අරාබි ළඳුන්ට අලුත් පැහැයක් දුන් රජ කුමරිය | දිනමිණ


 

අරාබි ළඳුන්ට අලුත් පැහැයක් දුන් රජ කුමරිය

ෆවුස් මොහොමඩ්

මෑතක් වනතුරු දැඩි ආගමික නීතිරීතිවලින් ඇද බැඳ තබාගත් සෞදි අරාබියයේ කාන්තාවට දැන් දැන් වසන්තය උදාවන්නට පටන්ගෙනය. දිගු කළු කබාය නිල ඇඳුම බවට පත්වී තිබු සෞදි කාන්තාව වර්තමානයේ බටහිර විලාසිතා ලෝකයේ සිතේ හැටියට සැරිසරන්නට පටන් ගෙනය. දැඩි මතධාරි ඉස්ලාම් රාජ්‍යයක් ලෙස සෞදි අරාබිය එරට කාන්තාව අරභයා අඩියක් පසුපසට ගැනීම බටහිර ලෝකයේ කාන්තාවන්ගේ නළල්තල රැළි ගැන්වූ කාරණාවක් ද වී ඇත.

මේ ප්‍රවණතාව ඇතිවූයේ රියාද් නුවර ආණ්ඩුකාරවරයා ලෙස කලක් සේවය කළ සෞදි රජ පවුලට අයත් නසීර් බින් අබ්දුලසීස් අල් සවුද්ගේ පුත්‍රයකු වන අබ්දුලසීස් බින් නසීර්ගේ බිරිය ඩීනා අල්ජුහානී බටහිර විලාසිතා වැලිකතරට රැගෙන ඒම නිසාය.

මීට වසර දහයකට පමණ පෙර ලන්ඩනයේ දී එකිනෙකා හමුවූ මේ අපූරු අරාබි යුවළ යුගදිවියට පිවිසියේ 1996දීය. රාජකීය පවුලට නෑකම් කියන්නට පටන් ගැනීමත් සමග ඇයට එරට සෙසු කාන්තාවට පැනැවූ නිතිරීතිවලින් රිංගා යාමට වාසනාව අත්වූ අතර ඇය ඉන් කදිම පන්නරයක් ලැබුවාය. කොහොමටත් එරට කාන්තාවන්ට පැනැවූ නිතිරීති රජපවුලේ කුමාරිකාවන් පිළිපදින්නේ නැත. එසේ වූ පමණින් රජපවුලට අභියෝග කිරීමට සෞදි ආගමික සභාවත් ඉදිරිපත් වන්නේ නැත.

ඒ කාරණාව නිසා බටහිර කාන්තාවන්ට ආවේනික කෙටි ඇඳුම්වලටත්, සිය සිහින් සිරුර ඉස්මතු වී පෙනෙන ආකාරයේ නවතම මෝස්තරවලටත් දැඩි කැමැත්තක් දක්වන ඩීනා කුමරිය ලැබු‍වේ පුදුමාකාර නිදහසකි. ඇය කොහෙත්ම හිස වැසෙන්නට පර්දාව පළඳින්නේම නැත. කොටට කැපූ හිසකෙස් සහිත මේ අපූරු සෞදි කුමරිය බටහිර විලාසිතා ලෝකයේ කාගෙත් අවධානය දිනාගෙන සිටි අතර එම විලාසිතාව සෞදි කාන්තාවන්ටත් හඳුන්වාදීමට තරම් නිර්භීත වූවාය.

‘ඇත්තම කියනවානම් මුස්ලිම් ජාතික කාන්තාවනුත්, අනිකුත් ජාතික කාන්තාවනුත් අතර කිසිම වෙනසක් නෑ. නූතන මුස්ලිම් කාන්තාවත් අනිත් හැමෝම වගේ මෝස්තරවලට කැමැතියි. පහුගිය දශකය පුරාම මැදපෙරදිග මුස්ලිම් කාන්තාව පුදුමාකාර විදිහට විලාසිතාවලට නැඹුරු වුණා. සෞදි අරාබිය කියා වෙනසක් නෑ. කාන්තාව කාන්තාවමයි. හැම කාන්තාවක්ම ලස්සන ලස්සන විලාසිතා කරන්න කැමැතියි. ඊට තහංචි දැමීම අපරාධයක්.‘ මේ කුමරිය ලොව දකින්නේ එවැනි පුළුල් හැඟීමකින් යුතුවය.

මැදපෙරදිග විලාසිතා රැජන ලෙසත්. සෞදි අරාබියේ විසිඑක්වැනි සියවසේ කුමරිය ලෙසත් එරට මිලියන දහයකට වැඩි තරුණ පිරිස අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින ඩීනා අල්ජුහානි අබ්දුලසීස් කුමරිය මෙතෙක් කාලයක් නිතිරීති අතර කොටුවී සිටි සෞදි කාන්තාවන්ට අලුත් පැහැයක් ලබා දුන්නාය.

41 හැවිරිදි මේ සෞදි කුමරිය රජ පවුලේ වරප්‍රසාද රිසි සේ භුක්ති විඳින අතරතුරම එරට සම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය උඩුයටිකුරු කරවමින් මුස්ලිම් කාන්තාවගේ රුචිකත්වයට අනුව ජාත්‍යන්තර විලාසිතාවට සෞදි වෙළෙඳපොළක් නිර්මාණය කරන්නට වෙහෙසෙන්නීය.

මුස්ලිම් කාන්තාවගේ සම්ප්‍රදායික හිස්වැස්මත්, මුළු සිරුරම ආවරණය කෙරෙන අබායා ලෝගුවත් ඇය පළඳින්නේ සිය නිජබිමේ දී උත්සව අවස්ථාවලදී පමණි. විලාසිතා ලෝකයේ කා අතරත් ඩීනා නමින් ප්‍රකට මේ නූතන මුස්ලිම් කුමරිය බටහිර කාන්තා විලාසිතාවන්ට මැදපෙරදිග වෙළෙඳපොළක් ගොඩනැගීමට සමත්වූවා පමණක් නොව ලෝව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් 'වෝග්' විලාසිතා සඟරාවේ අරාබි මුද්‍රණය හඳුන්වාදීමට පුරෝගාමීව කටයුතු කළාය.

මිලියන 350ක ජනගහණයකින් යුතු මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ළඳුන්ට ජාත්‍යන්තර විලාසිතා ඇතුළත් සඟරාවක් අවශ්‍ය බව ඩීනා දැන සිටියේ අද ඊයෙක සිට නොවේ.

'ඇත්ත...අපේ රට ස්වභාවයෙන්ම ගතානුගතිකයි. ඒත් ලෝකය පුරා හැම කාන්තාවක් වගේම අපේ අරාබි කාන්තාවගේ විලාසිතාවලට ඇති ආසාවත් ඉන් යටපත් කරන්න බෑ. සෞදි ගැහැනුත් ලස්සනට අඳින්න පළඳින්න කොයිතරම් නම් ආසද..? වෝග් සඟරාව අරාබි ලෝකයට ආවේ ඒ නිසයි.' ඇය එසේ කියන්නීය.'

නිව්යෝක් නුවරත්, සෞදියේ රියාද් නුවරත් අතර දෝලනය වන ඩීනාගේ ජීවිතය වෝග් සඟරාවේ මැදපෙරදිග මුද්‍රණයත් සමග තවත් වෙනසකට භාජනය වූයේ මේ සඟරාවේ ප්‍රධාන කර්තෘවරිය ලෙස ඇය තෝරාගැනීමත් සමඟය.

එසේ වුවත් ලොව පුරා විවිධ භාෂාවන් 23කින් මුද්‍රණය කෙරෙන මීට වසර 124කට පෙර අමෙරිකාවේ උපන් 'වෝග්' විලාසිතා සඟරාවේ සෞදි අරාබි මුද්‍රණයට අවසර ලැබී ඇත්තේ තහංචි කිහිපයක් ද පනවමිනි. ඒ අනුව මේ සඟරාව නිරුවත, ආගමික සංකේත, ලිංගිකත්වය පිළිබඳ සංවාදවලින් මෙන්ම සමලිංගික මෝස්තර නිර්මාණකරුවන්ගෙන් තොර මැදපෙරදිග කලාපයටම විශේෂිත එකක් වී තිබේ.

එය කෙසේ වුවත් 'වෝග්' වැනි බටහිර කාන්තා විලාසිතා ලෝකයේ අතිශය ජනප්‍රිය සඟරාවකට සෞදි අරාබියේ ඉඩක් ලැබීම විලාසිතාවන්ට නොතිත් ආසාවෙන් පසුවන එරට මුස්ලිම් කාන්තාවට ලැබුණු දායාදයක් බව කවුරුත් කියති. රජ පවුලේ උදහසට ලක් නොවී සෞදි ගැහැනියට බටහිර විලාසිතා දොරටුව හැර දෙන්නට ඩීනාට හැකිවීමත් එක්තරා අන්දමක ජයග්‍රහණයකි. මේ වනවිට සෞදි කාන්තාවන් බටහිර විලාසිතාව උපරිමයෙන් භුක්ති විඳිමින් සිටිති.

මැදපෙරදිග කලාපයේ අරාබි ළඳුන්ගේ අවශ්‍යතා අනුව දැනටමත් බටහිර විලාසිතා වෙළෙඳපොළේ සුප්‍රකට සමාගම් කිහිපයක්ම නවීන පන්නයේ හිජාබ් හිස් ආවරණ සහ අබායා ලෝගු නිර්මාණය කරන්නට පටන් ගෙනය. එවැනි නිර්මාණ කෙරෙහි අරාබි කාන්තාවන් වැඩි වශයෙන් ආකර්ශනය වී ඇතැති ඩීනා කියයි.

'සුඛෝපභෝගී විලාසිතා නිර්මාණය කෙරෙන වෙළෙඳනාම අවසානයේදී මුස්ලිම් කාන්තාවන් පිළිබඳ එක්තරා දුර්මතයක් එහෙම පිටින්ම ඉවත් කිරීමට සමත් වුණා. මුලදී බටහිර ලෝකයේ හැමෝම හිතුවේ මුස්ලිම් කාන්තාවන් නවීන පන්නයේ විලාසිතා අනුගමනය නොකරන බවයි. ඒත් ඒක නෙවෙයි ඇත්ත. බටහිර විලාසිතාවලට මැදපෙරදිග ඉස්තරම් වෙළෙඳපොලක් තියෙනවා.' ඩීනා එසේ පවසයි.

රියාද් නුවර සහ දෝහා කටාර් හී 'D'NA' නමින් ඇයගේම විලාසිතා ප්‍රදර්ශනාගාර දෙකක් පවත්වාගෙන යන ඩීනා කුමරිය ලොව පුරා පැවැත්වෙන විවිධ 'විලාසිතා සති ''FASHION WEEK' අතර කැපී පෙනෙන චරිතයකි. ඒ සෑම උත්සවයකදීම ඇය නවීනතම විලාසිතා අනුගමනය කරමින් බටහිර කාන්තාවක් සේ ඒවැනි ප්‍රදර්ශනවලට සහභාගිවීම විශේෂත්වයකි.

එසේ වුව ද ඇගේ පියා අලි අල් ජුහානී එරට රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙකි. විවාහයෙන් පසුව ඩීනා කුමරියට සිය මෝස්තර නිර්මාණ ශිල්පය තවත් දියුණු කරගැනීමට සැමියාගෙන් පූර්ණ නිදහස ලැබී තිබිණි. එමෙන්ම ඇය ලොව පුරා විවිධ මෝස්තර සතිවලට කැටුව යාමට ද නසීර් කුමරු ඉදිරිපත්වීම කැපී පෙනේ. දියණියකගේ සහ නිවුන් පුතුන්ගේ ආදරණීය මාපියන් ලෙස සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරන අතරතුරම ඩීනා සහ නසීර් ගෙවන්නේ මෝස්තර නිර්මාණයේ කාර්යබහුල ජීවන රටාවකි.

සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවගේ හිස වැසෙන හිජාබයත්, සිරුර වැසෙන අබායා ලෝගුවත් බටහිර ලෝකයේ දී ඩීනා කුමරිය නම් පළඳින්නේම නැත. එවැනි විවිධ මෝස්තර නිර්මාණ ප්‍රදර්ශනවල දී ඇගේ සැමියා නසීර් කුමරු ද බටහිර පන්නයේ විලාසිතාවෙන් සැරැසී සිටිනු දක්නට ලැබේ.

'අරාබියේ විවිධ විලාසිතාවන්ට අනුව කාන්තා ඇඳුම් මහන්න පටන් ගත්තේ 60 දශකයේදී. ඒ කියන්නේ චීනයටත්, රුසියාවටත් කළිනුයි.'

මෝස්තර නිර්මාණය ගැන දැන් ඇයට ඇත්තේ අතිවිශාල දැනුම් සම්භාරයකි. යොවුන් වියේදීම වෝග් සඟරාව කියැවීමට පුරුදු වූ ඩීනාට මෝස්තර නිර්මාණ ශිල්පය ප්‍රගුණ කිරීමට අනුබල දුන්නේ ඇගේ මවය. සිය මවත් නොම්මර එකේ මෝස්තරකාරියක බව ඩීනා හිනැහෙමින් කියන්නීය.

ගතානුගතික ගල්ෆ් අරාබි කලාපයේ කිසිදු චකිතයකින් තොරව අලුත් මෝස්තරයේ ඇඳුම් අනුකරණය කරන්න සෞදි කාන්තාව පොළඹවාගත් ඩීනා දැන් ඔවුන්ට සුප්‍රකට වෝග් සඟරාව අරාබි බසින් ලබා දෙමින් පෙරළිකාර වෙනසක් වැලිකතරේ සිදු කරමින් සිටින්නීය.

එය එක්තරා අන්දමකින් ගල්ෆ් කලාපයේ ඉස්ලාම් දහම සුරැකීමට සෞදි රාජකීය පවුලට ඇති වගකීම අභියෝගයකට ලක් කරන්නක් බව ඇතැමුන් කියති. අනිත් අතට සෞදි අරාබිය කේන්ද්‍ර කරමින් ලොව පුරා ව්‍යාප්ත වූ ඉස්ලාමයේ කාන්තාවන්ට පනවා ඇති නීතිරීති බිඳ දැමීමට මේ කුමරිය කටයුතු කරමින් සිටින බවත් ඇතැමුන් කියති.

'අපි පෙරටුගාමී පරපුරක් හදන්න නෙවෙයි මේ උත්සාහ කරන්නේ. අපි බුද්ධිමත්වයි කටයුතු කරන්නේ.' ඇය එසේ කියයි.

සෞදියේ සැලොන් ගානේ රස්තියාදු වන තරුණියන් දැඩි විවේචනයට හසු කරන එරට වැඩිහිටි පරම්පරාවේ දුර්මත බැහැර කරවීමට වෝග් සඟරාවේ ශෝභා සෞන්දර්ය සමත්වනු ඇතැයි ඇය විශ්වාසය පළ කරයි.

'වෝග් ඇරබියා' සඟරාව ඒ වගේ අයට පෙම් හසුනක් වගේ වෙවි...ඇය එසේ කියන්නීය.

සෞදි ළඳුන්ගේ සුන්දරත්වය ලොවට පිළිබිඹු කරමින් ඇය අභියෝග ජයගැනීමට සමත්වූවත් ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව නුතන ලෝකයේ එක්තරා අන්දමට සිය කැමැත්තෙන්ම කොටුවී සිටීම කනගාටුදායක කාරණාවකි. මෙරට මුස්ලිම් කාන්තාව සිරුර සහ මුහුණ වැසෙන්නට බුර්කාව අඳින්නට පටන් ගත්තේ 21 වැනි සියවසේ ලොව පුරා කාන්තාවන් ගව් ගණනක් ඉදිරියට යද්දීය. අතිතයේ එවැනි ප්‍රවණතාවක් මෙරට මුස්ලිම් කාන්තාවන් අතර දක්නට ලැබුණේ නැති තරම්ය.

නව අදහස දක්වන්න