රටක හාම්පුතුන් වියයුත්තේ ජනතාව මිස පාලකයන් නොවේ | දිනමිණ

රටක හාම්පුතුන් වියයුත්තේ ජනතාව මිස පාලකයන් නොවේ

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

රටක හාම්පුතුන් විය යුත‍්තේ පොදු ජනතාව මිස පාලකයින් නොවන බවද, මේ බව තේරුම් නොගෙන මාස දහයකට සීමාවූ මේ රජයේ ඉන්නා අයත් හොරකම් මැරකම් වංචා දූෂණ කරන්න ලෑස්ති වුණොත් දේශපාලනය දමාගහලා පැත්තකට වී ඉන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතා වන තමා සූදානම් බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ කීවේ අභාවප්‍රාප්ත (හිටපු) ආහාර සමුපකාර හා ජනසවිය ඇමැති වීරසිංහ මල්ලිමාරච්චි මහතා අනුස්මරණය කිරීම පිණිස කොළොන්නාව මංසන්ධියේ ඉදිකරන ලද පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට හා ඉන් අනතුරුව කොළොන්නාව “මංගලපාය” උත්සව ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව බලමණ්ඩල රැස්වීමට සහභාගීව අදහස් පළකරමින් කරන ලද කතාවේදීය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

නමුත් අද කෙරෙන්නේ ඒක කණපිටටයි. පාර්ලිමේන්තුවේ ඉන්නා 226 දෙනා හාම්පුත්තු වෙලා. අපව පත්කරලා එවාපු ඡන්ද දායකයින් වහල්ලුන් බවට පත්කරගෙන ඉන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒත් දේශපාලකයින්ගේ ආයුෂ තීරණය කරන්නේ පොදු ජනතාව වන ඔබලායි. පසුගිය කාලයේ නම් රජ මාලිගාවල වැසිකිළිත් වායුසමනය කරගෙන හිටපු ඇමැතිවරුන් හිටියා. අද නම් එහෙම අය නැහැ.

ඒ වගේම අපෙනුත් අඩුපාඩුකම් සිදුවුණා. පසුගිය ඔක්තෝම්බර් 26දා කුමන්ත්‍රණයෙන් පසු අපි පොදු ජනතාව එක්ක පාරට බැහැලා, හොඳට කට්ටකාලා, දුක්විඳලා, දූවිලි නාලා අලුත් ආණ්ඩුවකුත් හදලා අලුත් ගමණක් අලුත් දර්ශනයක් සමඟ ජනතාවට සහන ලබාදෙමින් සංවර්ධනය කරා ඉදිරියට යන්න තීරණය කළා. දැන් හැන්ද අතට හම්බවෙලයි තියෙන්නේ. කයියගැසුවා ඇති. දේශපාලකයින්ගේ කයිය අහල රටටම ඇතිවෙලයි තියෙන්නේ. අද දේශපාලකයින්ට කුඩුකාරයින්ට මිනී මරුවන්ටත් වඩා අන්ත තත්ත්වයට නරක ලේබලයක් ගහලයි තියෙන්නේ.

ඒ අතින් කොළොන්නාවේ ජීවත් වෙන ඔබලා හරිම වාසනාවන්තයි. මොකද කයියත් තිබෙන වැඩක් කරන අයෙකුයි එස්. එම්. මරික්කාර් කියන ඔබේ මන්ත්‍රීවරයා. ඒක මුළු රටමත් දන්නවා.

ඒ වගේමයි අද කොළොන්නාව මංසන්ධියේ ප්‍රතිමාවක් ඉදිකර උපහාර දක්වන වීරසිංහ මල්ලිමාරච්චි අපේ ගෞරවණීය ජනනායකයා. එතුමා ගැන සඳහන් කරනකොට පළමු වැනි කාරණාව තමයි මගේ දයාබර පියාණන්ගේ දුකේදීත් සැපේදීත්, හැම අවස්ථාවකදීම ප්‍රේමදාස දර්ශනය ප්‍රතිපත්තිය හා ගමන වෙනුවෙන් පෙනී සිටිය පුද්ගලයා ඔහුයි. 87 – 88 කාල වකවානුව තුළ අපේ රටේ දේශපාලන ව්‍යාකූලතාවක් පැවතුණා. එවැනි වේලාවකදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් එක පෑන්පාරින් ඉවත්කර දැමුවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමිවුණ කෙනෙක් තමයි වීරසිංහ මල්ලිමාරච්චි කියන‍්නේ. ඒ තරමටම ප්‍රේමදාස චින්තනයට ප්‍රේමදාස දර්ශනයට සමීපව සිටියා පමණක් නොවෙයි, මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් මගේ පියා ආරම්භ කරපු ජනසවිය වැඩ සටහනේ නියමුවාව සිටියේත් වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමායි.

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් සංවිධානය කොට තිබූ මෙම රැස්වීම අමතා ක්‍රීඩා විදුලි සංදේශ ‍ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා, කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ, කොළොන්නාව නගර සභා සභාපති වී. එස්. ගුත්තිල සිල්වා මහත්වරු ද රැස්වීම ඇමතූහ.

නව අදහස දක්වන්න