ජනතාවාදී නොවන සංශෝධනයකට ඉඩ නැහැ | දිනමිණ

ජනතාවාදී නොවන සංශෝධනයකට ඉඩ නැහැ

අනුර ප්‍රේමලාල්

ආණ්ඩුවට අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න ලැබෙන්නේ නැහැ.ජනතාවාදී නොවන කිසිම සංශෝධනයකට අපි ඉඩ තියන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

සුනාමියට වසර 14ක් සපිරෙන අද දවසේ සුනාමි උවදුරින් මියගිය අය සිහිපත් කර ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මාධ්‍ය හමුව අරඹනවා. කළු මාධ්‍ය හෙළිකරනවා. මාධ්‍යයට දඩුවම් දෙනවා කියලා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනත් මාධ්‍යයට නිදහස දෙනවා කියලා අද මාධ්‍යට තර්ජනය කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පිළිගන්න එපා කියලා සුමන්දිරම් මහත්තයා යුරෝපා සංගමයට හා එක්සත් ජාතින්ගේ සංවිධානයට ලියුම් යවනවා. අතුරු සම්මත ගිණුම සම්මත කරගන්න දවසේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට තිබුණේ 102යි. අද මහින්ද රාජපක්ෂ මහතා සමඟ ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන්න විපක්ෂය සූදානම්. ආණ්ඩුවට ගැති විපක්ෂයක් නිර්මාණය කරන්නයි මේ අයට අවශ්‍ය. ඒක තමයි පළමුවෙනි පරමාර්ථය.

දැන් මැතිවරණ තුනක් එකවර තැබීමක් ගැන කියනවා. ජනාධිපතිට 2020 පෙබරවාරි වෙනකල් පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ. ජනාධිපතිවරණය තියලා ඒ තෝරන ජනාධිපතිටයි මහමැතිවරණය තියන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ මැතිවරණ එකට තියන්නේ. දැන් තියෙන්නේ පළාත් සභා මැතිවරණය තැබීමයි. තවමත් සීමා නිර්ණය කොමිෂමේ වාර්තාව දීලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තබන්න. එහෙම නැතිව පළාත් සභා මහමැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කියන මැතිවරණ තුනම එකට තියන්න බැහැ.

උතුරේ ගංවතුරක් ඇතිවුණාම ක්‍රියා කළේ හමුදාව. කොළඹට වෙලා ආණ්ඩු හදන්න මහන්සි වෙන කවුද උතුරට ගිහින් ජනතාවට උදව් කළේ. අපේ හමුදාව දැඩි කැපවීමකින් ජනතාවට සහයෝගය දුන්නා. දමිළ සන්ධානයේ මන්ත්‍රීවරු කොළඹ නත්තල් සමරද් දී උතුරේ ජනතාව මුදාගන්න වතුරේ බැහැලා කැපවුණේ අපේ හමුදාව. උතුරේ ජනතාවගේ ප්‍රශ්න බැලූවේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති උපදෙස් මතයි.

මේ ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක් නැහැ. ජනතාවට සහනයක් නැති කිසිම සංශෝධනයකට අපි ඉඩ තියන්නේ නැහැ. තුනෙන් දෙක නැති කිරීම හරහා රටට වින කරන ව්‍යවස්ථාව ගෙන ඒමට අපි බාධා කර තියෙනවා. කෙටුම්පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න ලැබෙන්නේ නැහැ.

එරාන් වික්‍රමරත්න මහතා පැහැදිලිව කිව්වා තිහකට වඩා ඇමැති මණ්ඩලය වැඩි කරන්නේ නැහැ කියලා. දැන් උත්සාහ කරනවා එක මන්ත්‍රීවරයෙක් සමඟ ජාතික ආණ්ඩුවක් හදලා ඇමැති මණ්ඩලය 45ක් දක්වා වැඩි කර ගන්න. මේ හදන්නේ උදව් කරපු අයට වරදාන දෙන්න. මාස අටක කාලයකට රටේ ජනතාවට ඇමැතිවරුන් 45 දෙනෙක් නඩත්තු කරන්න සිද්ධවෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතු වෙලා රට වෙනුවෙන් හදන ආණ්ඩුවක්. මේ හදන්නේ තමන්ගේ පැත්තට ආපු අයට වරදාන දෙන්න. මහ මැතිවරණයකට යන්න නම් සියලූ දෙනාගේ එකඟත්වයෙන් යෝජනාවක් සම්මත කරන්න ඕනෑ. තරුණ මන්ත්‍රීවරුන් වැඩියි. ඒ නිසා යෝජනාවක් ගේන්න කැමැති වෙයිද දන්නේ නැහැ.

තරුණ මන්ත්‍රීවරු ඉදිරිපත් වෙලා යෝජනාවක් ගේනවා නම් අපි අගය කරනවා. මෙවැනි යෝජනාවක් ගේන්න ඕනෑ ආණ්ඩුවෙන්. විරුද්ධ පක්ෂයට සභාව කල් තැබීමේ යෝජනාවක් හෝ පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ යෝජනාවක් විතරයි ගේන්න පුළුවන්. අපි ගේන යෝජනා පුස්තකයට යනවා විතරයි. ඒ නිසා බොරු කතා නොකියා මැතිවරණයක් පවත්වන්න යෝජනාව ගේන්න. මැතිවරණ තුනක් එකට තියන්න අසීරුයි. 2020 පෙබරවාරි වෙනකල් පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ. මේ ජනාධිපතිවරයාගේ කාලය 2020 ජනවාරිවලින් අවසන්. අලුත් ජනාධිපතිවරයෙකුටයි පාර්ලිමේන්තුව විසුරවන්න වෙන්නේ. හැබැයි දැන් මිනිස්සුන්ට මැතිවරණයක් ඉල්ලනවා.

ජනාධිපතිගේ උපදෙස් පරිදි සියලූ දේශපාලන සංවිධාන එකට එකතු කොට පොහොට්ටුව, එජනිස සන්ධානයේ වෙනත් දේශපාලන පක්ෂ, දෙමළ, මුස්ලිම් සියලූ දේශපාලන පක්ෂ. ඒකට කමිටුවකුත් දැම්මා. අපිත් ඒ සඳහා සූදානම්.

ජනාධිපති අපේක්ෂකයා ගැන එකඟතාවකට ඇවිත්ද තියෙන්නේ. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත්කරලා නැහැනේ. මැතිවරණයක් දුන්නට පස්සේ ජනාධිපතිවරණ අපේක්ෂකයා එළිදක්වයි. ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් පත්වෙන කෙනෙක්වීම අනිවාර්යයි.

ජනාධිපති අපේක්ෂකය ගැන මහින්ද රාජපක්ෂ මහත්තයා මීට කලින් කියලා තිබුණා. ඒ ගැන කවුරුත් කලබල විය යුතු නැහැ මැතිවරණය පැමිණියාම ඒවා සිදුවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා-

මහින්ද රාජපක්ෂ මහතා බලයට එන හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී ලේබලය අලවා ගත්ත දේශපාලන නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ඉදිරියට දැම්මාට කට්ට දවාලේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරමින් සිටිනවා. රාජිත සේනාරත්න, සජිත් පේ‍්‍රමදාස, නවීන් දිසානායක, අජිත්. පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන අනෙක් ජනතාව හෑල්ලූ කරනවා. මේ රටේ වෛද්‍ය සංගම්, හෘද සාක්ෂියක් ඇති අය ඔහුව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සෞඛ්‍ය ඇමැති ධූරය නොලැබුණු රාජිත දැන් ආයෙත් පරණ තැටිය වාදනය කරන්න පටන් අරන්. දැන් රාජපක්ෂවරු මිනිමැරුවා කියමින් කෑ ගහනවා. අවුරුදු තුනයි මාස 10යි දින 19ක් රාජපක්ෂවරුන්ගේ හොරකම් ගැන කතා කළ මේ අය මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහලා මහ බැංකුව හොරකම් කළා.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා වසර පුරාම නත්තල් කන්න ලෑස්ති වෙලා ඉන්නලූ. අඩුම ගානේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු නොකළ අය තමයි මේ කයිවාරු ගහන්නේ. නත්තල් දවසේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ටිකවත් දෙන්න බැරි වුණු කට්ටියක්.

මේ අය 2020 දී පැහැදිලි ජයක් ලබන බව කියනවා. මේ අය පළාත් පාලන මැතිවරණයත් පැරදිලා තමයි මෙවැනි කතා කියන්නේ. 2020දි රට දිනවන්න කලින් 2020දි බේරුවෙල ආසනය දිනවලා පෙන්වන්න කියලා මම එතුමාට අභියෝග කරනවා. අපි ලෑස්තියි ජනතාවට අවශ්‍ය සහන ලබාදීලා රට ගොඩනගන්න. වරදාන වරප්‍රසාද තනතුරු අහිමිවුණත් අපි හෘද සාක්ෂියක් ඇතිව දේශපාලනයට පැමිණි අය විදියට ජනතාව වෙනුවෙන් කැප වෙනවා.

අපිට විශ්‍රාම වැටුප අහිමි වුණාට කමක් නැහැ. රටත් ජනතාවත් පත්වෙලා ඉන්න ඛේදනීය තත්ත්වය හේතුවෙන් අත් දෙකම ඔසවලා මහ මැතිවරණයකට අපේ කැමැත්ත දෙනවා. නමුත් එජාපයේ වැඩි පිරිසක් මැතිවරණයකට බයයි.


නව අදහස දක්වන්න