කුඩාවැල්ලේ වෙඩි තැබීමක් ධීවරයෝ 4ක් මරුට | දිනමිණ

කුඩාවැල්ලේ වෙඩි තැබීමක් ධීවරයෝ 4ක් මරුට

7කට බරපතළ තුවාල

ඝාතනය කොන්ත්‍රාත්තුවක් ?

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් අතර පවතින ආරවුලක් දූරදිග යෑමෙන් ඊයේ (25) උදෑසන වෙඩි තැබීමක් සිදු වු අතර ඉන් ධීවරයන් සිවුදෙනකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. මේ වෙඩි තැබීමේ සිද්ධිය සිදුවීමත් සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඒ අවස්ථාවේම පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් 11ක් පත්කර මෙම වෙඩි තැබීමට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයාට හා මාතර හා තංගල්ල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයා, මාතර හා තංගල්ල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු සියලුම පොලිස් කණ්ඩායම් මේ වනවිට අපරාධකරුවන්ට පලායෑමට ඉඩ නොදී කොටුකර ගැනීම සඳහා සොකෝ පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙහෙයුම් ආරම්භකර ඇත. තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ ධීවර කණ්ඩායම් සහ ඒවායේ හිමිකරුවන් අතර පවතින බරපතල අර්බුදකාරී තත්ත්වයක ප්‍රථිඵලයක් වශයෙන් එක් කණ්ඩායමක් ලබාදෙන ලද කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ සඳහා ධීවරයන් අතර සිටින පාතාල කණ්ඩායම්වල සහාය ද ලැබී ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

ඊයේ (25) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් එම ස්ථානයට කඩා පැන ටී.56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතාකර මෙම වෙඩිතැබීම සිදු කැර තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනාගෙන් සිදුවදෙනකු රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය ගොස් සිටි අතර තුවාල ලබා රෝහල් ගතකර සිටින 5 දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජයසිංහ මනාච්චිගේ සමීර (40), රත්නවීර පටබැදිගේ ෂසික් තිවංක (23), යද්දෙහිගේ ලතිෂ් උදය කුමාර (37) සහ කංකානම් ගමගේ සඳුන් චානක (40) නැමැති ධීවරයන් මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර දමිත් දිල්ෂාන් (18), සරත් ජයසිංහ (48), කතලුව ගලප්පත්තිගේ සමන් පුෂ්පකුමාර (50), සුගත් රෝහණ විජේවීර (48), මාන්නක්කාරගේ තිලක් (51), හැන්නදිගේ උදාර සම්පත් සහ මද්දුම බණ්ඩාර වීරසේකර නිමල් (37) තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මියගිය පුද්ගලයින්ගෙන් අයකු මාළු මිලදී ගැනීම සඳහා පැමිණි අයකු බවද වාර්තා වෙයි.

ඊයේ (25) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේ දී තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වන අතර මේ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ තිබෙන බවද ඔවුන් දෙදෙනා මේ වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර තිබෙන බවට අනාවරණය වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එයින් මෘතශරීර තුනක් තංගල්ල රෝහල් මෘත ශරීරාගාරයේ සහ තවත් මෘත ශරීරයක් නාකුළුගමුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන බව පවසන ඒ මහතා මේ මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන බවද මේ සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනා තංගල්ල රෝහලට ඇතුළත්කැර තිබෙන බවද කියා සිටී. කෙසේ වුවද එයින් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙයි.

මේ වෙඩි තැබීමේ සිද්ධිය සැළවූ වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයා හා මාතර හා තංගල්ල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔවුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ආරම්භ කැර තිබෙන බවද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මේ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයා නියෝග කැර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මේ අතර අදාළ විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමට පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව යැවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

විජයානි එදිරිසිංහ, මහින්ද අලුත්ගෙදර ,වලස්ගල සමූහ,අම්බලන්තොට සමුහ සහ සූරියවැව විශේෂ

නව අදහස දක්වන්න