දීර්ඝායු වේවා මහැ­දුරු තුමනි | දිනමිණ

දීර්ඝායු වේවා මහැ­දුරු තුමනි

රුහුණු කලා හවු­ලට හැත්තෑ වස­රක් සපි­රුණු දෙසැ­ම්බර් 18 දිනට එහි සභා­පති මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර මහ­තාට ද අවු­රුදු 92 ක් සපි­රුණි. ඒ නිමිති කොට ඊයේ ගාල්ල විද්‍යා­ලෝක විද්‍යා­ල­යීය ප්‍රධාන ශාලාවේ දී උප­හාර උළෙල පැවැ­ත්වී­මට රුහුණු කලා හවුල කට­යුතු යොදා තිබුණු අතර අනුර යස­මිත් (දිසා­පා­මොක් මිණි­ප­හන) නමින් රචනා කළ මහා­චා­ර්ය­ව­ර­යාගේ චරි­තා­ප්‍ර­දා­න­යද එළි­දැ­ක්වී­මට නිය­මිත ය. මේ ලිපිය ඒ වෙනු­වෙනි.

ලේඛ­ක­ය­කුට, විචා­ර­ක­ය­කුට, පඬි­ව­ර­ය­කුට දැක්විය හැකි උසස් ම ප්‍රණා­මය වනාහි ඔහුගේ සාහිත්‍ය කලා මෙහෙ­වර සැමගේ අව­ධා­න­යට ලක් කර­වීම ය. බන්දු­සේන ගුණ­සේ­කර නම් වූ සොඳුරු මිනිසා විවිධ අංශ ඔස්සේ මාතෘ භූමි­යට අද­ටත් සුවි­ශාල මෙහෙ­ව­රක් ඉටු කරන විද්ව­තෙකි. ඔහුගේ සේවය අංශ කිහි­ප­ය­කට ලඝු කළ හැකි ය.

පර­මා­දර්ශී ගුරු­ව­රයා හා පර්යේ­ෂ­කයා, ප්‍රති­භා­පූර්ණ කවියා, නිර්මා­ණ­ශීලි ලේඛ­කයා, අප­ක්ෂ­පාතී විචා­ර­කයා, ළමා සාහිත්‍ය බැබළ වූ නිර්මා­ණ­ක­රුවා, තරුණ සාහි­ත්‍ය­ධ­ර­යන්ට අත­හි­ත­දුන් පුරෝ­ගා­මි­යයා, භාෂාව හා ව්‍යාක­ර­ණය එළ පෙහෙළි කළ පඬි­ව­රයා වශ­යෙනි.

මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­ක­රගේ භාෂා ශාස්ත්‍ර­යන්හි ගැඹු­රට විහිද ගිය ශාස්ත්‍රා­ලෝ­කය, පර්යේ­ෂණ ක්ෂේත්‍ර­යන්හි ඥානෝද්දී­ප­නය කාරණා අට­කට ලඝු කළ නොහැක. එහෙත් ලිපියේ සංක්ෂි­ප්ත­භා­වය සලකා අපි එසේ කළෙමු.

මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර මහතා වර්ෂ 1927 දෙසැ­ම්බර් මස 8 වැනිදා දක්ෂිණ ලංකාවේ ගාල්ල මහා නගර සීමා­න්තයේ දඩල්ල ප්‍රදේ­ශයේ ආද­ර්ශ­වත් ප්‍රභූ පවු­ලක උත්ප­ත්තිය ලද දෙවැනි කුම­රුවා වුයේ ය. ඔහු දඩල්ලේ ශ්‍රී දේවා­න­ම්පි­ය­තිස්ස බෞද්ධ විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබුවේ ය. 1947 දී සිංහල ජ්‍යෙෂ්ඨ විභා­ග­යෙන් සමත් වූ එතුමා පුව­ත්පත් කලා­වට අව­තීර්ණ වූයේ ය. කොළඹ මාළ­ග්‍රීන්දේ රාත්‍රී ඉංග්‍රීසි පාඨ­ශා­ලා­වෙන් ඉංග්‍රසී ඉගෙන ගත්තේ මේ කාලයේ දී මය. 1951 දී පරම විඥා­නාර්ථ බෙද්ධ සමා­ගම පැවැත් වූ ගුරු විභා­ග­යෙන් සමත්ව ඔහු 1952 දී ආධු­නික ගුරු­ව­ර­යකු වශ­යෙන් අධ්‍යා­පන සේව­යට බැඳුණේ ය. 1953 දෙසැ­ම්බර් දක්වා ගා/වැල්ල­තොට සුග­ත­නන්ද විද්‍යා­ලයේ සේවය කොට, 1953 දී ම ගුරු විද්‍යාල ප්‍රවේ­ශ­යෙන් සමත් ව, 1954 - 1955 දක්වා නිට්ට­ඹුව ගුරු අභ්‍යාස විද්‍යා­ලයේ ගුරු පුහු­ණුව ලැබී­මට හැකි­වීම බන්දු­සේන ගුණ­සේ­කර මහ­තාගේ ගුරු ජිවි­තයේ ප්‍රථම හැර­වුම් ලක්ෂය වීය. ගුරු ජීවි­තයේ පරි­ණත වෙමින් සිටි මෙතු­මාට 1956 ජන­වාරි පළමු දින ගා/දඩල්ල ශ්‍රී දේවා­නම් පිය­තිස්ස විද්‍යා­ල­යෙහි උප­ගු­රු­ව­ර­යකු ලෙස පත්වී­මක් ලැබුණු අතර 1957 ජුලි පළමු දා ගා/චීන කොටුව විජය විද්‍යා­ලයේ විදු­හ­ල්පති ධූර­යට පත් වූයේ ය. ඒ තන­තුරේ සිටි­මින් විශ්ව­වි­ද්‍යාල ප්‍රවේශ විභා­ගය සමත් වූ බන්දු­සේන ගුණ­සේ­කර මහතා 1959 ඔක්තො­ම්බර් පළ­මු­ව­නදා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව 1963 දී ශාස්ත්‍ර­වේදී ගෞරව ප්‍රථම පන්ති සමා­ර්ථ්‍ය­යක් සහිත ව උපා­ධිය ලබා 1963 අගෝස්තු පළ­මුදා ගා/මීපා­වල මහා විද්‍යා­ලයේ උප විදු­හ­ල්පති ධූර­යට පත් විය. 1964 පෙබ­ර­වාරි පළ­මු­ව­නදා ගා/ගිංතොට මහා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා බවට පත්වී­මක් ලැබුවේ ය. මොහුගේ කාලය ගිංතොට මහා විද්‍යා­ලයේ ස්වර්ණ­මය යුගය ලෙස සැල­කෙන අතර 1967 දී ලංකා­වෙන්ම උසස් ප්‍රති­ඵල වාර්තා කිරී­මට ගිංතොට මහා විද්‍යා­ලය සමත් විය. 1968 දී විභා­ග­යට පෙනී සිටි සිසුන් විසි දෙනා­ගෙන් දහ­අට දෙනෙක් ම විශ්ව­වි­ද්‍යාල වරම් ලැබීම නිසා ගාලූ නග­රයේ ප්‍රමුඛ පාසල් අතර ගිංතොට මහා විද්‍යා­ලය ඉහ­ළින් ම බැබ­ළිණ‍‍.

බන්දු­සේන ගුණ­සේ­කර මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යාල සේව­යට එක් වූයේ 1968 ඔක්තෝ­ම්බර් පළ­මුදා ය. ‘‘ගාල්ලේ ග්‍රාම­නාම හා එහි විත්ති’’ නමින් කරන ලද පර්යේ­ෂණ නිබ­න්ධ­යට එතු­මාට ශාස්ත්‍ර­පති උපා­ධිය ලැබුණි. 1971 ජන­වාරි හතර ලන්ඩන් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් ව සිංහල අක්ෂර විකා­ස­නය පිළි­බඳ පර්යේ­ෂණ නිබ­න්ධ­යක් ඉදි­රි­පත් කොට ආචාර්ය උපා­ධිය ලබා 1974 අගෝස්තු අට­වැ­නිදා ලංකා­වට පැමි­ණියේ ය.

1980 අගෝස්තු එකො­ළො­ස්වැ­නිදා එතුමා ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්‍ය ධූර­යට උසස් වූ අතර එතැන් සිට විවිධ පර්යේ­ෂණ කට­යු­තු­වල නියැ­ළෙ­මින් කරන ලද අන­ගි­භ­ව­නීය සේවය නිසා 1985 දී මිත්‍රත්ව පද­නම යටතේ සෝවි­යට් දේශ­යට යෑමට අධි ශිෂ්‍ය­ත්ව­යක් ලැබ පුෂ්කීන් භාෂා ආය­ත­න­යට ඇතු­ළත්ව රුසි­යන් භාෂාව හදාරා ඩිප්ලෝමා උපා­ධිය සමත් ව 1986 නැවත කැල­ණිය විශ්ව­වි­ද්‍යාල සේව­යට වාර්තා කළේය. එතුමා ඒ වන විට කරන ලද පර්යේ­ෂණ කට­යුතු හා ශාස්ත්‍රීය ලිපි ලේඛන සලකා බැලූ පීඨ මණ්ඩ­ලය සනා­තන සභා අනු­මැ­ති­යට යටත්ව 1990 වර්ෂයේ දී මහා­චාර්ය ධූරය පිරි­න­මන ලදී. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උග­න්ව­මින් ම රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර ආචා­ර්ය­ව­ර­යකු වශ­යෙන් දේශන පැවැ­ත්වී­මට ගිය අතර රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­තු­මාගේ ආරා­ධ­න­යෙන් එහි සිංහල අංශයේ උප­දේ­ශක මහා­චා­ර්ය­ව­රයා වශ­යෙන් පත්වීම් ලැබුවේ ය. කලක් භාෂා කාසාව කණ්ඨ­ක­යින්ගේ බත් කුඹක් බවට පත්ව තිබුණු රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අංශ­යට සර­ස්ව­තී­යගේ බැල්ම යොමු වූයේ එතු­මන්ගේ පැමි­ණී­මෙන් පසුව බව කියැවේ.

පත පොත ලිය­මින්, පර්යේ­ෂ­ණ­වල නිරත වෙමින් විශ්ව­වි­ද්‍යාල ක්ෂේත්‍ර­යට එතුමා කරන ලද සේවාව සදා අම­ර­ණීය ය. ඉගැ­න්වීම මැන­වින් කළ එතුමා ශිෂ්‍ය පිය වුයේ ය. ජන්ම­යෙන් ම කවි­කම රැගෙන සපැ­මිණි බන්දු­සේන ගුණ­සේ­ක­ර­යාණෝ රස කවි ලියුවෝ ය. කවි­යට හිතැති සහෘ­ද­යන්ට ද අත හිත දුන්නහ. දකුණේ සාහිත්‍ය පුන­ර්ජී­ව­නයේ නිය­මු­වාණෝ වූහ. නෙළුවේ ගුණා­නන්ද හිමි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් රජ්ගම ටී. ලිය­නගේ කවි­යාගේ සහ­භා­ගී­ත්ව­යෙන් ආරම්භ කළ කවි සභා­වට නම යෝජනා කළේ කිර­ළ­ග­හ­වෙල මාර්ටින් ජය­ව­ර්ධන ය. ‘‘රෝහණ කලා රැළි’’ නම් වූ ඒ නාමය පසු කලෙක දී ‘රුහුණු කලා හවුල’ නමින් සුප­තළ වූයේ බන්දු­සේන ගුණ­සේ­කර මහ­තාගේ දැඩි කැප­වීම නිසා ය. අද දක්ෂිණ ලංකාවේ සාහි­ත්‍ය­යට කලා­වට හිතැති සහෘද මානව මාන­වි­කා­වන් විශාල පිරි­සක් එහි සාමා­ජි­ක­ත්වය දරති. අදත් අංකුර සාහිත්‍ය කලා­ක­රු­වන්ගේ යහ­පත පිණිස සාහිත්‍ය තරග, කාව්‍ය නිර්මාණ වැඩ­මුඵ හා සාහිත්‍ය සම්ම­න්ත්‍රණ, කවි­මඩු රුහුණු කලා හවුල මඟින් පව­ත්ව­ගෙන යෑම රට­ටම ආශි­ර්වා­ද­යකි.

"තිතට මුව­හත් කළ හැකි

එහෙත් අස­මැන සකි

හෙළ කවිය අද දුබල අවි­යකි’’

යනු­වෙන් ඔහු පව­ස­නුයේ අද සිංහල කවියේ පරි­හානි තත්ත්වය හා සිංහල කවිය අවි­යක් සේ ම මුව­හත් කළ හැකි බවම ය.

බන්ධු­සේන ගුණ­සේ­කර මහතා ලියා ඇති පොත් සංඛ්‍යාව අති­වි­ශාල ය. ඒ අත­රින් මාලි­යාගේ මැජික් පින්ස­ලය, කැවුම් බබා, ආත්ත මුත්තා ඔට්ටු වෙලා කෑම ටිකට තට්ටු වෙලා, මසුරු වෙළෙන්දා සහ රන්කාසි පසු­ම්බිය, රජ ගෙම්බා, යාළුවෝ අපි, කම්මැ­ලි­යාට ලියු­මක්, ආදී පොත් විශිෂ්ට ග්‍රන්ථ රත්නයෝ වෙති.

ගුරු­කුල කේන්ද්‍රීය විචා­ර­යට පහ­ර­දෙන මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර පේරා­දෙණි ගුරු­කු­ලයේ පක්ෂ­පා­තී­ත්ව­යට එකඟ වූයේ නැත. ඔවුහු ස්වාධීන විචාර කලා­වක් ස්ථාපිත කළහ. ‘‘ඇහැ­ලේ­පොළ වර්ණ­නාව හෙවත් වඩුග හටන’’ නම් ග්‍රන්ථයේ දී ප්‍රශස්ති කාව්‍යයේ ප්‍රභ­වය හා විකා­ශ­නය පිළි­බ­ඳව සාකච්ඡා කර­මින් ලිය­වුණු විශිෂ්ට විචාර ග්‍රන්ථ­යකි. මීට අම­තර ව ‘‘ගජ­මන් නෝනාගේ කවි’’ ග්‍රන්ථයේ දී මහ­නු­වර-මාතර කවිය පිළි­බඳ ගැඹුරු විම­ර්ශ­න­යක් කර ඇත. තව ද ගජ­මන් නෝනාගේ ජීවන තොර­තුරු, ඇගේ කාව්‍ය ප්‍රභාව පිළි­බඳ දක්වා ඇති කරුණු ශාස්ත්‍රීය වශ­යෙන් ද ඉතා ම ප්‍රශස්ත වූ කාරණා ය. ‘‘සිංහල කවියේ අද්‍ය­තන ස්වරූ­පය’’ නම් වූ පොත අද්‍ය­තන කවිය පිළි­බඳ විචා­රා­ත්මක අධ්‍ය­ය­න­යකි. සඳැස් කවිය යට­පත් ව නිස­ඳැස් මතු­වන ආකා­රය නිද­සුන් සහිත ව කර ඇති විව­ර­ණ­යකි. ‘‘සැළ­ලි­හිණි සංදේ­ශය රසා­ස්වා­දය හා විචා­රය’’ යන ග්‍රන්ථය සැළ­ලි­හි­ණිය පිළි­බඳ ලිය­වුණු අභි­මා­න­වත් ග්‍රන්ථ රත්න­යකි. මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ ‘‘යුගා­න්තය විචා­රය හා විම­ර්ශ­නය’’ නූතන සිංහල නව­කතා හා යුගා­න්තය තුල­නය කර­මින් රචනා කර ඇති සාර­ගර්භ විචාර සංග්‍ර­හ­යකි.

කලක් කුමා­ර­තුංග මුණි­දාස, ආනන්ද රාජ­ක­රුණා, එස්. මහින්ද හිමි වැනි විද්ව­තුන් සුර­තෙහි වූ ළමා සාහි­ත්‍යය අඩ­පණ වූයේ ඕනෑ ම කෙනෙ­කුට ළමා පොතක් ලිවිය හැකි ය යන දුර්මත පහ­ළ­වී­මත් සමඟ ය. මෙවැනි කලෙක සිබිල් වෙත්ත­සිංහ, ආචාර්ය ඩබ්. ඒ. අබේ­සිංහ, ගුණ­සේන විතාන, මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර වැනි ප්‍රවීණ ලේඛ­ක­යන් පිරි­සක් ළමා නිර්මා­ණ­ක­ර­ණ­යට අත­ගැ­සූහ.

මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­ක­රගේ ළමා පොත් අතු­රින් හත­රක් ලංකාවේ ජන­ශ්‍රැති ඇසු­රෙන් රචිත ය. ‘‘ලූල්ලූ මාමා’’, ‘‘කේලම් කියා දඬු­වම් ලැබුණ රයි­ග­මය යි ගම්ප­ලය යි’’, ‘‘අපි යාළුයි’’ යන පොත් ළමා මනස ආක­ර්ෂ­ණය කර­ගත් ඒවා වෙයි.

ලේඛන ප්‍රති­භාව, බහු­ශ්‍රැත­භා­වය, ගුණ­ග­රුක මනු­ෂ්‍ය­ත්වය, ඥාණෝ­ද්දී­ප­නය අතින් පෙහො­සත් මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­ක­ර­යාණෝ හැම විට ම ආධු­නික ලේඛ­ක­යින්ට අත­හිත දුන්නහ. අද විශ්ව­කෝ­ෂයේ කර්තෘ­ධූ­රය දරන කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කුල­ති­ලක කුමා­ර­සිංහ මහතා ද මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර සෙව­නෙහි සාර­සිප් ප්‍රගුණ කළ ශිෂ්‍ය රත්න­යකි. එවන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහස් ගණ­නක් එතු­මන්ගේ පයු­රු­පා­ශ­නය ලැබූහ. ආධු­නික ලේඛක ලේඛි­කා­වන්ගේ පොත­ප­තට පෙර­ව­දන්, පසු­ව­දන් ලිය­මින් ඔවු­නට නිසි මඟ පෙන්වීම මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර චරි­ත­යෙහි කැපී පෙනෙන කෘත­වේදී සංල­ක්ෂ­ණ­යකි.

මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­ක­රගේ පොත­පත හා ලිපි ලේඛන පිරි­සුදු විය­රණ රීති­ය­කට අනු­ගත ව ලිය­වුණු ඒවා ය. ඔහු ඓති­හා­සික භාෂා ව්‍යාක­ර­ණය පිළි­බඳ ඉහළ දැනු­ම­කින් සන්නද්ධ ව ග්‍රණ්ථ­ක­ර­ණ­යට අත තබා තිබීම නිසා විදග්ධ සාහිත්‍ය පෝෂ­ණ­යට සැළ­සුණු සේවාව ලඝු කළ නො හැක. එබැ­වින් ලංකාවේ සිංහල සාහි­ත්‍යයේ චිර­ස්ථි­ති­යට සිදු­කළ අමිල සේවයේ නාම­යෙන් අපි මහා­චාර්ය බන්දු­සේන ගුණ­සේ­කර සූරීන්ට දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.

දර්ශ­න­පති මහේෂ් ක්‍රිශාන්ත
ගා/ශ්‍රී සුමං­ගල විද්‍යා­ලය, හික්ක­ඩුව.
බන්දු­සේන ගුණ­සේ­කර

නව අදහස දක්වන්න