නට් ක්‍රැකර් ඇන්ඩ් ද ෆෝ රියැ­ල්ම්ස් | දිනමිණ

නට් ක්‍රැකර් ඇන්ඩ් ද ෆෝ රියැ­ල්ම්ස්

නත්තලට දරුදැරියන් බලා සිටින්නේ නත්තල් සීයාගෙන් තෑගි බෝග දෝත පුරා ලබා ගැනීමටය. 1816 තරම් ඈත අතීතයේදී වික්ටෝරියානු යුගයේ එංගලන්තයේ ජීවත් වූ ක්ලේරාට ද අපූරු නත්තල් තෑග්ගක් ලැබිණි. ක්ලේරාට ඒ තිළිණය ලැබුණේ පියාගෙනි. මව මියයෑම‍ට පෙර සිය දරුවන්ට නත්තල් තෑගි සූදානම් කර තිබුණු අතර පියා නත්තලේදී ඒ තෑගි දූදරුවන්ට බෙදා දුන්නේය.

ක්ලේරාට ලැබුණේ අත්කම් කරන ලද බිත්තර හැඩයේ පෙට්ටියකි. තෑග්ග ලිහා බලන තුරු ඇයට ඉවසීමක් නොතිබුණත් එය විවෘත කිරීමට නොහැකි විය. එහෙත් එහි මව විසින් තබා තිබූ සටහනක් ඇය දුටුවාය. බිත්තරය ඇතුළේ අවශ්‍ය සියලු දේම තිබෙන බව ඒ සටහනයි.

ක්ලේරා තමන්ව බවුතිස්මයට භාර දුන් නත්තල් සාදය මෙහෙයවීමට පැමිණි ඩ්‍රොස්ල්මේයර් නම් දක්ෂ ඉංජිනේරුවාගෙන් පෙට්ටිය විවෘත කරන අන්දම විමසීය. එය තමන් විසින් මවට මව ද කුඩා කාලයේ තිළිණ කරන ලද්දක් බව ඔහු පැවසීය.

ක්ලේරා ඩ්‍රොස්ල්මේයර් සාදයෙන් ඉවතට කැඳවා ගෙන ගියේ පියා‍ සමඟ නර්තනයට එක්වීම ප්‍රතික්ෂේප කර නිසා ඇය පියාගෙන් දඬුවම් ලැබීය. ඩ්‍රොස්ල්මේයර් විසින් ද දරුවන්ට තෑගි ලබා දුන් අතර ක්ලේරාට ලැබුණේ ඇයගේ නම ලියූ තෑග්ග පිළිබඳ තොරතුරු සඳහන් කළ නූලකි.

ඒ අනුව ඇය සමාන්තර ලෝකයක වනාන්තරයකට පිවිසෙන අතර එහිදී තෑගි පෙට්ටියේ යතුර දක්නට ලැබේ. එහෙත් ඇය යතුර ගැනීමට පෙර එය මීයකු විසින් එය ඩැහැගෙන හිම මිදුණු විලක් හරහා පලා යයි. ඇයට යතුර පැහැර ගැනීමට හැකි වේවිද? ඉන් පසු ඇය පිවිසෙන්නේ කෙබඳු ලෝකයකටද? ඊටීඒ හොෆ්මන් නත්තල් සමයේ අපූරු තෑග්ගකට හිමිකම් කී පොඩිත්තියක ගැන නට්ක්‍රැකර් ඇන්ඩ් ද මවුස් කිං කෘතියෙන් ලොවට හෙළිකළේ එලෙසිනි.

පසුව නට්ක්‍රැකර් ඇන්ඩ් ද මවුස් කිං විවිධ අයුරින් විවිධ මාධ්‍යයෙන් රසිකයන් රස ලොවකට කැඳවාගෙන ගියේය. මෙවර එය සෙලියුලොයිඩ් සිනමා පටයක සිත්තම් වී ඇත. ඒ නට්ක්‍රැකර් ඇන්ඩ් ද ෆෝ රියැලම්ස් නමිනි. අමෙරිකානු සුරංගනා වීර කතා ගණයට අයත් වන මේ සිනමා පටය ලාස්සෙ හාල්ස්ට්‍රොම්ගේ සහ ජෝ ජොන්ස්ටන්ගේ අධ්‍යක්ෂණයකි. වෝල්ට් ඩිස්නි බෙදා හැරීමකි.

සිනමා පටයට එතරම් විචාරක පැසසුම් එල්ල නොවුණ ද එහි මනෝරම්‍ය දසුන් මාලාව ලොකු කුඩා කාගේත් සිත් ගත්තේය. මෙහි ක්ලේරා ලෙස රඟන්නේ මැකෙන්සී ෆෝයි ය. තවමත් දහ අට හැවිරිදි වියේ පසුවන මැකෙන්සී ද ට්විලයිට් සාගා-බ්‍රේකිං ඩෝව්න් (2 කොටස) කළ රංගනයට යංග් ආටිස්ට් අවෝඩ් සම්මානයට නිර්දේශ වූ අතර ඉන්ටර්ස්ටෙලර් රංගනයට ද සැටර්න් සම්මානයෙන් පිදුම් ලද්දේය.

සීනි ලන්තයේ සුරංගනාවගේ චරිතය සම්මානනීය නිළි කෙයිරා නයිට්ලේ ද ක්වීන් එළිසබෙත් 2 රංගනයට ඔස්කාර් සම්මාන දිනාගත් හෙලන් මිරන් ජින්ජර් මව ලෙස ද ගෝල්ඩන් ග්ලෝබ්, ඔස්කාර් ආදී සම්මාන රැසකින් පිදුම් ලද මෝගන් ෆ්‍රීමන් ඩ්‍රොස්ල්මේයර් ලෙසද මෙහි චරිත නිරූපණය කරති.

හතර වැනි රාජධානියේ අද්භූත රැජන වන්නේ මිස්ටි ඩැනියල් කෝප්ලන්ඩ්ය. තිස් හය හැවිරිදි ඇය සැබැවින්ම විශිෂ්ට මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. සම්මානනීය නළු රිචඩ් ඊ ග්‍රාන්ට් හිම පියලි ලන්තයේ යුව රජු ශිවර් වන්නේය. ජනප්‍රිය විකට නළුවෙකුවූ ඉයුජිනියෝ ඩර්බරිස් පුෂ්ප ලන්තයේ යුවරජු හෝතෝන්ය. ක්ලේරාගේ පියා ලෙස මැතිව් මැක්ෆේජියන් ද මිය ගිය මව ලෙස ඇනා මැඩිලේ ද රඟයි.

සිනමා පටයේ රූ ගත කිරීම් සිදුවූයේ එංගලන්තයේ පයින්වුඩ් චිත්‍රාගාරයේයි. ඉතා ජනප්‍රිය තනු නිර්මාණ ශිල්පියකුවූ පියොට් ඉලියිච් චයිකොව්ස්කි 1892 දී ද නට්ක්‍රැකර් සූට් සඳහා සැපයූ තනු ඇසුරින් ඒවා යාවත්කාලීන කරමින් ජේම්ස් නිව්ටන් හෝවර්ඩ් කර්ණරසායන සංගීතයක් නිර්මාණය කළේය. ජේම්ස් නිව්ටන් හෝවර්ඩ් ඇකඩමි සම්මාන අටකට නිර්දේශ වුණු සිනමා පට 100 කට වැඩි ගණනකට සංගීතය සැපයූ ග්‍රැමී , එමී සම්මාන ලාභී සංගීතඥයෙකි.

නට් ක්‍රැකර් ඇන්ඩ් ද ෆෝ රියැලම්ස් සිනමා පටයේ නත්තල් ගස අඩි 18 ක් උස වූ අතර එය ආලෝකවත් කිරීමට ඉටි පන්දම් දහසක් යොදාගෙන ඇත. මින් පෙර නට්ක්‍රැකර් පාදක කරගෙන සිනමා පටයක් නිර්මාණය වූයේ 2010 දීය. ඒ ත්‍රිමාන සිනමා නිර්මාණයකි.

චම්පිකා දීපානි

නව අදහස දක්වන්න