සයි­මන් ඩෙල් ගේ මී ගම්මා­නය | දිනමිණ

සයි­මන් ඩෙල් ගේ මී ගම්මා­නය




මිනිසා යනු මේ මිහිතලයේ ජීවත්වන එක් සත්ත්ව කොට්ඨාසයක් පමණයි. මෙය අවබෝධ නොවී මිනිසා විසින් සොබාදහම පාලනය කිරීමට තැත් කිරීමෙන් සිදුවන්නේ මිනිසාට හා සොබාදහම යන දෙකටම පාඩු සිදුවීමයි. මෙයට හොඳම උදාහරණයක් ලෙසින් ගත හැක්කේ අලි මිනිස් ගැටුමයි.

වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා ගම් වදින අලි ඇතුන් වගා ළිං තුළට වැටීම, හක්කපටස්වලට හා දුම්රියට ගොදුරුවීමෙන් මියයන අතර වන අලි ප්‍රහාර නිසා විටෙක නිවාස හා ජීවිත හානිද සිදු වනවා. තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මෙවැනි ප්‍රශ්න බලධාරීන්ගේ නිසි අවධානයට ලක් නොවීම ඉතාම ඛේදජනකයි.

අලි ඇතුන්ගේ ගැටුම තරම් උග්‍ර නොවූවත් අපි සෑම නි‍ෙවසකම පාහේ අත්විඳින ප්‍රශ්නයක් වන්නේ මී උවදුරයි. මීයන්ගෙන් නිවස ආරක්ෂා කර ගැනීමට නොයෙකුත් උපක්‍රමවල නියැළෙන අපිට නැවතී සිතන්නට යමක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූවා. ඒ තමයි සයිමන් ඩෙල් නම් ඡායාරූප ශිල්පියා විසින් තම ගෙවත්තේ මීයන් වෙනුවෙන් සෑදූ කුඩා ගම්මානය.

මෙම මී ගම්මානය බිහිකිරීම පිටුපස ඇත්තේ අපූරු කතාවක්. දිනක් සයිමන් ඔහුගේ කැමරාව අමෝරාගෙන ගෙවත්තේ සක්මන් කරමින් සිටියේ කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීමේ අරමුණ ඇතිවයි. එවිට ඔහුගේ නෙත ගැටුණු මීයකු රටකජු සංග්‍රහ කිරීමෙන් මිතුරු කරගත් සයිමන් එම මීයාට නිවහනක් සාදා දීමට සිතුවේ ශීත ඍතුව පැමිණෙන නිසායි.

එක කන් පෙත්තක සුළු කැපුමක් තිබූ එම මීයාව ‘ජෝර්ජ්‘ නමින් නම් කළ සයිමන් පරණ පෙට්ටි හා ලී කැබලි භාවිතා කරමින් නි‍ෙවසක් සෑදූවා. ඉන් පසු පාසි හා පිදුරු යොදා එම නි‍ෙවස නිම කර තිබුණා. ඊට අමතරව මෙම නිවස වටා පූසන්ට පැමිණිය නොහැකි සේ වැටක්ද නිර්මාණය කරනු ලැබූ අතර අමතර ආරක්ෂාව නි‍ෙවසේ විසූ සුනඛයාට බාර දුන්නා.

දින කිහිපයක් ගතවූ පසු ජෝර්ජ් නම් මීයා තම සහකාරියවද මෙම නි‍ෙවස වෙත රැගෙන විත් තිබුණා. ‘මිල්ඩ්‍රඩ්’ නමින් ඇයව හඳුන්වන අතර, ඇය දැන් ගැබ්බර වී සිටින්නේ නත්තල් කාලය වන විට ප්‍රසූතියට පත්වීමට සූදානම ඇතිවයි.

සයිමන්ට මෙම නි‍ෙවස ගම්මානයක් දක්වා ගොඩනැගීමට හේතු වූයේ ඉහත කී මී යුවළට අමතරව තවත් මීයන් පස් දෙනකු සයිමන් සොයා පැමිණීම නිසාත් අලුතින් බිහි වන මී පැටවුන්ට ඉඩකඩ ලබාදීමටයි. සයිමන් මොවුන් හට පලතුරු, ඇට වර්ග හා පණුවන් ආහාර ලෙසින් සපයන අතර ශීත කාලයෙන් ආරක්ෂා වීමට නිවාස අභ්‍යන්තරය සකසා ගැනීමට පිහාටු වැනි ද්‍රව්‍යයන්ද ඔවුනට සපයා දෙනවා.

සුරංගනා කතාවක් හෝ කාටූන් චිත්‍රපටයක් සේ මෙම කතාව දිස් වූවත් මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය බව සයිමන්ගේ ඡායාරූප සාක්ෂි දරන අතර, මෙයින් අවසන් ලෙස නිගමනය කළ හැක්කේ අන් කිසිවක් නොව මෙලොව ජීවත් වන සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම සතුටින් ජීවත් වීමට අයිතියක් හා අවශ්‍යතාවක් තිබෙන බවයි. 

නව අදහස දක්වන්න