ඇබ්ස්කැම් මගඩියට ඡායාරූප ප්‍රශ්නයක් | දිනමිණ

ඇබ්ස්කැම් මගඩියට ඡායාරූප ප්‍රශ්නයක්

ඇමරිකන් හස්ල් 45

“ඔන්න නගරාධිපතිතුමෝ වැඩේ හරියාගෙනයි එන්නේ. ඇට්ලන්ටාවල කැසිනෝ එක හදන්නයි, ඒකට හොඳ තැනක් තෝරන එකයි ඔයාට භාරදෙන්න අබ්දුල්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා. අපිට මෙහෙම වැඩකුත් කරන්න පුළුවන්. අබ්දුල් කැමතියි ඔයාගේ ලැයිස්තුවේ ඉඩකඩම් අරගන්න. අපිට ඒවා හොඳ ලාභයක් තියාගෙන, කැසිනෝ හදන්න බලාගෙන ඉන්න අයට විකුණන්න පුළුවන්. ඒවා ගන්න අයට ණය දෙන්නත්, එයාලට කැසිනෝ ලයිසන් එක අරන් දෙන්නත් අපේ අතටම ගත්ත නම් පංකාදු පහයි. අබ්දුල්ටයි ඔයාටයි එකතුවෙලා පැකේජ් එකක් වුණත් හදාගන්න පුළුවන්.

සිදුව තිබුණේ ඇබ්ස්කැම් පාර්ශ්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකි. ‘නිව්ස්ඩේ‘ පුවත්පතේ ප්‍රවෘත්තියක එෆ්.බී.අයි. නිලධාරිනි මාර්ගෝ ඩෙනෙඩිගේ ඡායාරූපයක් පළව තිබූ අතර, රොසෙන්බර්ග්ගේ මිතුරියක එය දැක ඔහු දැනුවත් කර තිබුණි. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ගුවන්යානා පැහැරගත් කාන්තාවක සම්බන්ධ ප්‍රවෘත්තියක් වූ එහි අත්අඩංගුවට ගැනීමට එක්වූ එෆ්.බී.අයි. නිලධාරීන් පිරිසෙන් එක් අයකු ලෙස මාර්ගෝ ඩෙනෙඩිව විස්තර ඇතිව හඳුන්වා දීමට තරම් පුවත්පත් වාර්තාකරුවන් කාරුණික වී තිබිණි. රොසෙන්බර්ග් සිටියේ බියටත්, කලබලයටත් පත්ව බව ඔහුගේ වෙව්ලුම් සහගත ස්වරයෙන් හඳුනාගැනීමට වෙයින්බර්ග්ට අපහසු වූයේ නැත. අනපේක්ෂිත මොහොතක හිස මත කඩා වැටුණු මේ මරාලය නිසා වෙයින්බර්ග් පත්වූ කලබලයද ඊට දෙවැනි නැත.

“මෙල්, අපි දැනටමත් අමාරුවක වැටිලාද ඉන්නේ ?“ රොසෙන්බර්ග්ගේ හඬ ඇසෙන නෑසෙන තරම්ය.

පුවත ඇත්තක්ද කියා ඒ මොහොතේම හරියටම දැන ගැනීමට හැකියාවක් නොතිබූ නිසා වෙයින්බර්ග් මහත් අපහසුතාවකට පත්විය. ඇත්ත හෝ බොරුව හෝ වේවා, කරදරයට වැටී, පිළිසරණ පතා තමා ඇමතූ රොසෙන්බර්ග්ව මුලින්ම සනසා යැවීමට හේ ඉටාගත්තේය. ගසෙන් වැටුණු මිනිසාට ගොනුත් ඇනීමෙන් තේරුමක් නැති බව වෙයින්බර්ග් ක්ෂණිකව තීරණය කළේය. ඒ නිසා හිත ඇතුළින් දැවෙමින් සිටියත් වෙයින්බර්ග් කතා කළේ නොසැළුණු සේය. ඒ කොතෙක් ද යත් ඊට වසර ගණනකට පෙරදී ඇඟේ නූල් පොටක් නැතිව, සිය නිදන කාමරයේ සිවිලිම තුළින් විසිත්ත කාමරයට මරු පිම්මක් පැන, බිරිය ඉදිරියේ පෙනී සිටි තරම් ශාන්ත ස්වරූපයකිනි.

“වෙන්න බැහැ. මම මාර්ගෝව දන්නේ අවුරුදු ගණනක ඉඳලා. එදා ඉඳලම එයා එමීර්ගේ පෞද්ගලික ලේකම්. ඔයා ඔය කියන්නේ වෙන කවුරුහරි ගැන වෙන්න ඕනේ. පෙනුමින් මාර්ගෝ වගේම අය ඉන්න බැරි නැහැනේ. අහලා නැද්ද අර එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියන කතාව ? ඔයා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. එයා මාර්ගෝ නෙවෙයි කියලා මට හොඳටම ෂුවර්. “

“ඔයාට ඔය තරම් විශ්වාස නම් මම හිත හදාගන්නම්. ඒත් මට බයයි මෙල්. අපිට කල්පනාවෙන් වැඩ කරන්න වේවි. “

රොසෙන්බර්ග් තාවකාලිකව සැනසුණු බවක් ඇඟවුණද, මෙය විශාල නස්පැත්තියක ආරම්භය විය හැකි බව වෙයින්බර්ග්ට ඉවෙන් මෙන් දැනිණි. මොහොතක් පමානොවී නිව්යෝක් එෆ්.බී.අයි. කාර්යාලයේ දුරකතන අංකය කරකැවූ වෙයින්බර්ග් ගුඩ්ව ඇමතීය.

“ගුඩ්, මෙහේ අපිට ප්‍රශ්නයක්. ඔයා දැනගෙන හිටියද මාර්ගෝගේ ෆොටෝ එකක් පත්තරේ ගිහිල්ලා ?“

“මොකක් ? මාර්ගෝගෙ ෆොටෝ එකක් පබ්ලිෂ් වෙලා ? වෙන්න බැහැ මෙල්, මම දැනුවත්ව නම් එහෙම දෙයක් වෙලා නැහැ මාර්ගෝ ඇබ්ස්කැම් එකට සම්බන්ධයි කියලා. එයාලා දන්නවා . ඒ නිසා මගෙන් අහන්නේ නැතිව ඒ වගේ ගොන් වැඩක් කරන්නේ නැහැ. ඒත් මම හරියටම හොයලා බලලා කතා කරන්නම්.“

ගුඩ් බලාපොරොත්තු සහගතව එසේ පැවසුවත්, අවාසනාවකට මෙන් රොසෙන්බර්ග්ගේ පුවත ඇත්තක් බව ඔප්පුවීමට විනාඩි කිහිපයකට වඩා ගතවූයේ නැත. එවර ගුඩ් වෙතින් පළවුණේ පරාජය වූවකුගේ ස්වරූපයකි. එඩි බිඳුණු හඬින් කතා කළ ගුඩ්ගේ අසරණ ලීලාව දුරකතන රැහැන ඔස්සේ ගලාවිත් තමාවද ආසාදනය කරනු ඇති බවට වෙයින්බර්ග්ට ඇති වූයේ සාධාරණ සැකයකි.

“මෙල්, ඔයාගේ යාළුවාගේ ආරංචිය හරි. බියුරෝ එකට කාන්තා නිලධාරිනියක් ඕනේ කරලා තියෙනවා හයිජැක් කේස් එකට. මාර්ගෝ ඇරෙන්න වෙන කෙනෙක් ඉඳලා නැහැ. කරන්නම දෙයක් නැති හින්දයි එයාව අරගෙන තියෙන්නේ. පත්තරකාරයෝ මාර්ගෝගේ ෆොටෝ එකක් ගත්ත බවක් මට කියන්න එයාලට බැරිවෙලා. මෙල්, ඔයා ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. ඔයාට ඕනේ නම් ඇබ්ස්කැම් නවත්තන්න, මම ඒක කරන්න ලෑස්තියි.“

තමාගේ ආරක්ෂාව ගැන සිතා එසේ පැවසුවත්, ගුඩ් එය කීවේ හිතකින් නොවන බව වෙයින්බර්ග් දැන සිටියේය. ඇබ්ස්කැම් වෙනුවෙන් ඕනෑම අන්තයකට යෑමට පසුබට නොවන ගුඩ් වෙනුවෙන් මේ අවස්ථාවේදි කැපවිය යුතු බව වෙයින්බර්ග් තීරණය කළේ තම ජීවිතය පවා අවදානමේ හෙළමිනි.

“අපි තව ටිකක් බලමු. එරිචෙට්ටි මේ ගැන දන්නේ නැත්නම් ඇබ්ස්කැම් දිගටම ඇදගෙන යන්න අපිට පුළුවන්.“

කාලීන පුවත් පිළිබඳ එරිචෙට්ටිගේ දැනුම උරගා බැලීමට වෙයින්බර්ග් හා ගුඩ් තීරණය කළේ, මාර්ගෝ පිළිබඳ ආරංචිය ඔහු‍ගේ කන වැකී තිබුණොත් සියල්ල එතැනින්ම අවසන් කිරීමට එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. ඇට්ලන්ටික් නුවරදී එරිචෙට්ටි හමුවීමට කතිකා කරගත් වෙයින්බර්ග් එදිනම නිව්යෝක් හරහා ඇට්ලන්ටික් බලා පිටත්ව ගියේය. මෙම ගමනට ගුඩ්, බ්‍රේඩි හා ඇන්තනි ඇමරෝසෝද එක්වූහ. සැලැස්ම වූයේ වෙයින්බර්ග්, ඇමරොසෝ සමඟ හොලිඩේ ඉන් හෝටලයේදී නගරාධිපතිවරයා මුණ ගැසීමටය, තත්ත්වය නරක අතට හැරීගෙන එන බව දැනුණොත් මැදිහත්වීමට සූදානමින් ගුඩ් හා බ්‍රේඩි යාබද කාමරයක රැඳී සිටීමටත්ය. වාසනාවකට එවැන්නක් සිදුවූයේ නැත. නගරාධිපතිවරයාගේ කාලීන දැනුම අල්ප බව එම හමුවෙන් කාටත් සැනසුම් සහගත ලෙස ප්‍රත්‍යක්ෂ විය.

එරිචෙට්ටි සිටියේ වෙනදා මෙන්ම විනෝදකාමි, සෙල්ලක්කාර ස්වභාවයෙන් සිය සමාගමයේ සිටි කවුරුත් ප්‍රබෝධවත් කරමිනි. එක්කෝ රොසෙන්බර්ග් පුවත්පතේ කතාව ඔහුට කියා නැත. එහෙමත් නැතිනම් ඔහු ඒ සම්න්ධයෙන් වෙයින්බර්ග් කළ තහවුරු කිරීම පිළිගෙන ඇත. හේතුව කුමක් වුව, පත්තරේ සිද්ධිය පිළිබඳ හාංකවිස්සියක් මෙම හමුවේදි සඳහන් කෙරුණේ නැත. බලාපොරොත්තු සඵලවීමේ ප්‍රීතියෙන් උදම්ව සිටි වෙයින්බර්ග් කළේ නගරාධිපතිවරයාගේ කෑදරකම ඇමට යොදාගෙන ඇබ්ස්කැම් මගඩිය වඩාත් පුළුල් ඉසව්වකට ගෙන යාමය.

“ඔන්න නගරාධිපතිතුමෝ වැඩේ හරියාගෙනයි එන්නේ. ඇට්ලන්ටාවල කැසිනෝ එක හදන්නයි, ඒකට හොඳ තැනක් තෝරන එකයි ඔයාට භාරදෙන්න අබ්දුල්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා. අපිට මෙහෙම වැඩකුත් කරන්න පුළුවන්. අබ්දුල් කැමතියි ඔයාගේ ලැයිස්තුවේ ඉඩකඩම් අරගන්න. අපිට ඒවා හොඳ ලාභයක් තියාගෙන, කැසිනෝ හදන්න බලාගෙන ඉන්න අයට විකුණන්න පුළුවන්. ඒවා ගන්න අයට ණය දෙන්නත්, එයාලට කැසිනෝ ලයිසන් එක අරන්දෙන්නත් අපේ අතටම ගත්ත නම් පංකාදු පහයි. අබ්දුල්ටයි ඔයාටයි එකතුවෙලා පැකේජ් එකක් වුණත් හදාගන්න පුළුවන්. ඉඩම්, ඒවා ගන්න ණය, ඊට පස්සේ බලපත්‍රය මේ ඔක්කොම අපෙන්ම ගන්න සිද්ධවෙන විදිහට. එතකොට කවුරු කොහේ කැසිනෝ හැදුවත් ඒවා ඔක්කොම තියෙන්නේ අපේ අතේ. කොහොමද වැඩේ?“

“මෙල්, ඔයාගේ මොළේ තමයි මොළේ මේ වැඩේ හරි ගියොත්! ඇට්ලන්ටා නගරෙම අපේ අතට ගන්න පුළුවන්. කැසිනෝ හදන්න මෙහේ එන අයට ඉතින් අබ්දුල් සරණං ගච්චාමි කියන්න තමයි වෙන්නේ.“

එම හමුවෙන් පසු ප්‍රීතියෙන් ඔකඳ වී සිටි නගරාධිපති එරිචෙට්ටි වෙයින්බර්ග් ඇතුළු පිරිසට සමුදුන්නේ ඉඩකඩම් අලෙවි කරන්නවුන් ගැන සොයා බලා කඩිනමින් වාර්තා කිරීමට පොරොන්දු වෙමිනි. එරිචෙට්ටිගේ ප්‍රීතිය දෙවැනි වුයේ ගුඩ්, බ්‍රේඩි හා ඇමරොසෝගේ ප්‍රීතියට පමණි. ඇබ්ස්කැම් නූලෙන් බේරුණු ප්‍රීතිය සැමරීමට හොලිඩේ ඉන් හෝටලයේම සුළු පහේ සාදයක් සූදානම් කෙරිණි. වෙයින්බර්ග්ගේ කාමරයට රැස් වූ බියුරෝ නිලධාරීන් තිදෙනා මධු විතක් තොලගාමින් ජයපැන් බොන්නට ගත්තේ ඇබ්ස්කැම් මගඩියේ අනාගතයට සව්දිය පුරමිනි. වෙයින්බර්ග් අවස්ථාවට මුහුණ දුන් අාකාරයත්, එය තම වාසියට පෙරළාගත් අාකාරයත් ගැන ගුඩ් සිටියේ අමන්දානන්දයට පත්වය.

“මෙල්, මේ වැඩේ ඔයාටම භාරදෙන්න මට සිද්ධ වෙනවා. අර නගරාධිපතියා ඔයාගේ පස්සේ වැටිලා කෙළ හල හල හිටියේ බලුකුක්කෙක් වගේ.“

ගුඩ්ගෙන් මෙබඳු ප්‍රශංසාවක් ලැබීම ලෙහෙසි නැති බැව් දත් වෙයින්බර්ග්ගේ මුහුණ ආඩම්බරයෙන් බැබළෙන්නට ගත්තේය.

ඊළඟ සති කිහිපයේදී සෑම දිනකම පාහේ වෙයින්බර්ග්ට නගරාධිපතිගෙන් දුරකතන ඇමතුමක් වැරදුණේ නැත. හිටිවනම අතිශයින් ක්‍රියාශීලීවී සිටි ඔහු දිනපතාම අබ්දුල් එන්ටර්ප්‍රයිසස් අමතා අලුත් ගනුදෙනුකරුවන් ගැනත්, කැසිනෝ හෝටල් ඉදිකිරීමට සුදුසු තැන් ගැනත් කියමින් කයිවාරු ගසන්නට පටන්ගෙන තිබුණේ වෙයින්බර්ග්ට කරදරයක් වෙමින්. අබ්දුල්ගේ කැසිනෝ ජාවාරම හරහා ඇට්ලන්ටා නගරය සියතට ගැනීම ඔහුගේ එකම අපේක්ෂාව විය.

“මම හූනා කිව්වා වගේ කියන්නම්, මුලු නගරෙම දැන් තියෙන්නේ අපේ අතේ. ඒක අපේ අතින් උදුරගන්න ආයේ සක්කරයටවත් බැහැ. “

එරිචෙට්ටිගේ තැටිය රත්වී තිබෙන වෙලාවෙන් හැකි තාක් ප්‍රයෝජන ගැනීමට සැලසුම් කළ ගුඩ් ඇතුළු පිරිසට අවශ්‍ය වූයේ කෙසේ හෝ කැසිනෝ කොමිසමේ කෙනත් මැක්ඩොනල්ඩ් මුහුණට මුහුණ හමුවීමටය. පෙබරවාරි 12දා එරිචෙට්ටි අබ්දුල් කාර්යාලයට පැමිණි අවස්ථාවේදි ඇමරොසෝ හා වෙයින්බර්ග් ඔහු මේ සඳහා පොළඹවා ගැනීමට උත්සාහ ගත්හ. අන් දේ සම්බන්ධයෙන් කෙසේ වුවත්, මැක්ඩොනල්ඩ්ගේ හමුවීම ගැන එරිචෙට්ටි සිටියේ දැඩි ස්ථාවරයකය. තම සලකුණු, තමා විසින් සපයන ආරක්ෂක ආවරණයෙන් මුදා සෘජුවම අබ්දුල්ගේ පාර්ශ්වයට නිරාවරණය කිරීමට හේ කිසිසේත්ම කැමති වූයේ නැත. එරිචෙට්ටිව නම්මා ගැනීමට වෙයින්බර්ග් ඉරාන බැංකු ඈඳාගත් කතාවක් ගෙතුවේය.

“මැකාතිට දැන් වැඩ කෙළවෙලයි ඉන්නේ. එමීර්ගේ සල්ලි වගයක් ඉරාන බැංකුවක දාලා එයා ලොකු කරදරයක වැටිලා. දැන් එමීර්ට මිනිහාගේ වැඩ ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැහැ. සල්ලි දෙන්නෙත් නැහැ. මැකාති කියන්නේ කැසිනෝ බලපත්‍ර ස්ථිරෙන්ම ලැබෙනවා කියලා මැක්ඩොනල්ඩ්ගෙන් පෞද්ගලිකවම සහතිකයක් ගන්න එයාට පුළුවන් නම්, ඒක ඇමට දාලා ඇට්ලන්ටා වැඩේට එමීර්ගෙන් සල්ලි පන්න ගන්න පුළුවන් කියලයි. “ වෙයින්බර්ග්ගේ නිර්මාණශීලී කතාවට සාවධානව සවන්දී සිටි එරිචෙට්ටි කොළයක් ගෙන එහි ‘ඩොලර් ලක්ෂයක්‘ ලෙස කුරුටු ගා එය වෙයින්බර්ග් ඇතුළු පිරිස වෙතට තල්ලු කළේය.

“ඔන්න ඕක තමයි ගාණ, ලයිසන් එක ගන්න කැසිනෝ කොමිසමේ පඹයෝ පස්දෙනාගෙන් හතර‍දෙනෙක් අපේ පැත්තට නම්ම ගන්න යන ගාණ. මම මැක්ඩොනල්ඩ් එක්කත් කතා කරලයි තියෙන්නේ. එයා කතා කරල එයාගේ කට්ටියත් ඔය ගාණට කැමති කරවගෙනයි තියෙන්නේ. හැබැයි පුතෝ මොනම හේතුවක් නිසාවත් එයා ඔයාලගෙන් කෙළින්ම සල්ලි ගන්නේ නැහැ. මම හරහා තමයි කරන ගෙවීමක් කෙරෙන්න ඕනේ. මම තමයි එයාලගේ මඩිස්සලේ. එයාලා මාත් එක්ක ගනුදෙනු කරනවා. මම ඔයාලත් එක්ක ගනුදෙනු කරනවා. එහෙමයි මේ වගේ වැඩකෙරෙන සිස්ටම් එක. “

එරිචෙට්ටි මොනම විදිහකින්වත් නැමෙන්නේ නැති බැව් පෙනුණත්, ඇමරොසෝ හා වෙයින්බර්ග්ද පරාජය භාරගත්තේ නැත. මැකාතිට මැක්ඩොනල්ඩ්ව මුණගැසිය නොහැකි නම් සියලු ගනුදෙනු අවලංගු වී යා හැකි බවට කළ අනතුරු ඇඟවීම අවසානයේදි නගරාධිපතිවරයාගේ ස්ථාවරය බිඳ දැම්මේය.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

සඳුදා - මගඩි වැඩට සුපිරි නැවක්

නව අදහස දක්වන්න