවාගේ සුවදුක් බැලීමට ඒ මහතා දරුවා සිටින රෝහලට රැගෙන යන්නැයි බන්ධනාගාගර අධිකාරිවරයාට මහසේත්‍රාත්වරයා නියෝගයක්ද සිදු කළේය.
 
මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ ඔහුගේ පළමු දරුවාත් 2013 වසරේ ඩෙංගු රෝගය වැළදී මිය ගිය බවත් මේ වන විට දෙවන දරුවාද ඩෙංගු රෝගයෙන් පීඩා විදින බවත් අධිකරණයට දැනුම් දුන් නිතිඥ අජිත් පතිරණ මහතා නාලක සිල්වා මහතා රටේ ජාතින් අතර සමගිය ගොඩනැගීම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදු කළ අයෙක් බවත් දරුවන්ට සමීපතම පියෙක් වන නාලක සිල්වා මහතා දරුවා සමීපයේ සිටීම මේ අවස්ථාවේ අවශ්‍යතම කාරණයක් බවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.
 
එහිදි ඉතාමත් මානුෂීය කාරණයක් වන මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඒ මහතා දරුවා සිටින රෝහලට රැගෙන යන්නැයි නියෝග කර සිටියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ලොකුහෙට්ටි  සමූහ මංකොල්ල මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති රන්ජිත් මුණසිංහ යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පෙනි සිටියේය.
 

නව අදහස දක්වන්න