කන්න හයක් වගා කරන්න බැරි වෙයි | දිනමිණ

කන්න හයක් වගා කරන්න බැරි වෙයි

ගලේවෙල ගම් රැසකට වන අලි කරදර

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවහුව, දඬුබැඳිරුප්ප, තෙලදින්නාවැව, ඇතුළු ගම්මාන රාශියක සැරිසරන 12 දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් නිසා ගම්මුන්ගේ ජීවිත හා දේපොල විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත. පසුගියදා දඬුබැඳිරුප්ප ගමට කඩා වැදුණු වන අලි රංචුවක් ගැමියෙකුගේ නිවෙසේ ජනේලයකට පහර දී අලාභ හානි කර තිබිණි. නිවැසියන් බේරී ඇත්තේ අනූනමයෙන් බව සිද්ධිය ඇසින් දුටූවෝ පවසති. දිවා කාලයේ ගම අසල කැලෑරොදකට වී සිටින මේ වන අලි රංචුව රාත්‍රී කාලයේදී ඒ ගම්වලට කඩා වැදී පොල්, වී, එලවළු ආදී බව බෝග විනාශ කරන බව ගම්වාසීහු පවසති.

කේ.ඒ.සිරිමන් ගොවි මහතා- වර්ෂාව නොමැතිව නොකඩවා කන්න 06ක් වී ගොවිතැන් කිරිමට නොහැකි වුණා. දෙයියනේ කියා මේ මාස් කන්නයෙන් ලබුණු වර්ෂාවෙන් කුඹුරුවල වී වගා කළා. ඒ අනුව දේවහුව ඇතුළු ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් වගා කර තිබෙනවා. කුඹුරු යාය මැදින් වන අලි රංචුවක් ගමන් කිරීම නිසා උන්ගේ අඩිවලට ගොයම පෑගී විශාල ලෙස ගොවීන්ට අලාභ හානි වී තිබෙනවා. මීට අමතරව පාන්දර ගමනක් බිමනක් යන්නට බෑ. ළමයෙක්ට පාසල් යන්න විදියක් නෑ. පාන්දරත් පාරේ වන අලි සැරිසරනවා.පිබිදුනගම වන ජීවී කාර්යාලයට දැන්වූ විට පැමිණීමට වාහනයක් නෑ කියනවා. වනජීවී කාර්යාලයට අයත් ගම්මාන 15ක් වන අලි නිසා දීර්ඝ කාලයක් තිස්සේ පිඩා විඳිනවා.

නිමල් කරුණාරත්න (42) තෙලදින්නා වැව - වන අලින්ගෙන් සිදුවෙන පීඩා අපිට අද ඊයේ ඇතිවුණු දෙයක් නොවේ. වන අලින්ගෙන් සිදුවෙන පීඩා නිසා අපි සදාකාලීන ණයකරුවෝ වෙලා. වන අලි නිසා අපේ ආර්ථිකය බිංදුවට බැහැලා. රජයෙන් අපි රැකියා ඉල්ලන්නේ නැ. විදුලි වැට නිසි පරිදි ඉදිකර අප ජීවිත හා දේපොල ආරක්ෂා කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මාතලේ දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප සංවිධායක කුසුම්සිරි ආරියරත්න - වන අලින්ගෙන් තර්ජනයට ලත් ගම්මාන ආවරණය කරමින් ඉදිකර ඇති විදුලි වැටේ ඉතිරි කොටස නිම කිරීමට තිබෙනවා. ඒ සඳහා ප්‍රතිපාදන ලබාගෙන විදුලි වැට ඉදිකළ පසු මිනිසුන්ට අලින්ගෙන් වන පීඩා අඩු වේයැයි මම විශ්වාස කරනවා.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්.යු.නිශාන්ත මහතා- අදාළ ගම්මාන ආවරණය කරමින් අඩක් ඉදිකිරීම් නිම කර ඇති විදුලිවැට නඩත්තුව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා තුරු මේ ගැටලුව විසඳිය නොහැකියි. විදුලි වැට නඩත්තුව නැති නිසා වන අලි ගම් වැදී මිනිසුන්ගේ බව බෝග විනාශ කරනවා.

සටහන සහ ඡායාරූප

ගලේවෙල මධ්‍යම සමූහ

පී.ජී.ගුණතිලක

නව අදහස දක්වන්න