පාර්ලිමේන්තුවේ 225ට වඩා ලක්ෂ 157ක ඡන්ද දායකයින් වටිනවා | දිනමිණ

පාර්ලිමේන්තුවේ 225ට වඩා ලක්ෂ 157ක ඡන්ද දායකයින් වටිනවා

පළාත් සභා ඡන්දය තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු කාර්ය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි; ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 27 දා කළුතර දී කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරිකයින් පිරිසක් දැනුවත් කිරීම සඳහා පැවති හමුව අමතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීවේය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබුණා නම් 2015 ජනවාරි මාසයේදී බලයට පත්වූ ආණ්ඩුවේ දින සියය තුළ මේ සම්භන්ද ජනමත විචාරණයක් පැවැත්වීමට හැකියාව තිබුණා. ඒ නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ජනමත විචාරණයට දැන් අවුරුදු හතරක් කල් ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාට වඩා ලක්ෂ 157ක් වන ඡන්ද දායකයින් වටිනා බව අපිත් පිලිගන්නවා. ජනතා පරමාධිපත්‍යය තිබෙන්නේ මේ ඡන්ද දායකයින් අතයි. ඒ අය රාජපක්ෂ කණ්ඩායමේ අය මේ ලක්ෂ 157 ගැන කිඹුල් කඳුළු හෙළනවා නම් ඔවුනුත් කළයුතුව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා තුළින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට බාධා කිරීම වෙනුවට එම තීරණය ජනතාව අතට පත් කිරීමයි.

අවුරුදු 37ක් වයස ජනාධිපතිධුරයේ ආදිනව මේ රටේ ජනතාව හොඳ හැටි අත්විඳල තිබුණා. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකලාප මේ රටේ ජනතාව අත්විඳල තිබුණා. මේ රටේ උතුරෙත්, දකුණේත් සිවිල් යුද්ධ නිර්මාණය කළේ මේ විධායක ජනාධිපති ධුරයන් විසිනුයි.

වසර තිස් හතක් තුළ විධායක ජනාධිපතිධුරය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරල, ශිෂ්ඨත්වය නැති කළා. මානව අයිතිවාසිකම් කඩකළා. එනිසා 1988 ජනාධිපතිවරණයේ ඉඳල සෑම ජනාධිතිවරණයකම ප්‍රමුඛ සටන් පාඨය බවට පත්වුණා. 1994 දී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට පැමිණි අපේක්ෂිකාව ජයග්‍රහණය කළා.

2005දීත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. 2015 දී නිශ්චිතවම ජනාධිපතිධුරය අහෝසි කිරීම ඉදිරියට දාගන පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්ෂ 62කින් මේ රටේ ජනාධිපති වුණා.

විධායක ජනාධිපති ධුරයේ යම් බලතල කප්පාදුකළ 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරල 18වන සංශෝධනය තිබුණ තැනට රට ගමන් කිරීමට උත්සාහ කරනවා.

නව අදහස දක්වන්න